කුරුණෑගල පළාත් පාලන ආයතනවල කම්කරු පවුල්වලට නිවාස ව්‍යාපෘතියක් | දිනමිණ

කුරුණෑගල පළාත් පාලන ආයතනවල කම්කරු පවුල්වලට නිවාස ව්‍යාපෘතියක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට සම්බන්ධ වී එම බලප්‍රදේශවල කසළ ශෝධන හා පවිත්‍ර කිරීමේ අංශවල සේවය කරන කම්කරු පවුල්වලට පහසුකම් සහිත ක්‍රමවත් නිවාස ඉදිකරදීමේ වැඩපිළි‍වෙළක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය ආරම්භකොට තිබේ.

මෙහි ප්‍රථම පියවර වශයෙන් වාරියපොළ ප්‍රාදේශීය සභාව, කුලියාපිටිය නගර සභාව සහ කුරුණෑගල මහ නගර සභාව යන පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරු පවුල් ජීවත්වන පිළිවෙළින් විලාකටුපොත, කුලියාපිටිය සහ විල්ගොඩ යන ප්‍රදේශවල පිහිටි නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමට සැලසුම්කොට ඇත.

මෙම වැඩපිළිවෙළ ආරම්භකොට ඇත්තේ නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා, විල්ගොඩ ප්‍රදේශයෙහි කරන ලද සංචාරයකදී, කුරුණෑගල මහ නගර සභාවෙහි කම්කරු පවුල්, දැනට ජීවත්වන නිවාසවල තත්ත්වය දැකගැනීමෙන් පසුවය.

එම නිවාසවලින් සමහර ඒවා නිසි‍ ලෙස හිරු එළිය නොවැටෙන වාත්‍රාශයවත් නොලැබෙන ජල - විදුලි - වැසිකිළි පහසුකම් නොමැති පැරණි ලැයින් කාමර බව හෙළිවී ඇත.

ඇතැම් නිවාසවල පවුල් දෙක තැන සිය දරුවන් ද සමඟ එකට ජීවත්වන බව අනාවරණය වී තිබේ.

මෙම නිවාස වෙනුවට ඉදිකෙරෙන නව නිවාස ජල, විදුලි, වැසිකිළි පහසුකම්වලින් යුත් නවීන ඒවා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි කුරුණෑගල දිසා කළමනාකරු එන්. කේ. බී. එස්. නරසිංහ මහතා පැවසීය.

වයඹ පළාත් සමූහ ආරියරත්න රණවැල්ල

නව අදහස දක්වන්න