හනුමන්තලාට ගිය රටක් | දිනමිණ

හනුමන්තලාට ගිය රටක්

වසන්ත ප්‍රිය රාමනායක

මේ සමාජ මාධ්‍ය තහනම හෙට අනිද්දා ඉවත් වනු ඇත. අත්අඩංගුවට ගත් අය පස්සා දොරින්ම නිදහස් වනු ඇත. නැවතත් සමාජ මාධ්‍ය හනුමන්තලා සුපුරුදු වැඩේම කරනු ඇත. ඒ ගැන යළි ගැටුමක් ඇතිවනතුරුම වගේ වගක් නොමැතිව බලධාරීන් කටයුතු කරනු ඇත.

ලෝකයේ සෑම රටකම වාගේ ජන සංයුතියේ වාර්ගික විවිධත්වයක් දක්නට ලැබේ. සමහර රටවල එය ඉතා සංකීර්ණය. තවත් සමහර රටවල ඉතා කුඩා කණ්ඩායම් වශයෙන් වාර්ගික විවිධත්වය දක්නට ලැබේ. දැවැන්ත ප්‍රතිශතයකින් මහ ජාතිය ද ඉතා අඩු ප්‍රතිශතයකින් කුඩා ජාතීන් කීප පලක්ම දක්නට ලැබෙන රටක වුවද ජාතීන් අතර එකමුතුබව හා ජාතික සමගිය එම රටේ අනාගතයට හා ඉදිරි පැවැත්මට වැඩදායකය.

ලොව පුරා වැඩිම ගැටුම් ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ ජාති හා ආගම් මුල්කර ගනිමිනි. මේනිසා ශීලාචාර ලෝකය හා ශීලාචාර වෙමින් පවතින ලෝකය මෙම ගැටුම් කළමනාකරණය කරගනිමින් සහජීවනය පෙරදැරි කරගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටී. මේ සඳහා සමහර රටවල් ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් නිදහස ලබා ගැනීමේ සිටම තම රටවල සහජීවනයට මුලපුරා ඇති බවට හොඳ උදාහරණ අපේ ඇස්පනාපිටම හමුවේ. ඉන්දියාව හා දකුණු අප්‍රිකාව ඊට අපට සමීපවම ඇති හොඳම උදාහරණ දෙකකි. වැදගත් වන්නේ අප මේ කිසිවකින් ප්‍රයෝජනයක් නොගැනීමය. කොතරම් ප්‍රශ්න ඇති වුවද අප ඒ ගැන අවංකවම කල්පනා නොකිරීමය.

ඉන්දියාවේ තරම් විවිධ ජාතීන් හා ආගම් සහිත රටක් අප රට සමීපයේම තවත් නොමැත. දකුණු අප්‍රිකාව ද වර්ග භේද වාදයට අමතරව ගෝත්‍රීය වශයෙන් විවිධත්ව රැසක නිර්මාණයකි. එහෙත් මේ රටවල් දෙකම නිදහස ලබාගැනීමත් සමඟම ප්‍රමුඛ කාර්යයෙහිලා සලකන්නේ ජාතීන්, වාර්ගික හා ආගම් බෙදීම්වලින් තොර ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ කාර්ය වෙනුවෙනි. ඉන්දියාව මහත්මා ගාන්ධිගේ සෘජු මැදිහත්වීමෙන් ආගම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන්ම බැහැර කර තිබේ. එයම මේ වන විට ඉන්දියාව එක් රටක් ලෙසින් පවත්වාගෙන යෑමට රුකුල් දෙන එක් ප්‍රධාන හේතුවකි.

ලංකා ජාතික සංගමය

අපේ රට නිදහසින් පසු වසර 70ක් තිස්සේම කල්ගත කර තිබෙන්නේ මේවා සම්බන්ධයෙන් ගැඹුරු කතිකාවතක් හා සංවාදයකින් තොරවය. තවමත් අපට ශ්‍රී ලාංකේය ජාතියවත් ඊට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වත් සකස් කර ගැනීමට නොහැකි වී ඇත. ඊට එදා මෙදාතුර මේ රට පාලනය කළ ආණ්ඩු, දේශපාලනඥයින් වගකිව යුතු අතර ලජ්ජා විය යුතුය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රට නිදහස් කර ගැනීමට සුළුජාතී පාවිච්චි කරමින් ඔවුන් මහජාතිය සමඟ එකට සමගියෙන් සමාදානයෙන් ජීවත්වන බව ලංකා ජාතික සංගමය උපයෝගී කරගනිමින් පෙන්නුවා මිසක ඊට එහා ඔවුන් හා එකට සිටගනිමින් සකස් කරන ලද වැඩපිළිවෙළක් අපට නොතිබුණි. බාහිර වශයෙන් බ්‍රිතාන්‍යයන්ට පෙන්වූ කිසිවක් පසු කලෙක අභ්‍යන්තරිකව අප තුළ දක්නට නොලැබුණි. ලංකා ජාතික සංගමය බ්‍රිතාන්‍යයන්ගෙන් මේ රට නිදහස් කර ගැනීමේ කංකානි වැඩේ ඉටු කිරීමට පමණක් සීමාවිය.

මේනිසා වසර 70ක් තිස්සේම වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නේ මේ රටේ පොදු ජනතාවටය. ගලා ගිය ලේ ගංගාවල ප්‍රමාණයක් දක්නට නොලැබේ. විටින් විට විවිධ ප්‍රදේශවල ඇති වූ ජනවාර්ගික කලකෝලාහලවලට අමතරව 30 අවුරුදු බෙදුම්වාදී යුද්ධය ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමට නොහැකි වූ අසමත්භාවයේම ප්‍රතිඵලයකි. යුද්ධයට මුහුණ දීම හැරෙන්නට ඊට හේතු වූ කාරණා අමතක කරති. සමහරුන්ට එය බෙදුම්වාදී ත්‍රස්ත ක්‍රියාවක්ම පමණි. ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් අනතුරුව ඊට හේතුවූ වෙනත් කාරණා වැදගත් වන්නේ නැත. 2009 යුද ජයග්‍රහණයෙන් පසු සමස්තයක් වශයෙන් අපේ වගකිවයුත්තන් කටයුතු කර ඇත්තේ මෙවන් සරල වගකීම් රහිත මනසකින් බව පෙනේ. ජනවාර්ගික කලකෝලාහල හා ගැටුම් සම්බන්ධයෙන් අපේ සාමාන්‍ය පිළිවෙත මෙයම බව පෙනේ. ඊට හේතුවූ කාරණා ඒවා පිටුපස සිටින අදෘශ්‍යමාන බලවේග, එම බලවේගවල දේශපාලන වුවමනාවන් වෙත්නම් ඒවා ගැන සොයාබැලීමක් දක්නට නොලැබේ. ඒ වෙනුවට සිදුවන්නේ ආරක්ෂක අංශ යොදවා රට හා සිදුවීම් සාමකාමී කිරීම හා හානි ප්‍රතිපූරණය කිරීම් පමණි. ඊට එහාට යමක් සිදුවන බවක් දක්නට නොලැබේ. මේනිසා යළි එවැන්නක් ඇතිවීමේ ඉඩකඩ අනිවාර්යයෙන්ම නිර්මාණය වනු ඇත. මෙය මේ රටේ ජීවත්වන සියලුම දෙනා පොදුවේ අත්විඳින සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

බේරුවල සිට ගිංතොටට, අම්පාරට හා අම්පාරේ සිට මේ ඊයේ පෙරේදා තෙල්දෙණිය දිගන ප්‍රදේශ හරහා හමා ගිය සිංහල මුස්ලිම් වාර්ගික ගැටුම් ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන මහා පොදුසාධකය වන්නේ ද ප්‍රශ්නයක් වූ පසු ඊට මැදිහත් වී එය නිවාදැමීමේ පොදු ක්‍රියාවලියම බව පෙනේ. වර්තමානයේ මෙම ගිනිතැබීමේ ක්‍රියාවලියට සමාජ මාධ්‍ය හනුමන්තලා ද එක්ව සිටී. සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමෙන් ඊට ද කඩයප්පන් විසඳුමක් රජය සොයාගෙන තිබේ.

හෙට අනිද්දා මේ සමාජ මාධ්‍ය තහනම ඉවත් වනු ඇත. අත්අඩංගුවට ගත් අය පස්සා දොරින්ම නිදහස් වනු ඇත. නැවතත් සමාජ මාධ්‍ය හනුමන්තලා සුපුරුදු වැඩේම කරනු ඇත. ඒ ගැන යළි ගැටුමක් ඇතිවනතුරුම වගේ වගක් නොමැතිව බලධාරීන් කටයුතු කරනු ඇත. අවසානයේ දේශපාලනය කරන සියල්ලෝම සුළු ජාතීන් හා මහ ජාතිය අතරට ගොස් බලයට පත්වීමට ඔවුන්ගේ සහාය ඉල්ලා සිටිනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල මේ දේශපාලන විගඩමට වඩා වැඩි යමක් අපට දක්නට ලැබෙන්නේ නැත.

ජාතික අනන්‍යතාව

එහෙත් මුළු ජීවිත කාලය පුරාම හරිහම්බ කරගත් දේපළ අන්තවාදීන් අතින් ගිනිගත් පසු ඊට සරිලන වන්දියක් කිසිදිනක ඒවායේ ගොදුරු බවට පත්වන අසරණ අහිංසක ජනයාට නොලැබෙනු ඇත. මේ යථාර්ථයට මුහුණ දුන් පොදු මහජනතාව වසර 70ක නිදහස තුළ කොතෙක් අත්දැක ඇද්දැයි මෙතෙක් කිසිවෙක් ගණන් බලා නොමැත. ඒ සියල්ල ගොදුරුබවට පත්ව ඇත්තේ අපේ රට පාලනය කළ පිරිස් හිතාමතා අත්හැර දමන ලද මෙතෙක් නොවිසඳුනු ප්‍රශ්නයක් සම්බන්ධයෙනි. එනම් ශ්‍රී ලාංකික අනන්‍යතාවය හා ජනවාර්ගික සහජීවනයයි. එහෙත් සහජීවනය වෙනුවෙන් කෝටි ගණනින් ජාත්‍යන්තර ආධාර කාබාසිනියා කරමින් ඒවා සිය පෞද්ගලික සුඛ විහරණයට යොදා ගනු ලැබූ, ඒ වෙනුවෙන් කොතෙකුත් විදේශ සංචාරවල නිරතවෙමින් ඒවායින් ද ඵල ප්‍රයෝජන ලබන හා ලැබූ විවිධ පිරිස් අප දැක තිබේ. මේ අය ද මේ රටේ ජාතික සමඟිය විකුණා කමින් ජීවත්වන තවත් පිරිසකි. ඔවුන් ද මේ රටේ වාර්ගික අරගල නිර්මාණය කරනු ලබන ජාතික සමඟියට අකුල් හෙළන අපරාධකරුවන්ට දෙවැනි වන්නේ නැත.

පසුගියදා මහනුවර දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල ඇතිවූ සිංහල, මුස්ලිම් කැරැල්ල දෙස බැලිය යුත්තේ මෙවන් පසුබිමකිනි. එය අම්පාර වඳපෙත්තේම දිගුවකි. එම වඳපෙති හබය අද සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් බවට පත්ව තිබේ. එහෙත් එම මිථ්‍යාව මුළුරටේම සිංහල බෞද්ධ ප්‍රජාව තුළ වාර්ගික වෛරයක් හා නොසන්සුන්තාවයක් ඇති කිරීමට සිංහල මුස්ලිම් ජනකොටස් අතර බරපතළ බෙදීමක් ඇති කිරීමට හේතු විය. රස පරීක්ෂක වාර්තාව වඳ පෙත්ත නිකම්ම නිකන් පිටි ගුළියක් බවට පත්කර ඇත. එසේම වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය පර්යේෂණවල නිරත වූවන්ගේ ද නිගමනය මෙය පට්ටපල් බොරුවක් බවය. එහෙත් මේ බොරුව එක් ජනවර්ගයක් තුළ තවත් ජනවර්ගයකට එරෙහිව වෛරයක් පැතිරවීමට කටයුතු කළ, ඊට සමාජ මාධ්‍ය මෙහෙයවමින් කටයුතු කළ අයට එරෙහිව දඬුවම් කළ බවක් අසන්නට ලැබෙන්නේ නැත. මීට අදාළ පරීක්ෂණ ක්‍රියාවලියක් දක්නට නොලැබේ.

එසේනම් මහජන මුදලින් පඩි හා දීමනා ලබන අදාළ බලධාරීන් බරපතළ විපතකට රට යොමු කරන ලද සිදුවීමකදී නිහඬව සිටීම හා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වගකීමකට බැඳී නොසිටී ද යන ප්‍රශ්නය පැනනගී.

අම්පාර හා දිගන සිදුවීම්වලදී පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් තිබේ. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරයකු වන හලීම් මහතා මෙම සිදුවීමට පෙරාතුව දිගන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අන්ත ජාතිවාදී සංවිධානයක් සම්බන්ධයෙන් පොලීසියට කළ හෙළිදරව්ව ගැන පොලීසිය සැලකිලිමත් නොවූ බව පසුගියදා මාධ්‍ය ඉදිරියේ පැවසීය.

පොලීසිය සහ ජනතාව

එසේම අම්පාර, දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවීම්වලදී පොලීසිය බලා සිටියදීම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූ බවත් සමාජගතවී ඇත. විශේෂයෙන්ම ඒවා සුළු ජාතීන් ඉලක්ක කරගත් ස්ථාන විය යුතුය. එසේනම් තත්ත්වය තවත් බරපතළය. මේවා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු නොවන්නේ නම් එය වත්මන් සහජීවන ආණ්ඩුවේ පැවැත්මට ද හානිකරය.

මේ සියලු තත්ත්ව යටතේ හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මහනුවර ගොස් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් දෙන ලද සෘජු නායකත්වය කාගේත් ප්‍රශංසාවට ලක්ව තිබේ. ඔහු දළදා මාළිගාව වැඳපුදාගෙන මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන අදාළ සිදුවීම් සියැසින් නරඹමින් හමුදාවට දුන් නායකත්වය සියලුම ජන කොටස් අතර ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරන්නකි. එළැඹෙන වෙසක් දිනයට ප්‍රථම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හමුදාවේ සහායෙන් අලාභහානි වූ සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදාපතිවරයා බලාපොරොත්තු වේ. ඊට අදාළ ප්‍රතිපාදන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදෙනු ඇත. හමුදාපතිවරයාගේ අධිෂ්ඨානය පුනරුත්ථාපන කටයුතු අවසන් කර එළැඹෙන වෙසක් දිනය සහජීවනය පදනම් කරගත් වෙසක් සැමරුමකට මහනුවර සූදානම් කිරීමටය. එය වැදගත්ය. විශේෂයෙන්ම හමුදා නායකයෙකුගෙන් එවන් ප්‍රකාශයක් හා අධිෂ්ඨානයක් පළවීමේ වැදගත්කම සම්බන්ධයෙන් මුළු රටේම ප්‍රණාමය එතුමන්ට හිමිවිය යුතුය.

මේ මොහොතේ රටට අවැසි වන්නේ මෙවන් සෙන්පතීන් බව අමුතුවෙන් කිව යුතු නැත. අවසානයේ බේරුවල, ගිංතොට, අම්පාර හා මහනුවර සිදුවීම් හදිසි නීතියෙන් හෝ ඇඳිරි නීතියේ බලයෙන් හෝ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් යටපත්වී එය තවත් අරගලයක් ලෙසින් සටහන් වන්නේ නම් පමණක් රටක් වශයෙන් වැඩක් වන්නේ නැත. ආණ්ඩුවක් ලෙසින් මින් ඉදිරියට යමින් මෙහි සුලමුල සොයා අදාළ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතුය. යළි මෙවැන්නක් ඇති නොවීමට වගබලාගත යුතුය.

නව අදහස දක්වන්න