නොදැනීමෙන් කඩවන මානව හිමිකම් | දිනමිණ

නොදැනීමෙන් කඩවන මානව හිමිකම්

අපේ රටේ ජනතාව නොදැන මානව හිමිකම් කඩ වෙන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස වෛද්‍යවරු, විනිශ්චයකාරවරු වැනි සමාජයේ ඉහළ රැකියා කරන අයගේ දරුවන් ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කර ගැනීමට කෝටා ක්‍රම හිමිව තිබේ.. ජනප්‍රිය පාසල්වල ආදි සිසු සිසුවියන්ට සියයට විසි පහක කෝටා එකක් හිමි වේ. එය අපි නොදැනුවත්ව මානව හිමිකම් කඩ වෙන අවස්ථාවකි.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ අපට නිරතුරු මාධ්‍ය මගින් අසන්නට ලැබේ. මානව හිමිකම් යන්න හඳුනා ගන්නේ කෙසේද ? මානව හිමිකම් කඩ වෙන අවස්ථාවන් මොනවාද ?මේ ගැන අප දැනුම්වත්ව සිටීම වැදගත්ය. සැබෑ ලෙසම මානව හිමිකම් යනු කුමක්දැයි ඇසුවහොත් දිය හැකි සරල පිළිතුර නම් ජනතාවගේ ජීවිත ගෞරවනීය ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වන අයිතිවාසිකම් සියල්ල මානව හිමිකම්ය. වැඩි උගත්කමක් නැති අයට වුව එය පැහැදිලිව හඳුනාගත හැකිය. ඔබට යම් අයකු අසමාන ලෙස සැලකුවොත් ඔබේ හිත රිදෙනු ඇත. ඔබේ ජීවිතයට තර්ජනයක් ඇතිව තිබෙනවා නම් ඔබ කොපමණ කම්පනයට පත් වේද ? ඒ මොහොතේම ඔබේ මානව හිමිකම් කඩ වී හමාරය . නීති පොතේ තිබුණත් නැතත් අපට යම් අසාධාරණයක් වෙනවා නම් එය මානව හිමිකම් කැඩීමකි. අධ්‍යාපනය මුලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ මෑතකදීය. සෞඛ්‍ය ද පුද්ගලයකුගේ අයිතිවාසිකමකි ඊට හේතුව නම් මිනිස්සු ජීවිතයට ආදරය කිරීමය. අනාගතයේදී ජන ජීවිතය හොඳින් පවත්වා ගැනීමට අවශ්‍ය වන සියලු දෑ මානව හිමිකම් බවට පත් වනු ඇත. පුද්ගලයකුගේ ජීවිතයට අතිශයින්ම වැදගත් වන දෑ මානව හිමිකම්ය. මානව හිමිකම් කිසිවකු විසින් කාටවත් බන්දේසියක තබා ලබා දෙන්නේ නැත. එහි තේරුම නම් මානව හිමිකම් පිළිබඳ අවධානයෙන් නොසිටියහොත් නොදැනම අපේ මානව හිමිකම් කඩ වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය.

ගම-නගරය පරතරය

මීට දශක තුනකට පෙර අපේ රටේ උතුර සහ නැගෙනහිර දෙපළාත බිහිසුණු යුද්ධමය තත්ත්වයකට මැදිව තිබිණි. එමෙන්ම අපේ රටේ දකුණු ප්‍රදේශයේ විවිධ කැරැලි කෝලාහලවලට ඇතිව තිබිණි . එකල අපට බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබුණු දෙයක් නම් ග්‍රාමීය මට්ටමේ සහ නාගරික ජනතාවගේ මානව හිමිකම් පිළිබද දැනුම අල්ප මට්ටමක පැවැතීමය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මුලික අයිතිවාසිකම් පිළිබද යම් දැනුමක් ජනතාවට එදා තිබුණි. පුද්ගලයකුට තිබෙන අයිතිවාසිකම් කැඩී යාම වැරැදි දෙයක් බවත් ඒ ගැන සහනයක් පැතිය හැකි බවත් ජනතාව මීට දශක දෙක තුනකට පෙර දැන සිටියේ නැත . නමුත් අද වන විට මානව හිමිකම් පිළිබද ජනතාවගේ දැනුම යම් මට්ටමකින් ඉහළ ගොස් තිබේ. ඊට හේතුව නම් විශ්වවිද්‍යාල , සිවිල් සමාජ සංවිධාන , මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ක්‍රියාකාරකම්ය. එම නිසා මානව හිමිකම් පිළිබද යම් දැනුම්වත් භාවයක් ජනතාවට ලැබී තිබේ. අද වන විට අපේ රටේ මානව හිමිකම් ගැන නිරතුරු කතා බහට ලක් වේ. මාධ්‍ය මගින් මානව හිමිකම් පිළිබද ප්‍රශ්න නිතර මතුකර පෙන්වයි. එය අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් දැනුම යම් මට්ටමකින් හෝ වැඩි වීමට හේතුවකි.

එහෙත් රටේ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන ජනතවගේ මානව හිමිකම් දැනුම ඉතාම පහළ මට්ටමක පවතී. ලංකාවේ දැනුම සියලු පිරිස් වෙත බෙදා දිය හැකි හොඳම ස්ථානය පාසල් පද්ධතිය බව කිව යුතුය. එහෙත් අපේ පාසල් පද්ධතියෙන් මානව හිමිකම් දැනුම ලැබෙන්නේ අවම මට්ටමකිනි . මානව හිමිකම් දැනුම වැඩි කිරීමට පාසල් පද්ධතියේ විෂය නිර්දේශයන්හි ප්‍රමුඛතාවයක් ලැබී නැත.

මාධ්‍ය මගින් මානව හිමිකම් ප්‍රශ්න සාකච්ඡා කළත් ජනසමාජයේ සෑම කොටසක්ම ඒ ගැන දැනුම්වත් වෙනවාද යන ප්‍රශ්නය ඇතිව තිබේ. අද වන විට අපේ රටේ පුවත්පත් කියවන්නේ බොහොම අඩු පිරිසකි. බොහෝ දෙනා පුවත්පත්වල සිරස්තල පමණක් බලති. උදේ පාන්දර රූපවාහිනියේ , ගුවන්විදුලියේ පුවත් සිරස්තල අහන්න දකින්නට හැකිය. මේ නිසා ජනතාව මානව හිමිකම් වැනි කරුණු ගැන මධ්‍යවල සාකච්ඡා වෙන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැති තරම්ය. මානව හිමිකම් කොමිෂන් සභාවට ඇති විශාල අභියෝගය නම් මානව හිමිකම් දැනුම ග්‍රාමීය මට්ටමෙන් වැඩි කිරීමය. එය තරමක් දුරට අපහසු කාර්යයකි. හේතුව ලංකාවේ ජනතාව සක්‍රීය පුරවැසියන් නොවීමය.

ජනතාව උදාසීන වීම

සමහර රටවල ග්‍රාමීය මට්ටමෙන් ප්‍රජා සංවිධාන එකතුව මානව හිමිකම් වැනි තොරතුරු හඹා යති. නමුත් ලංකාවේ ජනතාවගේ එතරම් සක්‍රීය බවක් දකින්නට නැත. යම් පළාත්වල සක්‍රීය වු මරණාධාර සමිති සහ කාන්තා සමිති තිබුණද මානව හිමිකම් වැනි කරුණු ඔවුහු හඹා නොයති.

මානව හිමිකම් දැනුම අතිශයින් වැදගත් වන්නේ ජනතාවගේ ජීවිත යහපත් ලෙස පවත්වා ගැනීමටය. පුද්ගලයකුගේ මුලික අයිතිවාසිකම් කැඩුණු විට සහන ලබා ගැනීමේ හැකියාව තිබේ. රටක මානව හිමිකම් දැනුම වැඩි කිරීමට යොදා ගන්නා ක්‍රම උපායන් සාර්ථක වන්නේ රටේ සිවිල් සමාජයේ සහ ප්‍රජා සංවිධානවල ඇති උනන්දුව මතය.

රටක ජනතාවගේ මානව හිමිකම් දැනුම වැඩි කිරීම මානව හිමිකම් කොමිෂන් සභාවට තනිව කළ නොහැක.සමහරු මානව හිමිකම් කොමිෂන් සභාව දකිනුයේ යාන්ත්‍රණයක් ලෙසය. තමන්ගේ අයිතිවාසිකම් කැඩුණු විට ඊට පිළියමක් ලබා ගත හැකි තැනක් ලෙස සමහරු කොමිෂන් සභාව දකිති. එය වැරැදි අදහසකි. මානව හිමිකම් කොමිෂන් සභාවේ වගකීම පැමිණිල්ලක් ලැබුණු පසු ඒ ගැන සොයා බලා සහන සැලසීමය . උදාහරණයක් ලෙස අප මෙසේ සිතමු. පුද්ගලයකු පොහොර සහනාධාරය ලබා ගැනීමට ගිය පසු පළාතේ බලසම්පන්න පුද්ගලයෙක් පැමිණ ඊට බලපෑම් කරනු ලබයි. “පොහොර සහනාධාරය මේ පුද්ගලයාට දෙන්න එපා. එය මගේ ගෝලයාට ලබා දෙන්න“ යැයි බලසම්පන්න පුද්ගලයා බලපෑම් කළා යැයි සිතන්න. එවැනි අවස්ථාවක ජනතාව තම අයිතිවාසිකම් ගැන දැනුම්වත් නම් ඒ ගැන හඩක් නැඟිය හැකිය. තම අයිතිවාසිකම් ගැන දැනුම්වත් නැති නම් කරුමේ යැයි සිතති. ඕවා ඔහොම තමයි කියමින් ජනතාව ලත වෙති. ඉන් පැහැදිලි වන්නේ පුද්ගලයකුගේ එදිනෙදා ජීවිතය ශක්තිමත් කර ගැනීමට මානව හිමිකම් උදව් වන බවය.

අයිතිය වෙනුවෙන් කළ යුතු සටන

මානව හිමිකම් කැඩෙන අවස්ථාවක ඔහේ බලා සිටිය යුතු නැත. මටත් මේ අයිතිවාසිකම තිබෙන බව අදාළ බලධාරීන්ට පෙන්නුම් කළ යුතුය. තමන්ට අයිතිවාසිකම් ලැබෙන්නේ නැතිනම් ඊට හේතු පෙන්වන ලෙස අදාළ බලධාරීන්ට අභියෝග කළ යුතුය. ඉන් පසුද සාධාරණයක් ඉටු නොවේ නම් මම මේ ගැන පැමිණිලි කළ යුතු තැනට යන බව බලධාරීන්ට කිව යුතුය. ඇතැම් අවස්ථාවල මානව හිමිකම් කොමිසමට නොයා අභියෝග කිරීමෙන් ඇතැම් ගැටලු සදහා විසඳුම් ලැබෙන අවස්ථා තිබේ. අප අවසන් මොහොත දක්වා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම වැදගත්ය.

මානව හිමිකම් කඩ වෙන අවස්ථාවකදී මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදු කරනුයේ යම් ආයතනයකට හෝ නිලධාරියකුට නිර්දේශ ඉදිරිපත් කිරීමය. කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත නියෝග නිකුත් කිරීමේ බලයක් මානව හිමිකම් කොමිෂන් සභාවට නැත.

නිර්දේශ පමණක් ඉදිරිපත් කරීම දුර්වලතාවක් ලෙස සමහරු දකිති. සමහරු අපට දත් නැති කොටියෙක් යැයි කියති. එය අපි සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරමු . ලෝකයේ මානව හිමිකම් ආයතන, ඔම්බුඩ්ස්මන්වරු සහ ස්වාධීන ආයතන අධිකරණ ලෙස කටයුතු සිදු නොකරයි . අධිකරණ ක්‍රියාදාමයට විකල්පයක් ලෙස මානව හිමිකම් ආයතන කටයුතු කරයි.

ලංකාවේ ඉහළ නිලධාරීන් සිතනුයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අප බැඳී නැති බවය. කොමිෂන් සභාව ඒ දෙස බලනුයේ ලාංකීය ජන සමාජය නීතිය සමග ඇති සම්බන්ධයේ විශාල අර්බුදයක් ලෙසය. එය රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශාල අර්බුධයකි .ලංකාවේ දණ්ඩනයක් නැතිනම් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත . එය රටේ අවාසනාවකි. මෙරට සාක්ෂරතාවය ඉතා ඉහළය.මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ,විදුහල්පතිවරුන් , ආයතන ප්‍රධානීන් ඇතුළු ලංකාවේ ඉහළ නිලධාරී පැලැන්තිය ඉතා ඉහළ අධ්‍යාපනයක් ඇත්තවුන්ය.

එවැනි අවස්ථාවක මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතනයන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම රටට විශාල හානියකි. එසේම නිර්දේශ සද්භාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන, ජනතාවගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්නයක් ලෙස ගෙන වෘත්තීමය වගකීමකින් කටයුතු කරන නිලධාරීහුද අප අතර සිටිති. යම් ආයතනයක් හෝ නිලධාරියකු සාධාරණ හේතු නොදක්වා මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකරනවා නම් ඊළග පියවර ගරු ජනාධිපතිතුමා මගින් පාර්ලිමේන්තුවට එවැනි නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමය.

මානව හිමිකම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන් පිළිබඳ මේ වන විට අධ්‍යනය කරමින් සිටී. දිගින් දිගටම අපගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හරින නිලධාරින් පිළිබඳ ජනාධිපතිතුමා මගින් පාර්ලිමේන්තුවට යොමු කිරීමට කටයුතු අරම්භ කර ඇත. සමහර දෙපාර්තමේන්තු අපේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේම නැතිනම් අප අදාළ අමාත්‍යාංශ දැනුම්වත් කිරීමට කටයුතු යොදා තිබේ. මුළු රාජ්‍ය තන්ත්‍රය ස්වාධීන කොමිෂන් සභා නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දක්වනවා නම් අපේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් රජයේ සියලු ආයතන කටයුතු කිරීම වැදගත්ය.

කොමිෂන් සභාවට ලැබෙන පැමිණිලි විභාග කර අවසන් කිරීම ප්‍රමාද වීම ගැන අපි ජනතාවට කනගාටුව පළ කරමු. ඒ ගැන සමාව අයද සිටින්නට කැමැතිය. පරීක්ෂණ වාර්තා කැඳවමින් ගොණුව වසා නොදමා නොකඩවා පරික්ෂණ කටයුතු කර ගෙන යාමට අප දැන් උපදෙස් ලබා දී තිබේ..

නොදැන කඩවන අවස්ථා

අපේ රටේ ජනතාව නොදැන මානව හිමිකම් කඩ වෙන අවස්ථා තිබේ. උදාහරණයක් ලෙස වෛද්‍යවරු , විනිශ්චයකාරවරු වැනි සමාජයේ ඉහළ රැකියා කරන අයගේ දරුවන් ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කර ගැනීමට කෝටා ක්‍රම හිමිව තිබේ.. ජනප්‍රිය පාසල්වල ආදි සිසු සිසුවියන්ට සියයට විසි පහක කෝටා එකක් හිමි වේ. එය අපි නොදැනුවත්ව මානව හිමිකම් කඩ වෙන අවස්ථාවකි. එය සමානාත්මතාව කඩ වීමකි. අප මේ ගැන දීර්ඝ ලෙස අධ්‍යනය කරමින් සිටිමු. ලංකාවේ පාසල් විෂය නිර්දේශය සහ දරුවන් ඇතුළත් කර ගැනීම අදි වශයෙන් මුළු අධ්‍යාපන පද්ධතිය පිළිබඳව අපේ විශේෂඥ කමිටුවක් විසින් අධ්‍යනය කරමින් සිටී. ඉන් පසුව අපි මේ වසරේදී මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

ලංකාවේ තිබෙන ප්‍රශ්නය ඉහළ නිලධාරී පන්තිය මානව හිමිකම් කොමිසමේ නිර්දේශ දෙස බලනුයේ බුද්ධියෙන් පමණි. බුද්ධියෙන් පමණක් නොව හදවතින් අප මානව හිමිකම් ගැටලු දෙස බැලිය යුතුය. ඒ ගැන කැක්කුමක් නැති නම් හොඳ සමාජයක් ගොඩ නගන්න අපට නොහැකි වනු ඇත. නීති පොත පෙරළමින් සීටිමින් සමාජයක් වර්ණවත් කළ නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් සහ පරිසරය ආරක්ෂා කරනවා නම් ඒවා හදවතට බද්ධ කොටගෙන ජීවිතයේ කොටසක් බවට පත් කර ගත යුතුය.

විශේෂයෙන් අපේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහි විනය පියවර ගැනීම සදහා වන ක්‍රමවේදයක් සැකසීමට අපි බලාපොරොත්තු වෙමු. අපට අවශ්‍ය වන්නේ හැදුණු සමාජයකි. අප නීතියට ගරු නොකරනනේ ඇයි?. අපි සදාචාරාත්මක මට්ටමින් මේ ප්‍රශ්න දෙස නොබලන්නේ මන්ද ? අධිකරණය යම් නියෝගයක් කළහොත් ඕනෑම ආයතනයක්, ආයතන ප්‍රධානියෙක් එය ක්‍රියාත්මක කරනු නිසැකය. ඊට හේතුව දණ්ඩනයට ඇති බිය ය. උගත් මිනිස්සු මෙවැනි දෑ ගැන ලජ්ජාවට පත් විය යුතුය. අපේ රටේ හොඳ සමාජ හර පද්ධතියක් සකසා ගන්නේ කවදා ද? සෑම විටම නීති සම්පාදනය කර දඩුවම් ලබා දුන්නාට රටක් ලස්සන වන්නේ නැත. අනාගත පරම්පරාවට හෝ අප ලස්සන රටක් ඉතිරි කළ යුතුය. ඒ සඳහා සියලු දෙනා එක්ව මානව හිමිකම් රකින, මානව හිමිකම්වලට ගරු කරන සමාජයක් ගොඩනැගීමට අත්වැල් බැඳ ගැනීම අතිශයින්ම වැදගත්ය.

සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ
චන්දන බණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...