මඩුවක් නිවහන කරගත් අම්මයි-දුවයි | දිනමිණ

මඩුවක් නිවහන කරගත් අම්මයි-දුවයි

කිසිදු හව්හරණක් නැතිව තම 13 හැවිරිදි දුව ආරක්ෂා කරමින් අව්වට වේලෙමින් වැස්සට බාගෙට තෙමෙමින් ජීවත්වීම සඳහා දැවැන්ත අරගලයක යෙදී සිටින තරුණ මවක් පිළිබඳව අනුවේදනීය කථා පුවතකි මේ. ඇය නමින් කේ.ජී.සෝමාවතී ය. වයස අවු.43කි. දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් දුව 13 වැනි වියේ පසුවන අතර දෙවෙනියා දස හැවිරිදි පුතෙකි. පුතා දැනට මහණ දම් පුරමින් මාවනැල්ල ප්‍රදේශයේ පන්සලක වැඩ සිටින අතර දියණිය ඇය ළඟ සිට පාසල් යන්නීය. කන්තලේ අග්බෝපුර දුම්රිය පොළ අසල මාර්ගයෙන් මීටර් තුන් හාරසීයකට ඈතට වන්නට පාළුවට ගිය නයි පොළොන්ඟුන් රජ කරතැයි සිතිය හැකි තැනෙක තනන ලද එල්ලා වැටෙන පොල් අතු , තහඩු කැබලි , ඉටිරෙදි යනාදියෙන් තනාගත් අතු පැලක මේ අම්මයි දුවයි ජීවත් වෙති. සර්පයන්ට බියෙන් පැල තුළ ලීවලින් තැනූ මැස්සක් ඇඳක් ලෙස පාවිච්චි කරන අතර ඉවුම් පිහුම් , ඇතුළු සියලුම කටයුතු කරන්නේ මේ අඩි 10 X 8 කාමරය තුළය . වතුර , ලයිට් වැසිකිළි පහසුකම් කිසිවක් නොමැති අතර රාත්‍රි කාලය උයා පිහා ගන්නා කටයුතු කරන්නේ ටෝච් එළියකිනි. මේ එම තරුණ මව මෙසේ කීවාය. මහත්තයා නැතිවෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. අපි හිටියේ මහත්තයාගේ අම්මලාගේ ගෙදර. මහත්තයා නැතිවුණාට පස්සේ එහෙ ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. එතකොට දුවත් පොඩියි. පුතා හම්බවෙන්න හිටියේ. පස්සේ මම කුලී වැඩට ගිහින් 91 පැත්තේ ගෙදරක හිටියා. අන්තිමට මහත්තයාලගේ මහ ගෙදරටම ඇවිත් ඉඩම කෙළවර මේ තහඩු මඩුව අටව ගෙන ජීවත් වෙනවා. ලොකු දුවට දැන් අවුරුදු 13ක් වෙනවා. එයා අග්බෝපුර විදුහලේ 8 වසරේ ඉගෙන ගන්නවා. පුතා දැන් මහණ වෙලා මාවනැල්ල පන්සලක ඉන්නවා. මගේ අතත් කැඩිලා. බර වැඩක් කර ගන්න බැහැ. සමෘද්ධියෙන් රුපියල් 1000ක් ලැබෙනවා. ඉස්පිරිතාලේ ක්ලීන් සර්විස් කරද්දි අත කැඩුනා. ඒ රස්සාව නැතිවුනා. දැන් මමයි දරුවයි ජීවත් වෙන්නේ රුපියල් 500ක් ලැබෙන පඩියකින්. ඒ ටවුමේ බුලත්විට කඩේක බුලත් විට හදලා. මට මොනවා වුණත් කමක් නෑ. මට දුකයි මේ දරුව ගැන. ඉගෙන ගන්න ආසයි. ඒත් රෑකට පාඩම් කරන්න විදියක් නෑ. මොකද හැන්දෑවෙ 7 වෙනකොට අපි ගෙට වෙනවා. ලයිට් නෑ. වැසිකිළි නෑ. කැලේට යන්නේ. වැස්සට ගේ තෙමෙනවා. සර්පයෝ ගේ වටේම. රෑට නිදා ගන්න කියලා ලී අටවලා හදාගත් මැස්ස තමයි ප්‍රයෝජනයට ගන්නේ. වතුර ගේන්නේ මීටර් 500 ක් විතර ඈත තියෙන දුම්රිය පොළේ ටැප් එකෙන්. ඒ මදිවට අපේම මිනිස්සු මේ කැලෑවැදිච්ච ඉඩම් කෑල්ලෙන් අපිව එලව ගන්න රෑට රෑට ගෙදරට ගල් ගහනවා. මගේ මනුස්සයාටත් මේ ඉඩම්වල අයිතියක් උරුමයක් තියෙනවා. අපි කොහේ කියලා යන්නද . කෙල්ලගේ සපත්තු දෙක කැඩිලා. ඒක අරං දෙන්න පුළුවන් කමක් නෑ. ඇඳුම් කෑලි 2 යි තියෙන්නේ. හැමදාම වැඩත් නෑ. රුපියල් 500 ක් මොනවා කරන්නද . වේලක් ඇර වේලක් කාලා හරි මේ කෙල්ලට උගන්න ගන්න ඕනේ. එයාගේ වැඩටත් සල්ලි ඕන. එයා නිසා මට කොහේවත් යන්න බෑ. දාලා යන්න කෙනෙකුත් නෑ. අපිට පාරක් අයිනක පොඩි කඩ කෑල්ලක් දාගෙන එදා වේල හොයාගන්න විධියක් හදලා දෙන්න කවුරු හරි පිං වන්ත කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්. පී.ජී.අනීෂා කෞෂල්‍යා විජේරත්න දැරියගෙන් මේ ගැන යමක් කියන්නට තිබේදැයි විමසුවිට ඇය කියා සිටියේ මම නිසා අනන්ත දුක් විඳින අම්මා වෙනුවෙන් යමක් කිරීමට කවුරු හෝ මාමා කෙනෙකු , නැන්දා කෙනෙකු හෝ තමන්ට අත හිත දෙන්නට කැමති නම් ඉදිරිපත් වෙන ලෙසය.

කන්තලේ සමූහ
සුමිත්‍රා කුමාරිහාමි


නව අදහස දක්වන්න

Or log in with...