කළු ජූලි පැල්ලම් නැවත ඇති නොවීමට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීමයි | දිනමිණ

කළු ජූලි පැල්ලම් නැවත ඇති නොවීමට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීමයි

83 දී ඇති වූ කළු ජූලියක් නැවතත් මාතලේ නගරය හෝ ඒ අවට ප්‍රදේශවල හිස ඔසවන්නට ඉඩ නොතිබිය යුතුයි. 83 දී ඉතිහාසයේ ඇති වූ ඒ කළු පැල්ලම් නැවතත් ශ්‍රී ලංකාවේ කොතනක හෝ හිස ‍නොඔසවන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලා ගැනීම මේ රටේ දේශපාලකයින්ගේ පමණක් නොව මේ රටේ සියලු ජනතාවගේ වගකීමක් බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි (එ.ජා.ප.) රංජිත් අලුවිහාරේ මහතා පවසයි.

පසුගියදා මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මුස්ලිම් ජනතාවටත් ඔවුන්ගේ ආගමික සිද්ධස්ථානවලට පහරදීම ගැන මාධ්‍යට අදහස් දක්වමින් රංජිත් අලුවිහාරේ මහතා එසේ ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා

පසුගිය 02 වෙනිදින ඇති වූ කලකෝලාහල ජනවාරි 22 වෙනිදින මේ රටේ පුරවැසියන් දෙදෙනෙකු හෝ සිව් දෙනෙකු අතර ඇති වූ ගැටුමක්. මේ ගැටුමට සම්බන්ධ පුද්ගලයින් අතර පහරකෑමට ලක් වූ පුද්ගලයා රෝහල්ගත කර පහර දීමේ පුද්ගලයින් නිසියාකාරව විභාග කර නීතිය හරියට ඉටුකර වැරැදිකරුවන් හෝ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන නිසි පරීක්ෂණයකින් පසු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතක තිබේ නම්, නීතිය හරියට ක්‍රියාත්මක වූවානම් පසුගිය 02 වෙනි දින මහනුවර ප්‍රදේශයේ මෙවන් නොසන්සුන්තාවයක් ඇති නොවන්නට තිබූ බව මාගේ දැඩි විශ්වාසය විය.

පසුගිය 02 වෙනිදින මහනුවර ප්‍රදේශයේ එක්තරා පිරිසක් මේ සිද්ධිය මුල්කරගෙන මුස්ලිම් ජනතාවටත්, මුස්ලිම් ආගමික සිද්ධස්ථානවලට පහර දෙන බවත් මෙය මහනුවරින් - මාතලේ ප්‍රදේශයටත් පැතිරීයාමට ඉඩ ඇති බවත් මාතලේ හෝ ඒ අවට ප්‍රදේශවල මෙවන් කලහකාරි සිදුවීම් සිදුනොවන්නට අවශ්‍ය දේ කළ යුතු බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්.එම්.එම්.ඉබ්‍රාහිම් මහතා කොළඹ සිටි මාහට දුරකථනය මගින් දැනුම් දුන්නා.

මේ පණිවුඩය ලැබුණු විගස මා ක්ෂණිකව ක්‍රියා කරමින් අගමැතිවරයා මුණගැසී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අගමැතිතුමා , ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාට උප‍දේශයක් ලබා දුන්නා මාතලේට හමුදාව, විශේෂ බළකාය ඇතුළු වි‍ශේෂ පොලිස් කණ්ඩායමකුත් යවන ලෙස. හමුදාව සමග නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් හා මාතලේ පොලිසියේ උදවියගේ විශේෂ කැපවීම නිසා මාතලේ නගරයේ කිසිදු කලහකාරි තත්ත්වයක් හිස ඔසවන්නට ඉඩ නොදී ආරක්ෂා කිරීමට හැකිවීම මාතලේ දිස්ත්‍රික්කයේ සිංහල , මුස්ලිම්, ‍දමිළ හා ක්‍රිස්තු ජනතාවගේ වාසනාව බවයි මා සඳහන් කරන්නේ.

ඇයි අප මෙසේ කෙරේ?

83 දී මාතලේ නගරයේ ඇති වූ දමිළ ජනතාවට එරෙහිව දියත් කළ කලකෝලාහලය අපට දැන් වගේ මතකය. 83 දී දමිළ ජනතාවගේ කඩවලට - නිවෙස්වලට ගිනි තියන අවස්ථාවේ මාතලේ මහනගර සභාවට ගිනි නිවන කිසිදු යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. මාගේ අප්පච්චි - දිවංගත අලුවිහාරේ මහතා තමාගේ හිතවත් පිරිසක් එක්ව අසල්වැසි නිවස්වලින් ජලය අරන් තමාට හැකි ආකාරයෙන් එය මැඩපැවැත්වීමට එතුමා කටයුතු කළා. එදා මගේ පුංචි වයසේදී ඒ දිහා මා බලා සිටියා.

මාතලේ ඓතිහාසික පත්තිනි දේවාලයේ තේරු කරත්ත දෙකටම ගිනි තිබ්බා. එදා සිට වසර 12ක් හෝ 14ක් වැනි කාලයක් මාතලේ තේරු උත්සවය නැති වුණා. මේකෙන් පාඩු කාටද? මාතලේ ආර්ථිකය එදා ඉඳන් කඩා වැටෙන්නට පටන් ගත්තා. මාතලේ තේරු උත්සවය නරඹන්න ලක්ෂ සංඛ්‍යාවක ජනතාව මාතලේට ඇදී එනවා. පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන ව්‍යාපාරිකයින් දවස් 10ක් -15ක් කූඩාරම් ගසා ව්‍යාපාර කටයුතුවල නිරත වෙනවා. මෙයින් මාතලේ ආර්ථිකයට ලොකු හයියක් ඇති වුණා. පසුගිය 83 කලකෝලාහල නිසා මාතලේ අපි අවුරුදු 20 -25ක් ආපස්සට ගියා. අවස්ථාවාදීන්ටත් අවස්ථාවාදී දේශපාලකයින්ටත්, අන්තවාදින්ටත් මේවා නොතේරුණාට අපට නම් මේවා හොඳටම තේරෙනවා. ඇයි අපි මාතලේ මිනිස්සු. මාතලේට යම් අකටයුත්තක් සිදු වෙනවා නම් ඒ සඳහා අපට බලා ඉන්න බැහැ.

අපි මේ සියලුදෙනා එකතුවෙලා රටට ඇතිවන අයහපත් දේවල්වලින් රට මුදාගෙන රටේ සංවර්ධනය දිහා අපගේ අවධානය යොමු කළ යුතුයි.

නිකම්ම නිකන් පාරවල් හැදුව පමණින් රටේ සංවර්ධනයක් ඇතිවන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් හිස ඔසවනකොට මේවා මැඩ පවත්වන්නට මාතලේ මහනගර සභාව සතුව හරියට ගිනි නිවන යන්ත්‍රයක්වත් නැහැ. මම මේ නගර සභා‍ෙව් පුරපති වෙලා ඉන්න කාලේ ජපානයේ තඹගාව නගරාධිපතිතුමාත් සමග කතා කරලා එදා මාතලේ මහනගර සභාවට අවශ්‍ය දේ ගත්තා. අදත් මේවා කරගන්න පුළුවන්.

උකුවෙල විශේෂ
එම්.එස්.එම්.මසාහිම්

නව අදහස දක්වන්න