මිතුදම සමරා හම්බන්තොට සතුන්වත්තට ජපානයෙන් කැන්ගරුවෝ සිවුදෙනෙක් | දිනමිණ

මිතුදම සමරා හම්බන්තොට සතුන්වත්තට ජපානයෙන් කැන්ගරුවෝ සිවුදෙනෙක්

මානෙල් පුෂ්ප කුමාරි
ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස තිළිණයක් ලෙස පිරිනැමීම දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය ජපානයේ නගෝයා ජාතික සත්ත්වෝද්‍යානයෙන් පැමිණි අධ්‍යක්ෂ මසෝමි කුරෝමි මහතාට, ඔවුන් මෙයට පෙර දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට පිරිනැමුණු 'කෝසල' සහ 'අනුලා' රයිනෝසිරස් යුවළ දාව 2013/03/10 දින මෙරටදී උපන් රයිනෝ ගැහැණු පැටවා ගේ ඡායාරූපයක් තිළිණටක් ලෙස ප්‍රදානය කළ අවස්ථාව. ඡායාරූප - සිරිපාල හල්වල

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට ජපානයේ නගෝයා ජාතික සත්ත්වෝද්‍යානයෙන් කැන්ගරු හතරදෙනකු නිල වශයෙන් ලබාදීම ඊයේ (16) දින පෙරවරුවේ සත්ත්වෝද්‍යානයේ දී සිදු කළේ ය. මේ වන විට මෙම සතුන් හම්බන්තොට සෆාරි උද්‍යානයට භාර දී ඇත.

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ මිතුදම සනිටුහන් කරමින් ජපානයේ නගෝයා සත්ත්වෝද්‍යානයෙන් වටිනා සතුන් ලබාදීමට අගය කොට සලකන බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය මෙම උත්සව අවස්ථාවේ දී පැවැසීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරිය මෙසේ පැවසීය.

ඉතා ඈත අතීතයේ සිටම ජපානයත් ශ්‍රී ලංකාවත් සමීප මිතුරන්. නගෝයා සතුන්වත්ත අපිට විශේෂ ස්ථායක් වෙනවා. ඒකට හේතුව තමයි කළුරයිනෝසිරස් යුවළක් අප සත්ත්වෝද්‍යානයට පරිත්‍යාග කිරීමයි. මේ කළු රයිනෝසිරස් යුවළ අප සතුන්වත්තට ගෞරවයක්. අපි මේ සතුන් හුවමාරු කළේ 2006-2007 වසරවලදීයි. මෙවැනි විශාල සතුන් හුවමාරු කර ගැනීම ඉතා දුෂ්කරයි. විශාල සතුන් පෙට්ටිවල අහුරා ගුවන් මඟින් රටවල් අතර හුවමාරු කර ගැනීම පහසු කාරියක් නෙවෙයි. අලි ගුවන්යානා මඟින් හුවමාරු කරගැනීම ඉතාම අපහසුයි. අප රටට ජපානයෙන් සතුන් හුවමාරු කර ගැනීමේ දී වියදමෙන් අඩක් දරන්නේ ජපානයයි.

අද අපිට ජපානයෙන් කැන්ගරුවන් හතරදෙනකු ලැබී තිබෙනවා. මේ සතුන් අපි ඉතා ආදරයෙන් රැකබලා ගන්නවා. අපි අපේ සතුන්වත්තෙන් වල් බළලුන් දෙදෙනකු ඉතා ඉක්මනින් ජපානයේ නගෝයා සත්ත්වෝද්‍යානයට ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහත්මිය කීවාය.

ජපානයේ නගෝයා සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ මසෝමි කුරෝමි මහතා - හිරෝෂීමාවට බෝම්බ දැමූ වෙලාවේ අපේ රටේ ජීවත් වුණු බොහෝ අලි ඇතුන් ජීවිතක්ෂයට පත් වුණා. අපේ නගෝයා සතුන්වත්තට දැන් වසර 80 ක් සම්පූර්ණයි. වසර 2007 දී ශ්‍රී ලංකාවෙන් අප රටට ලැබුණු අලි නිසා අලි පිළිබඳ අප රටේ ජනතාවගේ මතකය නැවත අවධි වුණා. “සකුරා“ පොඩි අලි පැටවා මුලින්ම ඉපදුණා. මුළු ජපානයටම ඉපදුණ තුන්වන අලි පැටවා සකුරායි. මින් නොනැවතී දිගින් දිගටම සතුන් හුවමාරු කර ගන්නා බව ජපානයේ නගෝයා සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ මසෝමි කුරෝමි මහතා කීවේය.

හම්බන්තොට සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා මෙහි දී මේ පිළිබඳ අදහස් දැක්වූ අතර දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මෙනෙවිය පැමිණ සිටි පිරිස අමතා ස්තුති කතාව කළාය.


නව අදහස දක්වන්න

Or log in with...