‘බෝර්නියෝ සෙවන්ස්’ රග්බි කිරුළ රැකගැනීමට රන්දිකාගේ නායකත්වයෙන් කාන්තා පිල එක් වෙයි | දිනමිණ

‘බෝර්නියෝ සෙවන්ස්’ රග්බි කිරුළ රැකගැනීමට රන්දිකාගේ නායකත්වයෙන් කාන්තා පිල එක් වෙයි

ෆවුස් මොහොමඩ්

මීට වසරකට පෙර බෝර්නියෝ සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකා කාන්තා රග්බි තරග බිමේ ඉතිහාසය වෙනස් කළ රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල සිය කීර්තියත්, අභිමානයත් රැක ගැනීමේ අරමුණින් යළි මැලේසියාව බලා පිටත්විය.

හෙට (16) මැලේසියාවේ බෝර්නියෝ හී ඇරැඹෙන මෙවර තරගාවලියේ කාන්තා තරග අංශයේ වැඩි අවධානය දිනාගත් කණ්ඩායම බවට පත්වී සිටින ශ්‍රී ලංකා පිල තරගාවලියට එක්වී සිටින්නේ පසුගිය වසරේ කණ්ඩායම නියෝජනය කළ වැඩි ක්‍රීඩිකාවන් පිරිසක් සමගිනි.

එහෙත් පසුගිය වසරේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන් හිටපු නායිකාව සහ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකා තනූජා වීරක්කොඩි ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියට එක්වී නොමැත.

කණ්ඩායම් අටක් තරග වදින බෝර්නියෝ සෙවන්ස් කාන්තා රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල එක්වූයේ ‘ඒ‘ කාණ්ඩයෙනි. හොංකොං කණ්ඩායම ද එම කාණ්ඩයට ඇතුළත්ය. පසුගිය වසරේ අනුශූරියන් වූ තායිලන්තය සහ සිංගප්පූරුව ද තරගාවලියට එක්වී සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය වසරේ බෝර්නියෝ සෙවන්ස් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් තායිලන්තය ලකුණු 12-5කින් පරදවා කුසලානය දිනාගැනීම ඕනෑම මුහුණුවරක විදෙස් තරගාවලියකදී ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමක් විසින් දිනාගනු ලැබූ පළමු කුසලානය විය.

තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල මෙසේය. රන්දිකා කුමුදුමලී (නායිකා), අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, සංජීවනී විජේතිලක, අනූෂා අත්තනායක, නදීකා මුණසිංහ, දසුනි ද සිල්වා, දිලිනි කාංචනා, දුලානි පල්ලිකොන්දගේ, චරනි ලියනගේ, ශානිකා මධුමාලී, සංදිකා හේමකුමාරි.

නව අදහස දක්වන්න