හැම කතුවරයෙක් ම හිතන්නේ ලියන හැම දේම හරි කියලයි | දිනමිණ

හැම කතුවරයෙක් ම හිතන්නේ ලියන හැම දේම හරි කියලයි

ඇලෙක්ස් මෙයර්

ඇලෙක්ස් මෙයර්, කතුවරයෙකි. ගුරුවරයෙකි. කථිකයෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන්නෙකි. ඔහු උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව, ලිංගික විපර්යාසවලට ලක් වූවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුනට එල්ලවන අසාධාරණවලට එරෙහිව ක්‍රියාකාරී සටනක නිරත විය. ගැහැනු ළමයකු ලෙස මෙලොව එළිය දුටු ඇලෙක්ස්, පසුව පිරිමියකු බවට පරිවර්තනය විය. පිලිප් එස්සෙටර් ඇකඩමිය තුළ, ප්‍රථමයෙන් ම ලිංගික විපර්යාසයට ලක් වීමේ සැත්කම කළ පුද්ගලයා බවට පත් වූයේ ද ඔහු ය. එසේ ම, හාවර්ඩ් හි ප්‍රථම ලිංගික විපර්යාසයට ලක්වූ ශිෂ්‍යා ද මොහු ය. පසුගිය වසරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් 'REVOLUTIONARY' නමැති කෘතියේ කතුවරයා ද වන ඇලෙක්ස් මෙයර් සමඟ, writersdigest.com වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබගේ මේ කෘතිය අයත් වන්නේ කුමන ගණයටද?

එය සාහිත්‍ය, ඓතිහාසික සහ ප්‍රබන්ධ ගණයට අයත් කෘතියක්.

මේ කෘතියේ කතාව ගැන විස්තර කරන්න පුළුවන්ද?

1782 වර්ෂයේ දී කාන්තාවක් ගෙදරින් පලා යනවා. ඇය මිනිසකු විදිහට සැඟවෙලා, අමෙරිකානු විප්ලවය සඳහා අවුරුදු එකහමාරක් සටන් කරනවා. ඇයට මුහුණ දෙන්නට ලැබෙන අභියෝග සහ ඇය ඒවා ජය ගන්න ආකාරය මේ නිර්මාණයේ මඟින් පිළිබිඹු කරනවා.

ඔබ ලියන්නේ කොහේ ඉඳන්ද?

මම ජීවත් වෙන්නේ වොෂිංටන්වල. මම ලියන්නේ එහෙ ඉඳනුයි.

මේ නිර්මාණය එළි දැක්වුණේ කොහොමද?

මම මාස හයකින් වාගේ තමා මෙහි මුලික කතාවේ අදහස ලිව්වෙ. පසුව තවත් මාස හයක් තුළ එය නැවත නැවත ලියන්න සිදු වුණා. පසුව මගේ ප්‍රකාශන නියෝජිතයාගේ අදහස්වලට අනුව, සමහර තැන් නැවත වෙනස් කළා. කෙසේ හෝ සියල්ල නිම කිරීමට මට වසර දෙකක් පමණ ගත වුණා. අනතුරුව එය වෙළෙඳ පොළට නිකුත් කළා. නැවතත් වසර දෙක හමාරකට පමණ පසුව මේ කෘතියටම තවත් අදහස් එකතු කරලා, පොත පුළුල් කළා.

ඔබ ප්‍රකාශන නියෝජිතයකු සොයා ගත්තේ කොහොමද?

මගේ නියෝජිතයා ස්ටෝන් සෝන්ග්වල ඇලිසන් ෆාර්ගිස්. ඔහු මගේ සහෝදරයාගේ මිතුරෙක්. මේ නිර්මාණය සඳහා වැඩි ම දායකත්වයක් දැක්වූ පුද්ගලයාත් ඔහුයි. ඔහු ඉතාමත් සොඳුරුපුද්ගලයෙක්. මගේ ලිවීමේ කලාවටම උචිත කෙනෙක්. ඔහු වගේ පුද්ගලයෙක් මගේ නියෝජිතයා ලෙස ලැබීම ගැන මං බොහෝ සේ සතුටු වෙනවා.

ප්‍රකාශන ක්‍රියාවලිය තුළදී ඔබට ලැබුණු විශාලතම ඉගෙනුම් අත්දැකීම් මොකක්ද?

මගේ අදහස් නොවුණු , නවකතාව පිළිබඳ අන් අය හොඳ අදහස් ඇති බව පිළිගැනීමට ඉගෙන ගැනීම මට ලැබුණු වටිනාම අත්දැකීමක්.

ඔබ ආපස්සට හැරිලා බැලුවොත්, ඔබට උපකාර කරන, ඔබගේ සුවිශේෂී හැකියා, නැතිනම් ගුණාංග මොනවාද?

මං විශ්වාස කරනවා මං බොහෝ සේ වාසනාවන්තයි කියලා. මම බොහොම ඉවසිලිවන්ත කෙනෙක්. ඒ වගේ ම නම්‍යශීලීයි සහ සංවේදීයි. හැමවෙලේම මට උදවු වෙන්නෙ මේ අපූර්ව ගතිගුණ කිව්වොත් නිවැරැදියි.

ඔබ ප්‍රචාරණය සඳහා භාවිත කරන මාධ්‍ය මොකක්ද?

මම වැඩියෙන්ම භාවිත කළේ ෆේස්බුක්, ට්විටර් සහ මගේ බ්ලොග් එකයි.

නවක කතුවරයන්ට ලබා දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

ඔබට අදහසක් තිබේ නම්, පෑන අරගෙන දැන්ම ලියන්න පටන් ගන්න. කෙතරම් අමාරු වුණත්, දිගටම කරන්න. ලිවීම තමයි ඔබට තිබෙන එක ම ව්‍යායාමය.

ඔබ මේ වන විට කරමින් සිටින සාහිත්‍ය කටයුතු පිළිබඳ කතා කළොත්?

මගේ ඊළඟ නවකතාව ලියමිනුයි ඉන්නෙ.

ඔබ කොහොමද ඔබ සහ පාඨකයන් අතර බැඳීමක් ඇති කර ගන්නේ?

සමාජ ජාලා මාධ්‍ය හරහා මම මගේ පාඨකයන් සමඟ නිරන්තරයෙන් ගැවසෙනවා. ඔවුන් ඒවා හරහා ලබා දෙන යහපත් මෙන් ම අයහපත් ප්‍රතිචාර, විවේචන, ඔවුන්ගේ අදහස් මා ලබා ගන්නවා. ඒවා , මගේ ලේඛන කටයුතුවලට මට ශක්තියක්. ඒ වගේ ම මට හොඳ මිතුරන් පිරිසකුත් සිටිනවා. ඔවුන් හොඳ විචාරකයන් පිරිසක්. මට මගේ ලේඛන කටයුතුවල අඩුපාඩු, දුර්වල තැන් ඔවුන්ට දැනෙන ආකාරයට මට කෙළින්ම පවසනවා.

ලේඛන කලාවේ නිරත වන අයෙක් වශයෙන්, ඔබට වැරැදියි කියා සිතුණු අවස්ථා තිබෙනවාද?

ඒක මෙහෙමයි . ඕනෑම කතුවරයෙක් හිතන්නේ තමා ලියන දේ හරියටම හරි කියලයි. මම වැරැදි දෙයක් ලියන්නේ නැහැ කියලා ඔවුන් විශ්වාශ කරනවා. මමත් එහෙමයි . මගේ පළමු වැනි නවකතාව මේ කෘතියයි. මම හිතුවා හැම වෙලේම මගේ අදහස් නිවැරැදියි කියලයි. ඒත්, මගේ ඒ අදහස්, තීරණ වැරැදියි කියලා මම පසුව තේරුම් ගත්තා. සංස්කරණ කටයුතුවලදී මගේ ඇතැම් අදහස් නැවත නැවතත් ලියන්න සිදු වුණා.

ඔබගේ ලේඛන කටයුතු හැරුණහම, පෞද්ගලික ජීවිතය ගැන යමක් පවසන්න පුළුවන්ද?

මම මගේ පෞද්ගලික ජීවිතයේ තරමක් කම්මැලි විදිහට තමයි ගත කරන්නේ. ඒත්, වැඩ කරන වෙලාවට මම කඩිසරව වැඩ කරනවා. මම නිර්මාංශිකයි. මේ ජීවිතය මට හරි ම සුන්දරයි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න