දරුවෝ හදන්න ඕනැ බිත්තර වී වගේ | දිනමිණ

දරුවෝ හදන්න ඕනැ බිත්තර වී වගේ

මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් වන අප සැමගේ සිහිනය හා බලාපොරොත්තුව, තම දරුවන් විශිෂ්ටයන්, බුද්ධිමතුන් හා ලෝක ශූරයන් බවට පත් කිරීම ය. එම සිහිනය සැබෑ කර ගන්නේ කෙසේද? යන්න පිළිබඳ අපි කවුරුත් හරිහැටි නොදනිමු. ඒ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා විසින් රචිත 'Brain Child - බුද්ධිමත් දරුවකු හදාවඩා ගැනීම' හා 'ඔබත් දක්ෂ කථිකයකු වන්න' නවතම කෘති ද්විත්වය මේ මස 17 වැනිදා සෙනසුරාදා පෙ.ව. 9.00 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

මොළය වර්ධනය කිරීමට සිත ඒකාග්‍ර කරන භාවනා -

සතිමත් බව වැනි අභ්‍යාස උදවු වන බව පෙනීගොස් තිබෙනවා. යථාභූතය නුවණින් දැකීමට සිත දියුණු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ වගේම, භාරතීය ඍෂිවරුන් පෙන්වා දී තිබෙනවා. මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, සිත දියුණු කිරීමේ භාවනා හා සතිමත් අභ්‍යාස දියුණු කළහම, නව මානව මොළය දියුණු කළ හැකි බවයි.

ඔබතුමා මේ කෘතිය 'Brain Child - බුද්ධිමත් දරුවා' ලෙස නම් කළේ ඇයි?

ඒ ආකාරයට නම් කළේ විශේෂ අරමුණකින්. සෑම මිනිසකුගේ ම බුද්ධිමය දියුණුවට උදවු වෙන්නේ මොළය. මොළය වර්ධනයේ සුවිශේෂී බවක් සහ තීරක අවධි රටාවක් තිබෙනවා. දරුවන් හදන වඩන සැවොම මේ පිළිබඳ නිවැරැදිව දැනුම්වත් වුණොත්, දරුවාට වඩාත් සාධාරණයක් කළ හැකියි. මොළය දියුණු කිරීම කියලා කියන්නේ, දරුවන්ගේ සැඟවුණු විභව්‍යතා, කුසලතා දියුණු කිරීමට කටයුතු කිරීමයි. 'Brain Child - බුද්ධිමත් දරුවා' විදිහට මේ කෘතිය නම් කළේ, මොළයේ වටිනාකම පිළිබඳ වඩාත් තහවුරු කිරීම සඳහායි.

මොළයේ වර්ධනයේ තීරක අවධි පිළිබඳ ඔබතුමා මේ කෘතියේ දී දක්වා තිබෙනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මොළයේ සුවිශේෂ වර්ධන රටාවක් තිබෙනවා. දරුවකුගේ මොළය වර්ධනය වීම ආරම්භ වෙන්නේ, දැනට විද්‍යාත්මකව සොයාගෙන ඇති ආකාරයට පිළිසිඳ ගෙන සති හත - අට පමණ කාලයේ සිටයි. ඉන් කියැවෙන්නේ, දරුවාගේ මිනිස් හැඩරුව ආරම්භ වූ වහාම, මොළයේ හැඩරුව ආරම්භ වන බවයි. මේ නිසා, ශූර වීර දරුවකු හදාවඩා ගැනීමට මවුපියන්ගේ සිහිනයක් තිබෙනවා නම්, දරුවා පිළිසිඳ ගැනීමට පෙර සිට ම ඒ ගැන සූදානමක් තිබීම අවශ්‍ය යි.

ඔබතුමා පිළිසිඳ ගැනීමට පෙර සූදානමක් ගැන පවසනවා. ඒ මඟින් පැවසෙන්නේ මොකක් ද?

දරුවකු පිළිසිඳ ගන්නේ හරියට, බිත්තර වී සාදා ගන්නවා වාගෙයි. කමත්වල ඇගිටි හා බොල් පැළ වෙනවා. ඒවා ගොයම් ගස් වුණත්, නිසි පැළයක් වෙන්නේ නැහැ. දරුවෙකුත් එසේමයි.

දුර්වල දරුවකු උපදින්න හේතුව මොකක්ද?

දරුවකු පිළිසිඳ ගන්නා විට මවගේ ඩිම්බය හා පියාගේ ශුක්‍රාණු හරහා වර්ණ දේහ 23 බැගින් හා ජාන ලක්ෂ ගණනින් වූ එකතුවක් සිදු වෙනවා. මේ ජාන දුර්වල නම්, පිළිසිඳ ගන්නා දරුවා දුර්වල වෙනවා. මත්පැන් බීම, මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය, කෘමිනාශක හා වල් පැලෑටි නාශක රසායනිකවලට විවෘත වීම, තැලිසීමියා, දියවැඩියා, ලියුකේමියා, ඒඩ්ස් වැනි රෝග වාහක මාපියන්ගේ ජානවලින් හටගන්නා දරුවා දුබල වීමේ භව්‍යතාව වැඩියි. නිරෝගි, බුද්ධිමත් දරුවකු හදා වඩා ගන්නට, දරුවකු පිළිසිඳ ගැනීමට පෙර සිට ම සූදානම් විය යුත්තේ ඒ නිසයි.

මොළය වර්ධනයේ විශේෂත්වයක් තිබෙනවා ද?

අනිකුත් ඉන්ද්‍රියන් හා සසඳලා බලද්දි, මොළයේ සුවිශේෂී වර්ධනයක් තිබෙනවා. උපදින විට අන් සියලූ සතුන්ගේ මොළයට වඩා, ඇඟට සාපේක්ෂව බලද්දි, මිනිස් දරුවාගේ මොළය ලොකු යි. උපදිද්දි ලොකු හිසක් තිබෙන්නේ ඒ නිසයි. දරුවකු උපදිද්දි, වැඩිහිටියකුගේ මොළයෙන් 25%ක් පමණ වැඩී තිබෙනවා. එය අවුරුදු 2 1/2 වගේ වෙද්දි 75%ක්, අවුරුදු 04 වෙද්දි 80% ක් හා අවුරුදු 06 වෙද්දි 90%කට පමණ සමාන වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ, මුල් අවුරුදු 06 තුළ මොළයේ කෙතරම් වේගවත් වර්ධනයක් සිදුවෙනවා ද කියන එකයි.

දරුවකුගේ වර්ධනයට බලපාන සාධක කිහිපයක් ඔබ මෙහි දී ඉදිරිපත් කරනවා. එම කරුණු කාරණා දරුවකුට බලපාන ආකාරය පිළිබඳ කතා කළොත්?

මේ වර්ධනයෙන් පැහැදිලි වෙන්නේ, මුල් අවුරුදු 06 තුළ අප ලබා දෙන අත්දැකීම්, පෝෂ්‍යදායි ආහාර, භෞතික වාතාවරණය, හදාවඩා ගැනීමේ රටාව කියන මේ සියල්ලම දරුවාගේ වර්ධනයට බලපානවා කියන එකයි. මේ කෘතිය මඟින් මා උත්සාහ කරන්නේ, නූතන මනෝ විද්‍යාත්මක, වෛද්‍ය හා ස්නායු වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ගොනු කරලා, අපගේ දරුවන් හදාවඩා ගන්න භාවිත කළ යුතු නිවැරැදි ම ක්‍රමය කියා දීමටයි.

ළමා වයස ගැන විතරක් සාකච්ඡා කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

විශේෂයෙන් ම ළදරු හා ළමා වයස ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ වගේ ම අවු. 18-20 පමණ දක්වා නව යෞවන වියේ දී මොළය හා බුද්ධිය වර්ධනය වන අන්දමත්, ඒ වයසේ දී බාහිරව ලැබිය යුතු සහාය ගැනත් මෙහි දී සාකච්ඡා කරනවා.

මොළය කියන්නේ භෞතික ඉන්ද්‍රියයක්. පරිගණකයක දෘඪ කොටස (hardware) වගේ. ඒ පරිගණකය තුළ විවිධ වැඩසටහන් මෘදු කාංග (software) නිර්මාණය කළ හැකියි. දක්ෂ පරිගණක ඉංජිනේරුවරයකුට මේ පරිගණකයේ විවිධ හැකියා මතු කළ හැකියි. දත්ත රැසක් ගොනු කළ හැකියි. ඒවායේ විවිධ සබඳතා ඇති කළ හැකියි. මොළය සමඟ ක්‍රියාත්මක වන වැඩිහිටියකුට, ඒ පරිදි දරුවාගේ මොළයේ විභව්‍යතා වර්ධනය කරන්නට මහත් වූ කාර්යභාරයක් කළ හැකියි.

මොළයේ නීල කලාප හා රක්ත කලාපයක් පිළිබඳ ඔබතුමා සඳහන් කර තිබෙනවා. ඒ මඟින් පැවසෙන්නේ කුමක් ද?

අප සිතන පතන හැසිරෙන ආකාරය අනුව මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. තරහව, කෝපය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි අහිතකර සිතිවිලි හටගත්තහම, මොළයේ තිබෙන ඇමිග්ඩලා කොටස උත්තේජනය වෙලා, ඍණාත්මක න්‍යුරෝපෙප්ටයිඩ නමැති රසායනිකය නිකුත් වෙනවා. ඒ ඍණ න්‍යුරෝපෙප්ටයිඩ රුධිරය හා මිශ්‍ර වෙලා, ඇඟ පුරා ම ගමන් කරනවා. එවිට මොළයේ තිබෙන උරග මොළය හා ක්‍ෂීරපායී මොළය කොටස රතුපාට වෙනවා. එම රසායනික නිතර නිතර නිකුත් වුණොත්, අපගේ සිරුරේ ප්‍රතිශක්තිය නැති වෙනවා. මෑත කාලයේ බෝ නොවන රෝග වැඩි වීමට එක හේතුවක් තමයි මේ අහිතකර චිත්තවේගවල බලපෑම. වර්තමානයේ බොහෝ දෙනකු මානසික පීඩනයකට ලක්ව සිටිනවා. එය සාමාන්‍ය වචනයක්. Stress නැත්නම්, ක්ලමථය නමින් එය හඳුන්වනවා. මේ Stress නැතිනම් ක්ලමථ තත්ත්වයට නිතර නිතර ගොදුරු වුණොත්, ඉහත කී රක්ත කලාප උත්තේජනය වෙනවා. මෙය බුද්ධි වර්ධනයට හා මානසික වර්ධනයට බාධා කරනවා.

නීල කලාපය තිබෙන්නේ සිත සමඟ මොළයේ ක්‍රියාකාරිත්වයත් එක්කමයි. සිත සන්සුන් වුණහම, ආශා කරන සිංදුවක්, ගීයක්, සංගීතයක් අසද්දි, මූහුදු වෙරළේ, කැළයේ ඇවිදින්න යද්දි, ආගමික වතාවත්වල යෙදෙද්දි, මොළයේ නීල කළාපය උත්තේජනය වෙනවා.

ඒ කළාපය සෞම්‍යයි. භාවනා කරද්දි සතිමත් අභ්‍යාස කරන විට, යෝග කරන විට මේ නීල කලාපය උත්තේජනය වෙනවා. එවිට නිකුත් කරන්නේ, ධනාත්මක නියුරෝපෙස්ටයිඩ. එය ශරීරයට හිතකරයි. බුද්ධි වර්ධනයට, මොළයේ දක්ෂතා වැඩි දියුණු කිරීමට, නව මානව මොළය විකසිත වීමට ඒක උදවු කරනවා.

ඔබතුමා මේ පොතේ ලෝක ශූරයකු බිහි කිරීම ගැන කතා කරනවා.

අප දැන් ජීවත් වෙන්නේ 21 වැනි ශතවර්ෂයේ. මේ පර්යේෂණ දියුණු ම අවධියක්. ලෝක මට්ටමේ ශූරයන් බිහි වෙන්නේ කෙසේද යන්න පිළිබඳ සෙවීමට බොහෝ පර්යේෂණ කර තිබෙනවා. ඒ පර්යේෂණ මඟින් පෙනී ගොස් තිබෙන්නේ, ඒ සඳහා සිත හා මොළය යන අංශ දෙකම එක සේ වැදගත් වන බවයි. මේ නිසා, සිත ශක්තිමත් කරන අභ්‍යාස කළහම, මොළය වර්ධනයට එය බෙහෙවින් බලපාන බව හඳුනාගෙන තිබෙනවා. මේ නිසා, කවර අයකුට වුණත් විශිෂ්ටයකු වීමට, මොළය වර්ධනයට සිත වර්ධනය සම්බන්ධ කිරීමට සිදු වෙනවා. ඒ සඳහා සතිමත් බව, භාවනා, ඉහිල් වීමේ අභ්‍යාස, නිහඬතාවේ ගිලීම වැනි අභ්‍යාස වැදගත්. අප හැම අයකුටම අපගේ දරුවන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ විනිශ්චයක් කර ගැනීමට මේ තොරතුරු උදවු වෙනවා.

මම මේ කෘතියේ දී, ඒ පිළිබඳ කළ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මොළය වර්ධනය කිරීමට සිත ඒකාග්‍ර කරන භාවනා - සතිමත් බව වැනි අභ්‍යාස උදවු වන බව පෙනීගොස් තිබෙනවා. යථාභූතය නුවණින් දැකීමට සිත දියුණු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ වගේම, භාරතීය ඍෂිවරුන් පෙන්වා දී තිබෙනවා. මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, සිත දියුණු කිරීමේ භාවනා හා සතිමත් අභ්‍යාස දියුණු කළහම, නව මානව මොළය දියුණු කළ හැකි බවයි. එවිට මොළයේ උපරිම ශක්තිය දියුණු කළ හැකි බවයි.

මේ නිසා, මේ නවතම තොරතුරු අප දැනගත යුතුයි. මේ පොතේ මම එම කරුණු බොහොමයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම දරුවන් හදන වඩන අම්මලා, තාත්තලාට, ගුරුවරුන්ට ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරකම් රැසක් ම මේ කෘතියේ දී හඳුන්වා දී තිබෙනවා.

'ඔබත් දක්ෂ කථිකයකු වන්න' ඔබතුමා රචනා කළ අනෙක් කෘතිය. ඕනෑම අයෙකුට, දක්ෂ කථිකයකු වීම වැදගත් වෙන්නේ කොහොමද?

දක්ෂ කථිකයකු බවට පත් නොවී වර්තමානයේ ඉදිරියට යාමට අමාරුයි. සම්මුඛ පරික්ෂණවල දී, විභාග අවශ්‍යතා සඳහා තම වාර්තා ඉදිරිපත් කිරීමේ දී, අලෙවි කටයුතුවල දී, පොදු ජන ඇමතුම්වල දී වඩාත් කැපී පෙනෙන්නේ, ජයග්‍රහණය කරන්නේ දක්ෂ කථිකයන්. මැතිවරණ ජය ගන්නේ දක්ෂ කථිකයන්. මේ නිසා, දක්ෂ කථිකයකු වන අන්දම ඉගෙන ගත යුතුයි.

කථිකයකු වීමට ඉගෙන ගත යුතු ම ද?

මේ පිළිබඳ කළ පර්යේෂණවල දී, එක් පර්යේෂණයක් සඳහා තෝරා ගත් කණ්ඩායමේ අයගෙන් 90%ක් ම තමන් වඩාත් බය කරුණු තුන අතරට වේදිකාවක කතා කිරීම ඇතුළත් කර තිබෙනවා. සබකෝලය, වේදිකා බිය, සමාජ භීතිකා ආදි හේතු රාශියක් නිසා බොහෝ දෙනා තුළ මේ ගැටලූව ඇති වී තිබෙනවා.

ඔබතුමා ඒ සඳහා යෝජනා කරන්නේ කුමක් ද?

මේ කෘතිය පුරාවට ම දක්වා තිබෙන්නේ, එම ගැටලූ ජයග්‍රහණය කරන අන්දම පිළිබඳයි. ඕනෑම අයකු දක්ෂ කථිකයකු කළ හැකියි. ඒ සඳහා පුහුණුවක් දිය හැකියි.

අප පවත්වාගෙන යන පෞරුෂ වර්ධන පාඨමාලාවට ඇතුළු වන සෑම අයෙකුම දක්ෂ කථිකයන් බවට පත් කිරීමට අපට හැකි වී තිබෙනවා. ඒ සඳහා ක්‍රම ශිල්ප තිබෙනවා. මානසික දුබලතාව අඩු කිරීමේ අභ්‍යාස, ස්වයං කථනය දියුණු කිරීම හා ප්‍රායෝගික අභ්‍යාස කිරීම මඟින් ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්.

ඒ පුහුණුව ඕනැම අයෙකුට ලබා ගන්න පුළුවන්ද?

ඔව්. අපි පෞරුෂ වර්ධනය සඳහා මඟ පෙන්වන පාඨමාලාවක් නොමිලයේ ක්‍රියාත්මක කරනවා. එහි 14 වැනි පාඨමාලාව මේ මස 17 වැනිදා සෙනසුරාදා උදේ 9.00 - 1.00 දක්වා මේ කෘති දෙක දොරට වඩින අවස්ථාවේ දී හඳුන්වා දෙනවා. එදින ප්‍රධාන දේශන හතරක් පැවැත්වෙනවා.මේ දවස ඔබගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂයක් බවට පත්වන බව සහතික කළ හැකියි.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න