මාතලේ-රත්වත්ත රෝස තිරුවානා නිධිය විනාශය ළඟ | දිනමිණ

මාතලේ-රත්වත්ත රෝස තිරුවානා නිධිය විනාශය ළඟ

මාතලේ,උඩතැන්න රත්වත්ත ප්‍රදේශයේ රෝස තිරුවානා බවට සැක කෙරෙන ගල් නිධියක් පවතී. මෙම නිධිය අක්කර දෙකක් පමණ පුරා පැතිරි ඇති අතර එකී ගල් විශේෂය කැඩීම නිසා එයින් වන හානිකර තත්ත්ව තම ප්‍රදේශයටත් ප්‍රදේශවාසීන්ටත් අපහසුතාවක් ගෙන දෙන බව රත්වත්ත ප්‍රදේශවාසීහු පවසති.

රෝස තිරුවානා නිධිය මහඟු සම්පතකි. මෙය ආරක්ෂා කර ගත යුතු බව ප්‍රදේශවාසීන්ගේ අදහස වේ. මෙකී සම්පත නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතුයි. එසේ නොකර හිතුමතේ මෙම නිධිය කඩා විනාශ කිරීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බව ඔවුන්ගේ අදහසයි. මෙයින් විශාලම හානිය වන්නේ ඇල්කඩුව මාතලේ මාර්ගයටය.

විවිධ පාරිසරික හානි රැසක් සිදුකරමින් රෝස තිරුවානා ගල් කැඩී‍මේ ස්ථානය පවත්වාගෙන යන අයවලුන්ට මේ සඳහා වගකිව යුතු ආයතනවල අනුමැතියද හිමිව ඇත. උඩතැන්න රත්වත්ත ප්‍රදේශයේ පදිංචි අයකු වන චාමින්ද අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමා වෙත ලැබී ඇති බවත් ගල් කැඩීමේ ස්ථානයෙන් ප්‍රදේශයට වන හානිය වළක්වා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් යොදන ලෙස අදාළ බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින්නට අදහස් කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් තම අදහස් දක්වා සිටි නවරත්නගොඩ ජිනරාජ විහාරාධිපති අලවතුගොඩ චන්දවිමල හිමි ප්‍රකාශකර සිටියේ ගල් කොරිය නිසා තම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවට පත්ව සිටිනා බවය. රෝස තිරුවානා නිධිය ගල්කැඩීමේ ස්ථානයක් බවට පත් කරගෙන සිටින වගකිවයුත්තන් පවසන්නේ මේ සඳහා අවශ්‍ය බලපත්‍ර තමා සන්තකයේ ඇත යන්නය. එහෙත් මේ සඳහා නිසි අධ්‍යයනයක් වහා කළ යුතු බව අලවතුගොඩ චන්දවිමල හිමියෝ ප්‍රකාශ කළහ. මෙකී ප්‍රදේශ පාරම්පරික ගම්මාන බවත් එම ගම්මාන විනාශ කරන්නට කිසිවෙකුටවත් ඉඩනොදෙන බවත් ප්‍රකාශකළ උන්වහන්සේ මේ පිළිබඳව අදාළ අංශ දැනුවත් කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

රෝස තිරුවානා නිධිය ගල් කොරියක් බවට පවත්වාගෙන යෑම නිසා එම ප්‍රදේශයට වන හානි රැසකි. ඒ අතර එකී ප්‍රදේශයේ නිවාසවලට වන හානිය සුළුපටු නොවේ. ශක්තිමත් මෙම තිරුවානා නිධිය කැඩීම නිසා වර්ෂා කාලයට නායයෑම් වැනි තත්ත්වවලට මුහුණපෑමට සිදුවිය හැකි බවත් මෙම හානියෙන් ජල මූලාශ්‍රවලටද දැඩි බලපෑමක් සිදුවිය හැකි බවත් රත්වත්ත ප්‍රදේශවාසින්ගේ අදහස වේ.

මේ විනාශකාරී සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මාතලේ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.ඒ. අයි. ජානක මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ මෙම ස්ථානයේ ගල් කොරියක් පවත්වා ගෙන යෑමට අදාළ ප්‍රදේශ ලබාදුන් බවය.මේ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,භූ විද්‍යා හා පතල් කාර්යාංශය,උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,උකුවෙල ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන එක්ව සාකච්ඡාකොට අදාළ නිර්දේශ ලබාදුන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම මේ සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයද ලබාදී ඇත. මෙම රෝස තිරුවානා නිධිය අයත් ප්‍රදේශය රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඉඩමකි. ගල් කොරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුමැතිය ලබාදී ඇති අතර පසුව දැනගන්නට ලැබී ඇත්තේ මෙකී ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් බවට එම ආයතනය දැනුම් දී ඇති බවය. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ යම් විරෝධතාවක් ඇතිවීම සාධාරණ බව එම්. එම්.ඒ. අයි. ජානක මහතාගේ අදහසයි. ඉදිරියේදී රෝස තිරුවානා නිධිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුව අදාළ පාර්ශ්ව කැඳවා වහාම ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන බවද මධ්‍යම පරිසර අධිකාරියේ මාතලේ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියේය.මේ පිළිබඳව සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බව රත්වත්තේ ප්‍රදේශවාසිහු අවසානවරට ප්‍රකාශ කර සිටියහ.

කිංස්ලි රිචඩ් සිල්වා
රත්තොට සමූහ


නව අදහස දක්වන්න