අධිකරණ සංවිධාන කෙටුම්පතට එරෙහි පෙත්සම්-අතරමැදි පෙත්සම් වැඩිදුර විභාගය කල් තැබේ | දිනමිණ

අධිකරණ සංවිධාන කෙටුම්පතට එරෙහි පෙත්සම්-අතරමැදි පෙත්සම් වැඩිදුර විභාගය කල් තැබේ

නෙල්කා මැදගෙදර

යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම සහ ඊට අදාළ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් 7ක් සහ එම පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා ඇති අතරමැදි පාර්ශව පෙත්සම් 13ක් පිළිබඳ වැඩිදුර විභාගය මෙම 19,20,22 දින තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීරණය කෙළේ ය. එම පෙත්සම් සම්බන්ධ කරුණු සලකා බැලීම් ඊයේ (16) ආරම්භ කෙරිණි.

යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට අදාළ විධිවිධාන ඇතුළත්කොට පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 7ක් සහ අතරමැදි පෙත්සම් 13ක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැඳවන ලදි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා මහතා ගොනුකළ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කෙළේ ය.

මෙම පනත් කෙටුම්පත මඟින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් සම්බන්ධයෙන් කරුණු සඳහන් කර තිබෙන නමුත් මෙතෙක් එවැනි ත්‍රිපුද්ගල මහාධිකරණයක් නොමැති බව හෙතෙම කීය. එලෙස නොපවතින අධිකරණයක් සම්බන්ධ විධිවිධාන සැලසීම සඳහා ඉදිරිපත්ව ඇති මෙම පනත එම කරුණ නිසාම අවලංගු වන බව හෙතෙම කීය. එවැනි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව නැති බව ඔහු සඳහන් කෙළේ ය.

එසේම මෙම මහාධිකරණය තමන් කැමැති ස්ථානයක පිහිටුවීමේ අභිමතය මෙම පනත් කෙටුම්පත මඟින් ඇමැතිවරයාට පවරා ඇති බවද එය අධිකරණ පද්ධතිය සතු බලය ඉවත් කිරීමට උත්සහ කිරීමක් බව හෙතෙම කීය. යම් සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ මහාධිකරණයේ නඩු පැවරීමේ අභිමතානුසාරි බලය නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයාට පැවරීමත් මෙම පනත් කෙටුම්පත මඟින් සිදුකර ඇති බව හෙතෙම කීය. එක හා සමාන කරුණකට වෙනස් අධිකරණ දෙකකට නඩු පැවරීමට එමඟින් අවස්ථාව දීම නිසා එමඟින් මූලික අයිතිවාසිකම් කඩවන බව හෙතෙම කීය.

මෙහිදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ගොනුකළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කෙළේ අදාළ මහාධිකරණයෙහි නඩු සඳහා පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය පරිදි දින ලබාගැනීමට අවස්ථාව නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය. එසේම මීට පෙර අල්ලස් නඩු පැවරීමේ හෝ ඉවත්කර ගැනීමේ බලය අල්ලස් කොමිසමේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන්ට තිබූ අතර මෙම පනත මඟින් එම බලය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා ඇති බවත් එය ‍දෝෂසහගත බවත් හෙතෙම කීය.

මෙහිදී පෙත්සම්කාර දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා සඳහන් කෙළේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නීතිඥවරු පෙත්සම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත නාවාන මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටියහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්.පීරිස්, එම්.ඒ.වෛද්‍ය චන්න සුදත් ජයසුමන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ජනිත අබේවික්‍රම ලියනගේ, ඩබ්ලිව්.ඩී.ආර්.ධර්මසිරි ගුණරත්න විසින් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනුකර තිබුණි.

රාජ්‍ය ඇමැතිවරුන් වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී.පෙරේරා, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ඇමැති පාඨලී චම්පික රණවක, පුරවැසි බලය සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය, ජයදේව උයන්ගොඩ, ගාමිණී වියන්ගොඩ, ජාතික වෘත්තිය සමිති සන්ධානයේ සමන් රත්නප්‍රිය, ජගත් හේමචන්ද්‍ර, කේ.ඩබ්ලිව්.ජනරංජන,නීතිඥ උණවටුන අරුණ ලක්සිරි විසින් අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබුණි.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයන් පිහිටුවීමට අදාළ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ඉකුත් 2018 මාර්තු 06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

එහි ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ප්‍රකාශ කරමින් මෙම අතරමැදි පෙත්සම් ගොනුකර තිබුණි.

නව අදහස දක්වන්න