උදයංගට යළි විවෘත වරෙන්තු | දිනමිණ

උදයංගට යළි විවෘත වරෙන්තු

සුභාෂිණී සේනානායක

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16) යළි විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කළ උදයංග වීරතුංග නමැත්තා අත්අඩංගවට ගැනීමට අදාළ විවෘත වරෙන්තුව නිකුත් කළ අතර, එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කරන ලෙසට ද නියෝග කළාය.

සැකකරු දැනට පලා ගොස් සිටින සැකකරුවකු බවට එරට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිය බාලත්මක කරන නිලධාරීන් නම් කර ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු හෝටල් සහ ගුවන්තොටුපළ දැනටමත් දැනුවත් කර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

මිග් යානා ගනුදෙනුවට අදාළව චෝදනා එල්ලවී ඇති උදයංග වීරතුංග මහතා පසුගිය පෙබරවාරි මස 04 වැනිදා ඩුබායි ගුවන්තොටුපළේ දී ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බවත් එහි දී එම නිලධාරීන් විසින් උදයංග වීරතුංග මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය, පදිංචි ස්ථානය සහ දුරකතන අංකය ඇතුළු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මුදාහැර ඇති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර, එම ලිපිනයේ ඔහු මේ වන විට පදිංචිව නැති බවටත් ඔහුගේ ලබා දී තිබූ ජංගම දුරකතන අංකය ක්‍රියාත්මක කර නැති බවටත් එරට බලධාරීන් අන්‍යෝන්‍ය නීති ආධාර ලබා ගැනීමේ පනත යටතේ සිදු කළ ඉල්ලීමකට අනුව දැනුම් දී ඇති බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව එම නිලධාරීන් විසින් උදයංග වීරතුංග මහතා පලාගොස් සැඟව සිටින සැකකරුවකු ලෙසට නම් කර මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නාය.

එමෙන්ම මිග් යානා ගනුදෙනු සිද්ධියට අදාළව යුක්රේන මාෂ් සමාගම සහ බෙරිමිසා හෝල්ඩිංග්ස් සමාගමේ ඩී. ඒ. පෙරිගොඩව්, ටී. එස්. ලී සහ එන්. ජී. ලේක්හිම් යන අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නොතිසියක් නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, මේ සම්බන්ධයෙන් එරටින් ලැබුණු වාර්තා අශ්‍රයෙන් ඉදිරි දින වැඩි දුර කරුණු වාර්තා කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඉන් පසු සුදුසු නියෝගයක් සිදු කරන බව දැනුම් දුන්නාය.

සිද්ධියට අදාළ සැකකාර සමාගම් වන බෙරිමිසා හෝල්ඩින්ග්ස් සමාගම සහ ඩී. එස්. එලායන්ස් සමාගම යන සමාගම් දෙකම එක් සමාගමක් ලෙස කටයුතු කරන බවටත් එම සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරුන් එකම පුද්ගලයන් බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

ලබන 26 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාස අංක හතරෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අදාළ නියෝග ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න