අධිකරණ සංවිධාන පනත කඩිනමින් ගෙනැවිත් අප්‍රමාදව යුක්තිය ඉටුකරන්න | දිනමිණ

අධිකරණ සංවිධාන පනත කඩිනමින් ගෙනැවිත් අප්‍රමාදව යුක්තිය ඉටුකරන්න

සිතාරා සේනානි

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් නීතියක් බවට පත් කර පසුගිය සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචා හා අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය කඩිනමින් පිහිටුවීමට සහාය දක්වන ලෙස ජාතික විද්වත් සංඝ සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

වංචා දූෂණ ක්‍රියා සම්බන්ධ නඩු 2700ක් පමණ විභාගයට ගැනීමට නියමිතව තිබෙන බවත්, නව අධිකරණ පනත් කෙටුම්පත යටතේ පත් කිරීමට නියමිත විශේෂිත අධිකරණ මඟින් එම නඩු අඛණ්ඩව විභාගයට ගෙන වරදකරුවන්ට දඬුවම් ලබා දීමට හැකියාව ලැබීම ජනතාව වෙනුවෙන් සිදුකෙරෙන යුක්තිය ඉටු කිරීමක් බවත්, ජාතික විද්වත් සංඝ සභාව පෙන්වා දෙයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පතේ යම් තාක්ෂණික දෝෂ තිබේ නම් ඒවා නිවැරදි කර ගෙන සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එම සභාව සඳහන් කරයි.

‍මෙම නව අධිකරණ පනත් කෙටුම්පත අනුව පිහිටුවන අධිකරණ මඟින් නඩු අසා නිවැරදිකරුවන් සිටී නම් ඒ අයට අදාළ චෝදනාවලින් නිදහස් වීමටද මෙමඟින් හැකියාව ලැබෙන බවත් පවසයි.

එබැවින් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට යම් අයකු එරෙහි වන්නේ නම් ඔවුන් වංචා දූෂණවලට සම්බන්ධ අය ද යන සාධාරණ සැකය මතුවන බවත් ජාතික විද්වත් සංඝ සභාව සඳහන් කරයි.

ජාතික විද්වත් සංඝ සභාවේ මෙහෙයවීමෙන් කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කැරිණි.

එහි දී අදහස් දැක්වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි - මේ අපි හැම දෙනාට ම ආදළ කාරණාවක්. අනන්තවත් අසාධාරණයකට ලක්වූ අය ඉන්නවා නඩු ගිහන් වැඩක් නෑ, අපිට සල්ලි නෑ, ඔය නඩුවලට පරම්පරා ගණනාවක් යනවා කියලා. නීතීඥ සංගමයේ පිංවතුන්ට අපි මෙතැන දී විශේෂයෙන් ම කියන්න ඕනෑ. ඇත්ත වශයෙන් ම ඒ අය කරන්නේ විශිෂ්ට සේවාවක්. යුක්තිය පසිඳලීම සඳහා අපට සිටින එකම කල්‍යාණ මිත්‍ර කණ්ඩායම ඒ අය. ඒ අයගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අසාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිට තමන්ගේ උත්තරීතර නීතීඥභාවය, නීති දැනුම යොදා ගෙන මේ නඩු මෙතරම් කල් ඇරීමට ඉඩ නො දී ඉතාමත්ම ඉක්මනින් යුක්තිය පසිඳලීම සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට සහාය දෙන්න කියලයි.

සිද්ධියක උණුසුම ගියාට පසුව ඒ ගැන තීන්දු දීලා වැඩක් නෑ. කල්මැරීම නිසා සිදුවන්නේ පවත්නා උණුසුම නැතිවීමයි. තාජුඩීන් ඝාතනයට අදාළ වගකිවයුත්තන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා ඊළඟ සතියේම අත්අඩංගුවට ගනී කියලා අපි හිතුවා. ඒත් වුණේ නෑ. අපි මේ කතා කරන්නේ දේශපාලන පක්ෂ බේදයක් අනුව නෙවෙයි. ගිය ආණ්ඩුවට එරෙහිව එල්ලවී තිබෙන චෝදනා ගැන කඩිනමින් නඩු විභාග කිරීමයි. රටක අධිකරණය සාධාරණ නොවන විට, අක්‍රීය වනවිට, මන්දෝත්සාහී වනවිට ඒ රටට දියුණුවක් ලබන්න බෑ. අධිකරණය තමයි අපට තිබෙන එකම පිහිට. ඒ නිසා අපි මහනායක නාහිමියන් ප්‍රධාන සියලුම සංඝ සංවිධාන ප්‍රධානීන් සහ මේ රටේ පොදු ජනතාවගේ යහපත ප්‍රාර්ථනා කරන යම් සිවිල් සංවිධාන තිබේ නම් ඒ සෑම සංවිධානයකින්ම අපි පොදුවේ ඉල්ලා සිටිනවා මේ පනත වහාම සම්මත කරලා රටේ ජනතාවට අධිකරණයේ සාධාරණත්වය ලබා දෙන්න, හොරකමට දූෂණයට විරුද්ධව ක්‍රියා කරනවා යැයි කියන පොරොන්දුව යටතේ බලයට පැමිණි මේ ආණ්ඩුව තමන්ගේ මූලික ප්‍රතිපත්තිය අමතක නොකර අදාළ රේල් පාරට නැවතත් කෝච්චිය යොමු කරන්න කියලා.

ජාතික විද්වත් සංඝ සභාවේ විධායක සභික දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි - අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ මහා පරිමාණ දූෂණ වංචා විමර්ශනය කිරීමේ විශේෂ අධිකරණ පිහිටුවීමයි. ජනතාව වත්මන් රජය බලයට පත් කළේ පසුගිය සමයේ මහාපරිමාණයෙන් වංචා දූෂණ සිදුකළ අයට දඬුවම් ලබා දීම සඳහායි. මේ කාර්යය ඉටු කිරීම පවතින අධිකරණ පද්ධතිය තුළින් ඉටු කර ගැනීමට බොහෝ කාලයක් ගත වෙනවා. එහෙත් නව පනත් කෙටුම්පත මඟින් ආරම්භ කිරීමට නියමිත අධිකරණවල නඩු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දිනපතා විභාග කිරීමට නියමිතයි. ඇතැම් දේශපාලන පක්ෂ මේ කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි කියන්නේ මේ කෙටුම්පතේ තාක්ෂණික දෝෂ තිබෙන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම අනුව අවශ්‍ය සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී එය සම්මත කර ගත යුතු බවයි.

ජාතික විද්වත් සංඝ සභාවේ විධායක සභික රන්පත්විල විමලරතන නාහිමි - නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද මැලේ ද කියා නොසලකා කටයුතු කළ යුතුයි. එසේ නොකළොත් ඛේදවාචකයක් වෙනවා. ඒ වගේම අනාගතයේ රට ලේ විලක් බවට පත්වීමටත් එය හේතු විය හැකියි. ඒ නිසා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගන්න සියලු පක්ෂ වහ වහාම කටයුතු කළ යුතුයි. වංචා දූෂණ සිදුකළොත් ජනාධිපති හෝ අගමැති බේදයෙන් තොරව එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි.

කහටපිටියේ පඤ්ඤාසාර නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලැගුම්දෙණියේ පියරතන හිමි ඇතුළු ජාතික විද්වත් සංඝ සභාවේ සාමාජික ස්වාමීන්වහන්සේ කිහිප නමක් ද මෙහි දී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න