නිදහස හා පාලනය | දිනමිණ

නිදහස හා පාලනය

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදින අය සිටිති. එම පුද්ගලයන් වීරයා සම්මානයෙන් පුද ලබන අවස්ථා ද තිබේ. අදහස්, මතවාද, හා තොරතුරු නිදහසේ ගලා යෑමට ඉඩ දිය යුතුය යන්න එක මතයකි. ඊට එරෙහිව නැ‍ඟෙන මතය වන්නේ කිසියම් සමාජයකට හානිකර දේවල් එහි අඩංගු නම්; ඒවා අවහිර කළ යුතු ය යන්න ය. මාධ්‍ය තාක්ෂණය ගමන් කරමින් තිබෙන්නේ පාලනය කළ නොහැකි ආස්ථානයක් වෙත ය. එක අතෙකින් මාධ්‍ය නිදහසට සටන් වදිනු පෙනෙයි. තව අතෙකින් මාධ්‍ය පාලනය සඳහා සටන් වදින බවක් ද පෙනෙයි. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයකි.

ජාතික ආරක්ෂාව අභියෝගයට ලක් වන තොරතුරු හා සිදුවීම් ප්‍රචාරය කිරීමට කිසිදු රටක් ඉඩ දෙන්නේ නැත. චීනය, රුසියාව, අමෙරිකාව යන රටවල් මීට කදිම නිදසුන් ලෙස පෙන්වා ද‍ිය හැකි ය. එලෙසම ජාතීන් අතර වෛරය ඇති කරන හා ගැටුම්වලට මඟ පාදන තොරතුරු හා සිදුවීම් වාර්තා නොකර සිටීම ඉතා වැදගත් ය. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල එය සිදු වුණේ නැත. නූතන තාක්ෂණික සමාජයේ වේගවත්ම සන්නිවේදනය බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා යැයි කිවහොත් එය අසත්‍යයක් නො වේ. එහෙත් මේ මාධ්‍ය ජාලාවලට පාලනයක්, නියාමනයක් හෝ අධීක්ෂණයක් නැත. ඒවා පරිහරණය කරන වැඩි දෙනෙක් ද ශික්ෂණය නොසලකා හරිති.

සමාජ මාධ්‍ය ජාලා සඳහා පාලනයක්, නියාමනයක් නැතිකමේ පාඩුව ශ්‍රී ලංකාව හොඳින් ම අත්විඳ තිබේ. පාලනය, නියාමනය හා ශික්ෂණය සාම්ප්‍රදායික මාධ්‍යවල ද සියයට - සියයක් දැකිය ‍ නොහැකි ය. එකිනෙක මාධ්‍ය ආයතන ඉතා සූක්ෂ්ම ලෙස තම පාර්ශ්වය වෙනුවෙන් අයුක්තියට ද තැන ලබා දෙති. ඇත්ත / නැත්ත කිරීම, නැත්ත / ඇත්ත කිරීම මේ අනුව සිදු වේ. වඩාත් භයානක ස්වරූපය වන්නේ සමාජ කණ්ඩායම්වල භාව ප්‍රකෝපනය සඳහා ජනමාධ්‍ය කටයුතු කිරීම ය. සාම්ප්‍රදායික ජනමාධ්‍ය මේ සඳහා වක්‍ර ලෙස ක්‍රියා කරන අතර; සමාජ මාධ්‍ය ජාලා සෘජු ලෙස ක්‍රියා කරයි. මේ ආකාර දෙකම වැරැදි ය. දෙක ම හානිකර ය.

වෛරී අදහස් සන්නිවේදනය කිරීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය උත්සුක වන බව පෙනෙයි. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට ඊට අදාළ නීති සම්පාදනය උදෙසා නීතිපති දෙපාර්තමේන්තුවට උපදේශන ලබාදී ඇත. ඉදිරි සති දෙක - තුන ඇතුළත මීට අදාළ කෙටුම්පත සකස් වීමට නියමිත ය. මේ සඳහා අපේ කලාපයේ වෙනත් රටවල් ගෙන ඇති උපාය මාර්ග කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවක් පෙනෙයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන අන්දමට සමාජ මාධ්‍ය ජාලා නියාමනය සඳහා වෙන ම ආයතනයක් පිහිටුවනු ලැබේ. මේ අතර ‘ෆේස්බුක්’ ආයතනයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය. මේ සියල්ලම යහපත් ය. එහෙත් නියාමනය කෙසේ සිදුකරන්නේ ද යන්න ගැටලුවකි.

කෙනකුගේ මතය වන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන හා ඒ ඔස්සේ අදහස් හුවමාරු කරන අය ස්වයං විනයක් සහිතව සිය සන්නිවේදන කාර්යය ඉටුකළ යුතු බව ය. තව කෙනෙකුගේ මතය වන්නේ මේ සඳහා නීති පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ය. තවත් කෙනකුගේ මතය වන්නේ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට උත්සාහ කිරීම බලවත් විහිළුවක් බව ය. සමාජයේ විවිධ මත තිබෙන්නට පුළුවන. එය ඕනෑම සමාජයක සාමාන්‍ය ස්වාභාවය සේ ගත හැකි ය. රජය මේ මත කෙරෙහි අවධානය යොමු කළ යුතු අතරම සිදුවන්නට යන විනාශය ද වැළැක්විය යුතු ය. විනාශය දෙයාකාර ය. නියාමනයක් නැති කම නිසා අපරාධ සිදුවන්නට පුළුවන. පාලනය නිසා ආර්ථික පාඩු සිදුවන්නට පුළුවන.

සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කිරීම නිසා රජයට චෝදනා හා විවේචන බහුල වශයෙන් එල්ල විය. එහෙත් මේ අවහිර කිරීම නොවන්නට මුළු රටම ගිනි ගන්නට ඉඩ තිබිණි. මහනුවර සිදුවීම අළලා නිර්මාණය වූ අසත්‍ය ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය විය. ඒ හැරෙන්නට මේ මාධ්‍ය ජාලා ඔස්සේ හැඟීම් ඇවිස්සීම ඉතා හොඳින් සිදු කර තිබිණි. මේවා කෙතරම් ප්‍රබල ද යත්;‍ පාසල් දරු‍වෝ පවා අදහස් හුවමාරුවට එක් වූහ. ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීම සඳහා ක්‍රියා කළ පාසල් සිසුන් කිහිප දෙ‍නකු ද අත්අඩංගුවට ගෙන ඇත. බාල වයස්කාරයන් අතර සමාජ මාධ්‍ය ජාලා බෙහෙවින් ප්‍රකට බව ද අමතක නො කළ යුතු ය.

ලෝකය හා රටවල් සන්නිවේදනය මත පිහිටා ක්‍රියාත්මක වන බැවින් ද, අනාගතයේ කිසිදු සන්නිවේදන මාධ්‍යයක් පාලනයට නතු කළ නො හැකි බැවින් ද ඒ ගැන අවධානය යොමු කිරීම නිරර්ථක තීරණයක් යැයි නඟන තර්කය ඒ හැටි සාධාරණ නැත. සරල නිදසුනක් ගතහොත් චීනයේ සංගීත නිර්මාණවලින් රජයට හා ජනතාවට එරෙහි හැඟීම් ජනනය කළ නො හැකි ය. සංගීත නිර්මාණ චීනය තුළ අධීක්ෂණයට ලක් වෙයි. ඒ අනුව සංගීතයෙන් වෛරය වැපිරීමේ හැකියාවක් චීන සංගීතඥයාට නැත. එය කෙනකුගේ විවේචනයට ලක් විය හැකි වුව චීන සංගීතය උසස් මට්ටමක පවතී. බොහෝ ශ්‍රාවකයෝ චීන සංගීතයට ප්‍රිය කරති. අප චීනය අනුගමනය කළ යුතු නැතත් අපට සුදුසු නියාමනයක් ගැන කල්පනා කිරීම වැදගත්ය.

ලෝකය පුරා ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් පැතිර යත්ම; සාමය සඳහා වූ ජනමාධ්‍ය ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක විය. එය ප්‍රවණතාවක් ලෙස බොහෝ රටවල පැතිර ගියේ ය. අප්‍රිකානු රටවල් එයින් ප්‍රමුඛ වේ. මේ රටවල පැවැති වර්ණභේදවාදය හා ගෝත්‍රවාදය යම් පමණකින් හෝ සමහන් කිරීමට එම මාධ්‍ය ක්‍රමවේදයට හැකි විය. ඒ පමණක් නො ව; ජනමාධ්‍ය තුළ අලුත් සංස්කෘතියක් ද ඒ ඔස්සේ නිර්මාණය විය. මේ සංස්කෘතිය තුළ ගොඩනැ‍ඟෙන්නට වූයේ ජාතීන් අතර සුහදතාව හා සංහිඳියාව ඇති කරන මාධ්‍ය කලාවකි. එය ශ්‍රී ලංකාවට ගළපාගැනීමේ ප්‍රයත්න ගණනාවක් පැවැතිය ද සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. මේ ක්‍රමවේදය සමාජ මාධ්‍ය සඳහා අත්හදා බලන්නේ නම් එය වැදගත් ය.

රජය පෙන්වා දෙන ලෙස සමාජ මාධ්‍ය ජාලා මුළුමනින් ම පාලනය කිරීමේ ප්‍රයත්නයක් නැත. සිදු කිරීමට නියමිත ව ඇත්තේ නීති පද්ධතියක් හඳුන්වා දීම, නියාමනයක් ඇති කිරීම හා ආචාර ධර්ම පද්ධතියකට යොමු කිරීම වැනි දේවල් ය. සමාජ මාධ්‍ය සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක් ගැන මීට ටික කලකට පෙර සංවාදයට ගෙන තිබිණි. එහෙත් ප්‍රතිඵලය දැකගත නොහැකි විය. මේ සංවාදයෙන් ප්‍රධාන අදහස් දෙකක් මතුවෙයි. එක; කුමන මාධ්‍යයකට වුව අසීමිත නිදහසක් හානිකරය යන්න ය. දෙක කුමන මාධ්‍යයක් වුව නියාමනයකට ලක් වීම වැදගත් ය යන්න ය.


නව අදහස දක්වන්න

Or log in with...