චීනච්චට්ටි අපනයනය නවත්වන්න | දිනමිණ

චීනච්චට්ටි අපනයනය නවත්වන්න

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ලෝහ තොගයක කොටස් බව ව්‍යාජව පෙන්වමින් චීනච්චට්ටි අපනයනය සිදු කිරීම නිසා, චීනච්චට්ටි වාත්තු කර්මාන්ත හිමියන් දැඩි අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ පා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

චීනච්චට්ටි වාත්තු කර්මාන්තය රටට විදේශ විනිමය ඉතිරි කරන, රැකියා උත්පාදනය කරන වටිනා දේශිය කර්මාන්තයකි. භාවිතයෙන් ඉවතලන අබලි චීනච්චට්ටි කොටස් උණුකොට නිමිභාණ්ඩ , විශේෂයෙන්ම යන්ත්‍රසූත්‍ර අමතර කොටස් නිපදවීමේ ක්‍රියාවලිය මෙහිදී සිදුකරනු ලබයි. භාවිතයෙන් ඉවත් කෙරෙන වාහනවල එන්ජින් බ්ලොක්, ගියර් පෙට්ටි කවර මෙන්ම විවිධ අබලි යන්ත්‍ර කොටස් ද ප්‍රතිචක්‍රීයකරණය තුළින් ලබාගන්නා චීනච්චට්ටි නැවත භාවිතයට ගැනීම මෙහිදී සිදුවේ.

සුළු හා මධ්‍ය පරිමාණ චීනච්චට්ටි වාත්තු කර්මාන්ත සංගමය ඇතුළු රටට හිතැති විවිධ පාර්ශවයන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව දේශීය කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත වන චීනච්චට්ටි ද ඇතුළු ඇළුමිනියම්, තඹ, පිත්තල ආදි ලෝහ අපනයනය රජය විසින් තහනම් කරන්නට යෙදුනි.

එහෙත් මේ වනවිට මහා පරිමාණයේ අපනයනකරුවන් සුළු පිරිසක් විසින් වගකිවයුතු නිලධාරීන් සහ අදාළ රාජ්‍ය ආයතන ද නොමඟ යවමින් චීනච්චට්ටි පිටරට යැවීම සඳහා නැවත අනුමැතිය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රියකරණය කළ නොහැකි ලෝහ තොගයක කොටස් බව ව්‍යාජව පෙන්වමින් සිදුකරන මෙම අපනයන ක්‍රියාවලිය හේතුවෙන් චීනච්චට්ටි වාත්තු කර්මාන්ත හිමියන් දැඩි අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ පා ඇත.

මේ හේතුව නිසා ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන මෑන් හෝල් කවර, ගලි කවර, සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍ර, අපවහන නල, වතුර මෝටර් හා ට්‍රැක්ටර් අමතර කොටස්, බිම් තරාදි, තරාදි පඩි, බ්‍රේක් ඩ්‍රම්, එන්ජින් ස්ලිව්, බුෂ් මෙන් ම පේෂ කර්මාන්තය, තේ කර්මාන්තය, රබර් කර්මාන්තය සහ වී මෝල් සඳහා භාවිතාවන මහා පරිමාණ යන්ත්‍ර සඳහා අවශ්‍ය වන අමතර කොටස් අධික මිලක් ගෙවා පිටරටවලින් ආනයනය කිරීමට සිදුවේ. මේ හේතුවෙන් අදාළ කර්මාන්තකරුවන්ට අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර අප රටෙහි ඉතුරු කරගත හැකි විශාල මුදලක් නිරපරාදේ පිටරටවලට ඇදීයයි.

රටට හිතැති දේශිය කර්මාන්තයක් රැකගැනීම ජාතික අවශ්‍යතාවක් සේ සලකා මේ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකර, දේශිය කර්මාන්ත සඳහා යොදගත හැකි ලෝහ අපනයනය වහාම ක්‍රියාත්මකවන පරිදි නැවැත්වීම බලගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

නව අදහස දක්වන්න