හොදම නව ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන් | දිනමිණ

හොදම නව ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්

“සෑම දරුවෙක්ම ජීවත් කරවමු”Every Child Aliveමැයෙන් පසුගිය සතියේ එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනිසෙෆ් වාර්තාවේ අඩු මධ්‍යම අදායම් රටවල් 52 ක් අතුරින් හොදම නව ජන්ම මරණ අනුපාතය වාර්තා කරමින් ශ්‍රි ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ නව ජන්ම මරණ අනුපාතය සජීවී දරු උපත් 1000 කට 5.3 ක් වන විට එම මරණ අනුපාතය දුර්වලම රට වන පාකිස්ථානයේ එය 45.6 කි. ඉන්දියාවේ 25.4 ක් සහ බංගලාදේශයේ 20.1 ක් වෙයි.
 
ශ්‍රි ලංකාවේ නව ජන්ම මරණ අනුපාතය තායිලන්තය, තුර්කිය, බ්‍රසීලය වැනි බොහෝ ඉහළ මධ්‍යම ආදායම් රටවල් වලට ද වඩා උසස් මට්ටමක පවතියි. එය සෞදි අරාබිය, චීලී වැනි ඉහළ ආදායම් රටවල් වලට වඩා උසස් වෙයි. “ඇමරිකාව කුවේට් වැනි ඉහළ ආදායම් රටවල් පවා නව ජන්ම මරණ අතින් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින්නේ ඉතා ස්වල්ප මට්ටමකිනි.” ලෙස එම වාර්තාවේ පෙරවදනේම ශ්‍රී ලංකාව ගැන සුවිශේෂි සදහනක් තබා ඇත. රටක ආදායම් මට්ටම පමණක්ම අලුත උපදින දරුවන්ගේ ජිවත්වීම තීරණය නොකරන බව ද දැක්වෙයි. සති කිහිපයකට පෙර  “ද ගාර්ඩින්” පුවත්පත ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇමෙරිකාව සමග සංසන්දනය කිරීම උපුටා දක්වමින් ඇමරිකානු සෞඛ්‍ය පද්ධතිය විවේචනය කර තිබුනි.
 
ලෝක බැංකුව “සැමටම සෞඛ්‍ය ආවරණය අධ්‍යයන මාලාව”(Universal Health Covarage) යටතේ ශ්‍රී ලංකාව පාඩම් උගත හැකි රටක් ලෙස හුවා දක්වමින් විශේෂ වාර්තාවක් පසුගියදා නිකුත් කර ඇත. ශක්තිමත් සෞඛ්‍ය දර්ශක, හොද මුල්‍යමය ආරක්ෂාව සහ අඩු පිරිවැය යන අංශ 03 ම එකවර ලගාකර ගත් අඩු ආදායම් රටවල් ඇත්තේ ඉතාම ස්වල්පයකි.
එම රටවල් අතුරින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ පසුවන බව එම වාර්තාවේ දැක්වෙයි. පසුගිය වසර 50 තිස්සේ ශ්‍රී ලංකාව මාතෘ, ළමා සෞඛ්‍ය හා බෝවන රෝග නිවාරණය අතින් එහි ආදායම් මටිටමට අපේක්ෂිත ඉළක්ක වලට වඩා උසස් දර්ශකයක් ලබාගෙන ඇත. සෞඛ්‍ය ප්‍රතිපාදනයන් දුප්පතුන් ඉළක්ක කරගෙන ඇති අතර වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්වයි.
 
 ලෝක බැංකුව සහ යුනිසෙෆ් ආයතනය මෑතක දී නිකුත් කළ මෙම වාර්තා දෙකෙන්ම ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රසංසාත්මක ඇගයීමකට ලක් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එය ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයක්. මෙම ජයග්‍රහණය ලබාගැනීම සදහා කැප වූ සියලුම සෞඛ්‍ය නිලධාරීන්ට සිය ස්තූතිය පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. 

නව අදහස දක්වන්න