අන්තර්ජාල ජංජාලය | දිනමිණ

අන්තර්ජාල ජංජාලය

 ජාතිවාදී ගැටුම් පැතිරයාම මැඬලීමේ පියවරක් වශයෙන් රජය අන්තර්ජාලයේ ඇතැම් වෙබ්අඩවි අවහිර කිරීමට පියවර ගැනීම ගැන විවිධ මත පළවන බව දක්නට ලැබේ. බොහෝදෙනා කියන්නේ මෙය ගතයුතුව තිබූ හදිසි පියවරක් බවයි. එසේ වුවද සමහරු මෙය විවේචනය කරති. පිරිසක් කියන්නේ මෙය ද ජනමාධ්‍ය මර්දනයක් බවයි. එමෙන්ම මෙම අවහිර කිරීම නිසා තම ව්‍යාපාරවලට මෙන්ම සමාජ සබඳතාවලට බාධා සිදුවීම ගැනද මැසිවිලි නගන පිරිසක් සිටිති.

සමාජ මාධ්‍ය වෙබ්අඩවි අවහිර කිරීමට රජය පියවර ගැනීම ගැන ඉංග්‍රීසි පුවත්පතක් කළ ජනමත සමීක්ෂණයකදී එය රජය විසින් ගතයුතුව තිබූ නිවැරදි පියවරක් බව කියා සිටි පිරිස සියයට 71ක් බව වාර්තාකොට තිබිණි. එයට විරුද්ධව අදහස් පළකළ සංඛ්‍යාව සියයට 28.6කි. එයින් තමන්ගේ ව්‍යාපාරවලට හානිවූවාදැයි ඇසූ ප්‍රශ්නයට 49%ක් ඔව් කියා පිළිතුරු දී තිබිණි. නැත කියා පිළිතුරු දී තිබුණේ 38.8% කි. එයින් පෙනීයන්නේ තම ව්‍යාපාරවලට නැතහොත් වැඩ කටයුතුවලට හානිවූවන් අතරින් පිරිසක් ද රජයේ පියවර නිවැරදි බව කියන බවයි. මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන‍්නේ ඇතැම් පිරිස් මෙම සමාජ මාධ්‍යය වගකීමෙන් තොරව භාවිත කරන බව බොහෝ දෙනාට පෙනීයාම නිසා බව පැහැදිලි කාරණයකි.

ලක්ෂ පනස් එකක් අන්තර්ජාලයේ

මේ වනවිට බොහෝදෙනාගේ සමාජ සම්බන්ධතා පවත්වන ප්‍රධාන ක්‍රමය බවට පත්ව ඇත්තේ ඇතැම් සමාජ මාධ්‍ය ජාල බව පෙනෙන්නට තිබේ. එය මෙරට විශාල ලෙස ප්‍රචලිතව ඇත. පනස් එක්ලක්ෂයක් ජනයා අන්තර්ජාලයට සම්බන්ධ බව කියති. එය රටේ ජනගහණයෙන් සියයට විසි පහකි. විශේෂයෙන්ම තරුණ ජනයා මෙයට ඇබ්බැහිවී සිටිති. එහි අවශ්‍යතාව කොපමණ ද කියතහොත් අන්තර්ජාල අඩවි අවහිර කළවිට එයින් මිදීමට තිබෙන විශේෂ ක්‍රම බාගත කර ගනිමින් විශාල පිරිසක් තම සමාජ ජාල යළි සක්‍රීය කරගත් බව වාර්තා විය. රජය එම වෙබ්අඩවි අවහිර කළ ද එම තාක්ෂණයේම ආධාරයෙන් අවහිරය මගහැරගෙන බොහෝ දෙනා සමාජ මාධ්‍ය වෙත යොමු වූහ. එමගින් රජයේ උත්සාහය අර්ධ ලෙස අසාර්ථක කිරීමට ද ඔවුනට හැකියාව ලැබිණි.

අනෙක් අතට බොහෝ ව්‍යාපාර කටයුතු ද මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සිදුවෙයි. මෙරට ව්‍යාපාර විසිහත්දහසකට වැඩි සංඛ්‍යාවක් තම ව්‍යාපාරික කටයුතු සඳහා සමාජ මාධ්‍යය යොදාගන්නා බව වාර්තා විය. එම ව්‍යාපාර කටයුතුවලට රජයේ අවහිරයෙන් විශාල පහරක් වැදිණි. එය මෙම සමාජ මාධ්‍යය ගැන සලකා බැලිය යුතු තවත් පැත්තකි.

සමාජ ජාලවලට ඇබ්බැහිවීම පිළිබඳව ද බොහෝදෙනා මැසිවිලි නගන බව නොරහසකි. ඇතැම්විට පවුල්වල අන්‍යෝන්‍ය සම්බන්ධතා දුර්වල වන්නේ එකිනෙකා අන්තර්ජාලය හරහා සමාජ සබඳතාවලට යොමුවීම නිසාය. මේ ඇබ්බැහිය කොතරම් ද යන්න පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළවූ ඇතැම් උපහාස ප්‍රකාශන මගින් ද පැහැදිලි විය. “ෆේස්බුක් නැති නිසා මට පවුලක් ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. අම්මට හුඩු දරුවොත් ඉන්නවා” යැයි ඉන් එක් පළකිරීමක් විය. එබඳු තවත් පළකිරීමක් නම් “‍ෆේස්බුක් නැති නිසා මගේ පවුලේ උදවිය එක්ක කතා කරන්න ලැබුණා. ඒගොල්ලො හරි හොඳ කට්ටියක්” යනුවෙනි. උපහාසයෙන් මේ කියන්නේ මෙම සමාජ ජාලවලට තිබෙන ඇබ්බැහියේ තරමයි.

සමාජ සම්බන්ධතා

මැදපෙරදිග හෝ වෙනත් රටවල සිටින ඥාති හිතවතුන් සමඟ සබඳතා පවත්වා ගැනීමට මෙන්ම අඩු වියදමකින් ඇමතීම් ලබා ගැනීමට ද බොහෝදෙනා අන්තර්ජාල වෙබ්අඩවි ‍යොදා ගනිති. ඔවුන්ට ද මෙම අවහිරයෙන් විශාල බාධා සිදුවූ බවට සැකයක් නැත.

බොහෝ දෙනා අන්තර්ජාලය භාවිත කරන්නේ තමන්ගේ එදිනෙදා වැඩ කටයුතුවල පහසුව සඳහා හෝ සමාජ සබඳතා පවත්වාගෙන යාමටය. එවැනි වැඩි පිරිස මෙම මාධ්‍ය වගකීමෙන් යුතුව භාවිත කරන බවට සැකයක් නැත. එසේ වුවද සමාජ මාධ්‍ය වගකීම් විරහිතව භාවිතා කරන පිරිසක් සිටින බව ඒවාට පිවිසෙන බොහෝ දෙනාට දකින්නට ලැබෙන තත්ත්වයයි. එබඳු තැනැත්තන්ගේ සමාජ මාධ්‍ය භාවිතය ඉතාම අසංවරය. අතැම්විට පිළිකුල් සහගතය. සමාජ මාධ්‍ය වෙත එල්ලවන බොහෝ චෝදනාවලට වගකිවයුතු වන්නේ වගකීමෙන් තොරව ක්‍රියාකරන එබඳු සුළු පිරිසකි.

දේශපාලන අරමුණු සඳහා ඉතාම කැත ආකාරයට සමාජ මාධ්‍ය යොදාගන්නා පිරිසක් සිටිති. ඔවුන් කරන්නේ මඩ ගැසීම්, අපහාස කිරීම්, බැණවැදීම් ආදියයි. අන්තර්ජාලයේ පළවන වැදගත් ලිපියකට නැතහොත් අදහසකට ‍මොවුන්ගේ ප්‍රතිචාරය ඇතැම්විට එන්නේ කුණුහරුපයෙනි. නැතහොත් අපහාස‍යකිනි. බැණවැදීමකිනි. ඇතැම්විට මෙම කටයුතු සඳහා යොදා ඇත්තේ මුදල් ගෙවා කුලියට ලියන පිරිසකි. ඔවුන්ගේ ඇතැම් ගිණුම් හා ලිපින ව්‍යාජය. ඇතැම් දේශපාලනඥයන් මෙබඳු විශාල පිරිසක් තම මඩ ව්‍යාපෘති සඳහා යොදවා ඇති බව ද කියති. ඔවුන්ට තිබෙන්නේ විවිධ නම්වලින් පෙනීසිටිමින් මඩගැසීම්, අපහාස, බැණවැදීම් මගින් තම විරුද්ධවාදීන් හෙළා දැකීමය. ඔවුන්ට එරෙහි ප්‍රචාරයේ යෙදීමය.

කුලියට ලියන සමාගම්

මේ අතර කිසිදු පුද්ගලයකු නැති නමුත් යම් පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ප්‍රචාරයේ යෙදෙන පිරිස් කුලියට ලබාගැනීමේ හැකියාව ද අන්තර්ජාලය තුළ ඇති බව කියති. එම සේවා සපයන ආයතන පැරණි සෝවියට් රාජ්‍යවල හා ලිබියාව වැනි රටවල සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. මෙරට ඇතැම් දේශපාලනඥයන් එම ආයතනවල සේවය ලබාගෙන අන්තර්ජාල වෙබ්අඩවිවල මඩ ප්‍රචාර සිදුකරන බව ද ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිදරව් කොට ඇත. අන්තර්ජාල වෙබ් අඩවිවල සිදුවන මඩ ප්‍රචාරවලට මෙම සේවාව යොදාගන්නා බව කියති. එයද සමාජ මාධ්‍ය පිළිබඳව විවේචන එල්ලවීමට බරපතළ හේතුවකි.

ජාතිවාදය පැතිරවීමද අන්තර්ජාල වෙබ් අඩවි තුළින් සිදුවන බව රහසක් නොවේ. සෑම වර්ගයකම ජාතිවාදීන් තම මතවාද පැතිරවීමට මෙම වෙබ්අඩවි යොදා ගනිති. ඇතැම්විට ත්‍රස්තවාදී ක්‍රියා සංවිධානයට ද මේවා යොදාගෙන ඇත. පසුගිය දිනවල මේ රටේ ඇතිවූ ජාතිවාදී ගැටුම් සඳහා සමාජ මාධ්‍ය යොදාගත් බව හොඳින්ම පැහැදිලිවූ කාරණයකි. රජය එම වෙබ්අඩවි සඳහා වාරණයක් ක්‍රියාත්මක කළේ ද ඒ නිසාය.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීමකි. ඒ තුළ බොහෝදෙනාට තම අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට ඉඩ ලැබී ඇත. එහි ඉතා විශාල පිරිසකට ඉඩ ලැබී තිබෙන්නේ පාලනයකින් තොරවය. එමගින් ඉතා ඉක්මනින් අදහස් හුවමාරුකර ගැනීමටත් ‍තොරතුරු දැනගැනීමටත් ඉඩකඩ විවරවී ඇත. මෙම නිදහස රැකගැනීම අවශ්‍ය බව ඉතා පැහැදිලි කාරණයකි. එය සීමාකරන්නට සිදුවුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පසුබැස්මකි. ඒ ප්‍රශ්නයේ එක පැත්තකි.

අනෙක් පැත්තෙන් තිබෙන අභියෝගය වන්නේ අන්තර්ජාලය විනාශකාරී ලෙස යොදාගැනීම නතර කිරීමයි. තිබෙන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කරමින් යම් පිරිසක් හෝ පිරිස් අන්තර්ජාලය විනාශකාරී කටයුතු සඳහා යොදාගන්නවා නම් එය නතර කිරීමට පියවර ‍ගැනීමට සිදුවීම වැළැක්විය නොහැකිය. එවැනි තත්ත්වයකට ඉඩ නොතැබීමට කටයුතු කළ යුතුව ඇත. ප්‍රශ්නය තිබෙන්නේ එය කරන්නේ කෙසේ ද? යන්නයි.

මාධ්‍ය යේ වගකීම

ජනමාධ්‍ය නිදහස යන්න ජනමාධ්‍යවල වගකීම සමඟ එකට බැඳී පවතින බව පිළිගත් සත්‍යයකි. බොහෝවිට ජනමාධ්‍ය සීමා කිරීමට පෙළඹවීම් ඇතිවන්නේ ජනමාධ්‍ය වගකීමෙන් තොරව ක්‍රියාකිරීම මගිනි. වගකීමෙන් තොරව ක්‍රියාකරමින් ජනමාධ්‍යය රටට හානිකර ක්‍රියාවල යෙදෙන්නේනම්, ජනතාවට විපත් ගෙනඑන්නේ නම් එවිට මාධ්‍ය නිදහස සීමා කිරීම සාධාරණීකරණය වීමක් සිදුවෙයි. එබැවින් ජනමාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කිරීම මාධ්‍ය නිදහස සඳහා අත්‍යවශ්‍ය කොන‍්දේසියකි.

ජනමාධ්‍ය සඳහා පිළිගත් ප්‍රතිපත්තියක් නම් ජනමාධ්‍ය ස්වයං නියාමනයක් ක්‍රියාත්මක කළ යුතුය යන්නයි. එනම් ‍තමන් විසින්ම යොදාගත් ක්‍රමවේද මත තම ක්ෂේත්‍රය නියාමනය කිරීමය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය බිහිකර ඇත්තේ එම අරමුණ ඇතිවය. එය ක්‍රියාත්මක කරන්නේ පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන‍්ගේ සංගමය එක්වය. එම නියාමන ක්‍රියාවලිය නිසා පුවත්පත් ක්ෂේත්‍රය බොහෝදුරට වගකීම්සහගතව ක්‍රියාකරන බව පෙනෙන්නට තිබේ.

මේ රටේ විද්‍යුත් මාධ්‍ය සඳහා පිළිගත් නියාමන ක්‍රමවේදයක් මේ දක්වා ක්‍රියාත්මක නැත. එම ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ වුවමනාවක් හෝ උනන්දුවක් ද ඒ සඳහා ඇති බවක් පෙනෙන්නට නැත. අනෙක් අතට අපට පෙනෙන්නට තිබෙන්නේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතන කිසිදු වගකීමකින් තොරව තම දේශපාලන හා වෙනත් න්‍යායපත්‍ර සඳහා ජනමාධ්‍යය යොදාගන්නා බවයි. ඇතැම් ආයතන සියුම් ලෙස එම කටයුත්ත කරන අතර තවත් සමහර ආයතන කිසිදු හිරිකිතයකින් තොරව එබඳු කටයුතුවල නිරතව සිටිති. පසුගිය දිනවල මෙරට එක් මාධ්‍ය ජාලයක් තම සම්පූර්ණ ශක්තිය යොදාගෙන මෙහෙයුමක් දියත්කොට තිබුණේ පක්ෂ නායකයකු ඉවත් කිරීම සඳහා ය. එය අවසානයේ අන්තර්ජාලයේ හා වෙනත් තැන්වල සාකච්ඡා වූයේ විහිළුවක් නැතහොත් විගඩමක් වශයෙනි. කිසිදු ලජ්ජාවක් නැතිව ක්‍රියාත්මක වූ එම මාධ්‍ය මෙහෙයුම බලන්න හිරිකිත තත්ත්වයට පත්ව තිබුණි.

පොදු දේපලක් වන මාධ්‍ය

විද්‍යුත් මාධ්‍යවලට හිතුමතේ කටයුතු කිරීමේ නිදහසක් තිබිය නොහැකි ය. එම මාධ්‍යය ක්‍රියාත්මක වන්නේ පොදු දේපොළක් වන ගුවන්විදුලි සංඛ්‍යාත උපයෝගී කරගෙනය. ඒවා අයිති මහජනතාවටය. එම නිසා මගේ මාධ්‍ය ආයතනය මට අවශ්‍ය ලෙස මෙහෙයවනවා යැයි කියමනක් එබඳු මාධ්‍ය ආයතන හිමිකරුවන්ට අයිතියක් නැත.

මාධ්‍ය ආයතනවල මෙබඳු හැසිරීම්ද සැලකිය යුතු වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා වශයෙනි. ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන විට ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන්නට රජයකට සිදුවෙයි. එලෙසම ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ‍හෝ වගකීමෙන් තොරව ක්‍රියා කරන විට මාධ්‍ය නිදහස සීමා කිරීමට රජයට සිදු වීමද ‍බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි.

සුළු පිරිසක්වූ එල්ටීටීඊය ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ විට මුළු රටේම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා විය. වසර 26ක එම තත්ත්වය විඳගෙන සිටින්නට අපට සිදුවිය. 1971 කැරැල්ල නිසාද නිදහස සීමා විය. එදා පැනවූ හදිසි නීතිය 1977 දක්වා පැවතිණි.

ජාතිවාදී ගිනි ඇවිලවීමට අන්තර්ජාලය ‍ෙයාදා ගෙන ක්‍රියා කළේ සුළු පිරිසකි. එහි විපාකය ලෙස අන්තර් ජාලය අවහිර කිරීමෙන් රටේම ජනයාට අපහසුතාවට මුහුණ දීමට සිදුවිය. වගකීමෙන් යුත් මාධ්‍ය භාවිතය හා මධ්‍ය නිදහස ගැට ගැසී තිබෙන්නේ ඒ ආකාරයෙනි.

මෙහිදී මහජනයාගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය ලෙස සීමාකිරීමට එරෙහිව හඬ නැගීම අවශ්‍ය වන අතරම ඒ සඳහා ගත යුතු අනෙක් පියවර වන්නේ තිබෙන නිදහස අයථා භාවිතයට එරෙහි වීමයි.

නිදහස රැකගන්නේ කොහොමද

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වගකිව යුතු සංවිධාන එක්ව මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් සකසා ක්‍රියාවට නංවා ඇත්තේ එය මාධ්‍ය නිදහස සඳහා අවශ්‍ය කොන්දේසියක් වන නිසාය. වෙබ් ජනමාධ්‍යවේදී සංවිධාන විසින් ද එබඳු ආචාරධර්ම පද්ධතියක් ළඟදී එළිදක්වන ලද්දේ මෙම ප්‍රශ්නය හඳුනාගත් නිසා විය හැකිය. මෙරට විද්‍යුත් මාධ්‍ය සඳහා ද එවැන්නක් අවශ්‍යය. ඒවායේ වල්බූරු නිදහසක් දිගින් දිගට ක්‍රියාත්මක වුවහොත් අවසානයේ සිදුවන්නේ නිදහස යම් තරමකට හෝ අහිමිවීම වීමට හොඳටම ඉඩ ඇත.

සමාජ මාධ්‍යවල ඇති අසීමිත නිදහස රැකගත යුතුව ඇත. ඒ සඳහා කළයුතු ප්‍රධාන කාර්යයක් වන්නේ එම මාධ්‍ය භාවිතය වගකීමෙන් සිදුකරන තත්ත්වයක් නිර්මාණය කිරීමය. වගකීම් විරහිත මාධ්‍ය භාවිතයට එරෙහි වීමයි එය සිදුවිය යුතු හොඳම ක්‍රමය සමාජ මාධ්‍ය තුළින්ම මාධ්‍ය ආචාරධර්ම බිහිකරගෙන ඒවා ක්‍රියාවට නැගීමයි. කෙතරම් අපහසු වුවද එවැනි ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතරම සකසා ක්‍රියාවට නැගිය යුතුව ඇත. ඒ අතර දිගින් දිගටම සියලු දෙනාට කළ හැකි දෙයක් තිබේ. එය නම් වගකීමෙන් තොර මාධ්‍ය භාවිතයක් දකින හැමවිටම එයට එරෙහි වීමයි. ඒවා කරන උදවිය පිටුදැකීමයි.

 

සී. ජේ අමරතුංග

නව අදහස දක්වන්න