චිත්‍රපට සංරක්ෂණයට ලක්ෂ පන්සීයක් ලබා දුන්නා | දිනමිණ

චිත්‍රපට සංරක්ෂණයට ලක්ෂ පන්සීයක් ලබා දුන්නා

අනුර ප්‍රේමලාල්

ලබන අප්‍රේල් සිට වයෝවෘද්ධ කලාකරුවන්ගේ මාසික දීමනාව 5000ක් කිරීමට පියවර ගන්නවා

චිත්‍රපට සංරක්ෂණය සඳහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් ලබාදී තිබෙන අතර ලබන අප්‍රේල් මාසයේ සිට වයෝවෘද්ධ කලාකරුවන්ගේ මාසික දීමනාව රුපියල් පන්දහස කිරීමටත් එය ඉදිරියේ තවත් වැඩිකිරීමටත් බලාපොරොත්තුවන බව රාජ්‍ය පරිපාලන, කළමනාකරණ , නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් සතියේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හා ගාමිණි ෆොන්සේකා පදනම, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම එක්ව සංවිධාන කළ සිනමාපට සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ ජත්‍යාන්තර විද්වතුන්ගේ සම්මන්ත්‍රණය හා වැඩමුළුවෙන් අනතුරුව ඉකුත්දා (14) තරංගනී සිනමා ශාලාවේ පැවැති අවසන් උත්සවයට එක්වෙමිනි.එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.සිනමා ක්ෂේත්‍රය අංශ කිහිපයකින් නඟා සිටුවන වකවානුවකයි අප සිටින්නේ.එක යුගයක ඉතා ශක්තිමත්ව තිබු සිනමා ක්ෂේත්‍රය නව තාක්ෂණයත් එක්ක යම් පසුබෑමකට ලක්වුණා. වත්මන් රජය කල්පනා කළා සිනමා කර්මාන්තය යළි නඟා සිටුවන්න. ඒ සඳහා රජයේ ආධාරය ශක්තිය දෙන්න ඕනෑ කියන අදහස ඇතිවුණා. මේ ලෝකය නව තාක්ෂණය සමඟ ඉදිරියට යන විට ඒ ගමනත් එක්ක ඉදිරියට යන්න දේශීය සිනමාවට බැරිවුණා. රටක වැදගත්ම දෙයක් තමයි එහි අතීතය. එම අතීත මතකයන් යළි කැඳවීමට හැකි චිත්‍රපට සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් අපට තිබුණේ නැහැ. ඒ නිසා සිනමාපට සංරක්ෂණය කොට ප්‍රතිෂ්ඨාපනය කර සිනමාවේ අතීතය අනාගත පරපුරට දායක කරන වැඩපිළිවෙළකුයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

ගාමිණි ෆොන්සේකා මහතාගේ පුත්‍රයා මේ කාර්යයේද සුවිශේෂී කාර්ය භාර්යයක් ඉටු කළා. ඔහු අැතුළු ඊට උරදුන් සියලු දෙනාට ඇමැතිවරයා ලෙස මගේ ගෞරවය පුද කරනවා. මේ කාර්යයන් සඳහා විදේශීය සිනමා කලාවේ නම රැන්දු ඩේවිඩ් වොල්ෂ්, සෙවෙන්ද්‍ර සිං දංගපූර්, හා මික් නිව්හාම් මහත්වරුන්ට අපේ ගෞරවය ස්තූතිය පුද කරනවා. මේ වසරේ සිනමාව වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල වෙන් කර විශාල කාර්යභාර්යක් අපි ඉටුකළා.දළුගම චිත්‍රාගාරයේ පශ්චාත් නිෂ්පාදන පහසුකම් ඇති කරන්න රුපියල් මිලියන විසිපහක මුදලක් ලබාදී තියෙනවා. චිත්‍රපටි සංස්ථා පරිශ්‍රය තුළ චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඉදිකිරීමට රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් අපි ලබාදී තියෙනවා. ඒ වගේම චිත්‍රපට කර්මාන්තයේ නියැළුණු අයගේ සුබසාධනය වෙුවෙන් විශාල ඉදිරිපියවරක් අරගෙන තියෙනවා. වයෝවෘද්ධ කලාකරුවන්ට දැනට මාසිකව ලබා දෙන්නේ රුපියල් දෙදහසයි. මේක ලබාගන්න තව කලාකරුවන් එකසිය එකොළහක් ලැයිස්තුවේ සිටිනවා. මේවා ගැන මුදල් ඇමැති සමඟ සාකච්ඡා කර දැනට මුදල් ආධාර ලබන හා පෝලිමේ සිටින සියලු දෙනාට රුපියල් පන්දහසක දීමනාවක් ලබා දෙන්න මීට සති දෙකක කලින් කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කරමින් එය අනුමත කර ගත්තා. මේ මුදල ඉදිරියේදි තවත් වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා.

දේශීය සිනමාව නැංවීමට අපි සියලු කටයුතු යොදා තියෙනවා. සිනමා ශාලා තුන්සිය ගණනක සිට අද එකසිය ගණනක් දක්වා අඩුවෙලා. ඒ නිසා මේ සිනමා ශාලා නවිකරණය කරන්න අඩු පොලියට ණයක් දෙන ලෙස මුදල් ඇමැතිගෙන් ඉල්ලුවා. ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා සමඟ සාකච්ඡා කරන්න .ඊට පස්සේ අපිට පුළුවන් වෙයි, සිනමාකර්මාන්තය ගොඩ නැංවීමේ කටයුතු තවත් පුළුල් කරන්න. ඉදිරියේදි ජනාධිපති සම්මාන උළෙලක් ඇතුළු කටයුතු රැසක් අපි සංවිධාන කරනවා.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතෙන්ද්‍ර සේනාරත්න මහතා-

දින පහක් තිස්සේ මේ සම්මන්ත්‍රණය හා වැඩමුළුව සංවිධාන කරන ගාමිණි ෆොන්සේකා පදනම හා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම මේ වැඩසටහනට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගය ලබාදෙන්න ක්‍රියා කළා. අද මේ සංස්ථාවට හෙවත් මහගෙදරට සුවිශේෂි දිනයක්. සිනමාවේ වර්ධනයට සිදුකරන වැඩපිළිවෙළක තුන්වෙනි අදියරයි ක්‍රියාත්මක වෙන්නේ. ඉකුත් දින කිහිපයේ සිදුවු වැඩසටහනේ සමාලෝචනයක් අද සිදුවෙනවා. එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මේ විනාශ වන සිනමාපට විස්තර ඉදිරිපත් කළා. ඒ කාලයේ ඇතිවු නොයෙක් ගැටලු නිසා එම කාර්ය සාර්ථක කරගන්න බැරිවුණා. කඩවුණු පොරොන්දුවේ සිට අද දේශීය චිත්‍රපට දෙදහසක් පමණ තියෙනවා.මෙහි බොහෝමයක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතු අවස්ථාවකයි තියෙන්නේ. එහිදි දමිත් ෆොන්සේකා මහතා සිය පියාගේ චිත්‍රපට සංරක්ෂණය කරන්න ආරම්භ කරන්න සූදානම් වනවිට එතුමාම අවබෝධ කරගත්තා තම පියාගේ පමණක් නොවේ රටේම සිනමාපට සංරක්ෂණය කළ යුතුයි කියලා. ඒක තමයි මේ වැඩපිළිවෙළේ ආරම්භය. අපේ හිටපු සභාපතිතුමා අගමැතිතුමාට මේ ගැන කරුණු දක්වා එතුමා උදව් ඇතිව මේ වැඩසටහන ගිය අවුරුද්දේ ආරම්භ කළා. වත්මන් විෂයභාර ඇමැතිතුමා ලබා දෙන සහයෝගයද අපි අගය කළ යුතුයි.

ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය, සෙවෙන්ද්‍ර සිං දංගපූර් හා සිනමා නළු දමිත් ෆොන්සේකා මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්, ප්‍රවීණ රංගන ශිල්පිනී වීණා ජයකොඩි ඇතුළු කලාකරුවන් හා සිනමා රසික රසිකාවියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ වැඩසටහනට එක්වු විද්වතුන් වන ජාත්‍යන්තර සංරක්ෂණ සංවිධානයේ හා ඩිජිටල් සංරක්ෂණ උපදේශක ඩේවිඩ් වෝල්ෂ්, ඉන්දියාවේ දුන්ගාර්පුර් චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක ,චිත්‍රපට උරුමය පිළිබඳ පදනමේ සෙවෙන්ද්‍ර සිං දංගපූර් හා ඕස්ට්‍රේලියාවේ ජාතික චිත්‍රපට ශබ්ද සංරක්ෂක, හිටපු කළමනාකරු මික් නව්හාම් මහත්වරුන්ට ප්‍රණාමය පුදකිරීමක් වශයෙන් ඇමැති රංජිත් මද­්දුම බණ්ඩාර මහතා අතින් තිළිණ ප්‍රදානයක් ද සිදුකෙරිණි.

 

නව අදහස දක්වන්න