ට්‍රම්ප් මෝඩයකු යැයි කී රෙක්ස් ඉවත් කර රාජ්‍ය ලේකම් තනතුර සීඅයිඒ ලොක්කට දෙයි | දිනමිණ

ට්‍රම්ප් මෝඩයකු යැයි කී රෙක්ස් ඉවත් කර රාජ්‍ය ලේකම් තනතුර සීඅයිඒ ලොක්කට දෙයි

 ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරයෙන් පහ කර එම තනතුරට ඇමරිකා මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ මයික් පෙම්පෝ පත්කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව රෙක්ස් ටිලර්සන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෑතදී මතභේද හටගෙන තිබිණ.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වැනි කරුණු සම්බන්ධයෙන් තමන් හා හිටපු රාජ්‍ය ලේකම්වරයාට එකඟත්වයකට පැමිණීමට නොහැකි වූ බව ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට පවසා තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෝඩ පුද්ගලයෙකු බව හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මීට ඉහතදී ඔහුගේ මුහුණට පැවසු බව වාර්තා විය.

ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබෙන්නේ සී.අයි.ඒ අධ්‍යක්ෂ මයික් පෙම්පෝ නව රාජ්‍ය ලේකම් ඉතා හොඳ රාජකාරියක් කරනු ඇති බවයි. එසේම රෙක්ස් ටිලර්සන් ලබා දුන් සේවයට ඔහු ස්තූතිය ද පළ කර තිබේ.

මේ අතර සී. අයි. ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගීනා හෙප්සල් නව සි.අයි.ඒ. අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත. 

නව අදහස දක්වන්න