අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක | දිනමිණ

අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජයගැනීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ඔස්සේ න්‍යෂ්ටික තාක්ෂණය ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරාධනයකට අනුව, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ (නියෝජිතායතනයේ) අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මැතිතුමා එක්දින සංචාරයක් සඳහා පසුගියදා (14) ශ්‍රීලංකාවට පැමිණියේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති, රංජිත් සියඹලාපිටිය මහතාගේ ආරාධනයෙන් පැමිණි අධ්‍යක්ෂ ජනරාල් යුකියා අම‍ානෝ මහතා ඊයේ (15) පෙරවරුවේ පරමාණුක බලශක්ති අධිකාරියේ නව කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අද වන විට, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ තාක්ෂණ ආධාර ඔස්සේ, ශ්‍රී ලංකාව න්‍යෂ්ටික තාක්ෂණයේ භාවිත ඔස්සේ යමින් ප්‍රශස්ත මට්ටමේ ජයග්‍රහණ සපුරා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවට මහඟු සේවාවක් ලබාදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික වෛද්‍ය ඒකකය, ශ්‍රී ලංකා ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය, නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ඒ අතුරින් කැපී පෙනෙයි. තව ද, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය ඔස්සේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ, භෞතික වෛද්‍යවේදීන්ගේ දැනුම හා කුසලතාව වර්ධනය උදෙසා විවිධ පරිමාණයේ විදේශීය පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා සහභාගිවීමට අවස්ථාවන් සලසා දෙනු ලබයි.

තවද, ඉහළ වටිනාකමින් යුතු තාක්ෂණයෙන් යුත් විද්‍යාත්මක උපකරණ හා යන්ත්‍ර සුත්‍ර විශාල වශයෙන්, අන්තර්ජාතික පරමාණු බලශක්ති නියෝජිතායතනයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ මෙවැනි සමහර උපකරණ දේශීය වෙළෙඳපොළෙන් මිලදී ගත නොහැකිවීමයි.

මෙම තාක්ෂණ සහයෝගිතා වැඩපිළිවෙළ, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය මඟින් සාමාජික රටවල න්‍යෂ්ටික තාක්ෂණ ශක්‍යතාවය වර්ධනය කරනු ලබන ප්‍රධාන යාන්ත්‍රණය වෙයි. මෙම වැඩසටහන ඔස්සේ සාමාජික රටවල ප්‍රධාන සංවර්ධන අරමුණු සාක්ෂාත් කැර ගැනුම උදෙසා, මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරනු ලබන අතර එය න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී භාවිතා අනුව යමින් මිනිසාගේ සෞඛ්‍ය හා පෝෂණය නංවාලීමටත්, ආහාර හා කෘෂිකර්ම ව්‍යාපෘතිවලටත්, ජල සම්පත් හා මූලාශ්‍ර කළමණාකරණයටත්, පාරිසරික හා කර්මාන්ත ක්ෂේත්‍රවල අභිවෘද්ධියටත් යොදා ගැනීම සිදු වෙයි.

අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනය, 1957 වසරේදී පිහිටුවන ලද අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව, අන්තර් රාජ්‍ය කටයුතු සිදු කරන , විද්‍යා හා තාක්ෂණයේ උන්නතිය උදෙසා කැපවූ ස්වාධීන ආයතනයකි. තවද මෙම ආයතනය, විශ්ව කේන්ද්‍රීය ලෙස තම සාමාජික රටවල සමාජ හා ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය හා විද්‍යාව සාමකාමී අරමුණු ඔස්සේ දියත් කළ වැඩසටහන් අතර න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම හා මෙම තාක්ෂණය හා දැනුම ස්වයංපෝෂිත අරමුණු සාක්ෂාත් කැර ගැනීමට යොදා ගැනීම කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවද අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ආරම්භක සාමාජික රටක් ලෙස 1957 වසරේ සිට කටයුතු කරන අතර එහි තාක්ෂණ සහයෝගිතා වැඩපිළිවෙළ ඔස්සේ, රටේ න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණයේ ප්‍රගමනයට, අතිවිශාල ලෙස තාක්ෂණ ආධාර හා ප්‍රතිලාභ ලබාගෙන ඇත.

යුකියා අමානෝ මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට අනුබද්ධ ආයතන වන ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය හා නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ සංචාරය කෙළේය. තවද, අන්තර්ජාතික පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් යුකියා අමානෝ මහතා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේද සංචාරය කෙළේය.

නව අදහස දක්වන්න