රඛයින් ප්‍රාන්තයේ ගම්බිම් හමුදාව ඩෝසර් කරයි | දිනමිණ

රඛයින් ප්‍රාන්තයේ ගම්බිම් හමුදාව ඩෝසර් කරයි

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව වාසය කළ මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කරගනිමින් සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

නව ඉදිකිරීම් සඳහා රඛයින් ප්‍රාන්තයේ ගම් බිම් ඩෝසර් මගින් සමතලා කරන බව සැටලයිට් ඡායාරූපවලින් මෙන්ම ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වී ඇති බවත් මානව හිමිකම් සංවිධානය පවසයි.

මේ හමුදාකරණය මගින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කෙරුණ අපරාධ සම්බන්ධ සාක්ෂි ඉවත් කෙරෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මියන්මාර රජය මේ වන තෙක් මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වා නොමැත.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූලඝාතනය කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නගන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මින් පෙර මියන්මාර රජය ඉල්ලා සිටියේය.

එමගින් සිය දහස් ගණනක් වූ රෝහින්ග්‍යා ජනතාවගේ අනාගතය ගැන ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු තත්වයක් උද්ගත වී තිබෙන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කර සිටියි.

රෝහින්ග්‍යා වැසියන්ට සිය ගම් බිම් හැර දමා පළා යාමට සිදු වූයේ එම ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොළ වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය. එම ප්‍රහාර මැඩ පැවැත්වීමට බව පවසමින් පසුගිය අගෝස්තු මස මියන්මාර හමුදාව ප්‍රදේශය තුළ මෙහෙයුම් දියත් කරන ලදි.

එහිදී දරුණු මට්ටමින් මානව හිමිකම් උල්ලංඝන කිරීම්, මිනී මැරීම් සහ ගම්මාන ගිනි තැබීම් සිදු වූ බව වාර්තා විය.

නව අදහස දක්වන්න