කැතයි බොලිවුඩ් | දිනමිණ

කැතයි බොලිවුඩ්

බොලිවුඩ් රසිකයින් පමණක් නොව දෙස් විදෙස් සුවහසක් සමස්ත සිනමා ලෝලී ප්‍රජාවම හඬවා ශ්‍රීදේවිය නික්ම ගියාය. නමුත් ඇය ලොවම කම්පා කරමින් එලෙස නික්ම ගියේ නිකන්ම නොවේ. තම මරණයෙන් පසු බොලිවුඩයේ නමගිය තමා වැනි ජනප්‍රිය සිනමා තාරකාවන් බොහෝදෙනකු විසිතුරු කඩතුරාවෙන් වැසුණු බොලිවුඩයේ බියකරු පැතිකඩ නිරාවරණය කිරීමට පොළඹවාලමිනි. ඉන්දියාවේ මුම්බායි ‘සිහින සාප්පුව‘ මතුපිටින් පෙනෙන තරම් සුන්දර සිහිනයක් නොවන බවත්, කාන්තාවන්ට හා ‘පිටස්තරයන්ට‘ එහිදී මුහුණ දෙන්නට සිදුවන ගැහැට තවදුරටත් නොසලකා හැරිය නොහැකි බවත්, දැන් දැන් පෙනෙන්නට තිබෙන්නකි. ශ්‍රීදේවියගේ අකල් මරණයත් සමඟ බොලිවුඩයේ ජනකාන්ත නිළියන් තම සාර්ථකත්වයට මුවාවූ පීඩනය හා අප්‍රසන්න අත්දැකීම් පිළිබඳව කළ හෙළිදරව්වන්ගෙන් සමාජ මාධ්‍ය ජාල පිරීතිරී ගියේ ඒ බව කියාපාමිනි. ඒ හොලිවුඩයේ ‘Metoo’ ව්‍යාපාරය වැනි ප්‍රබෝධයක් බොලිවුඩයේද ඇති කරමිනි.

වත්සුණු තැවරූ විසිතුරු ආටෝපයෙන් වැසුණු බොලිවුඩයේ රුදුරු යථාර්ථය ඒ වෙත එන නවකයන්ට ආගන්තුක වූවකි. නිදසුනක් ලෙස වයසට වඩා තරුණ ආකර්ශණීය පෙනුමක් පවත්වා ගැනීමට, ‘ Metoo’ වැනි ව්‍යාපාරවලට මුල්වූ අප්‍රසන්න අපවාදයන් සදාකාලික රහස් ලෙස තබාගැනීමට එබඳු නවකයින්ට එල්ල වන පීඩනය සුළුපටු නොවේ. ඇතැම්විට හොලිවුඩයටත් වඩා බොලිවුඩයේදී මෙබඳු කරුණු සම්බන්ධයෙන් රංගණ ශිල්පිණියන්ට එල්ල වන පීඩනය වැඩිය. ඒ චිරාගතව ඉන්දීය සමාජය වෙළාගෙන පවතින පුරුෂාධිපත්‍යයේ රැහැන් බොලිවුඩයටද ව්‍යාප්තව තිබෙන නිසයි. මෙම පීඩනය නිසා බොලිවුඩ් පුරයෙන් දිනපතාම පාහේ වාර්තාවන මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවීම්, ප්‍රචණ්ඩ ක්‍රියා, අද ඇතිවී හෙට නැතිවී යන පෙම් සබඳතාද අඩුවක් නැත. සියදිවි නසාගැනීම්ද ඒ අතර නැත්තේම නැත. මෑතභාගයේදී වාර්තාවූ ආකාරයට බොලිවුඩ් නිළියන් දහසයදෙනකුද, නළුවන් නවදෙනකුද සියදිවි තොරකරගෙන තිබුණේ සිනමා ක්ෂේත්‍රයෙන් එල්ලවූ එබඳු පීඩන දරාගත නොහැකිවය. එබඳු බලපෑම් නිසා හටගත් විෂාදය, බිඳීගිය පෙම් සබඳතා, වැනි සරල සිදුවීම් එවැනි මරණවලට හේතුවීම සැබවින්ම කණගාටුදායක ය. තමා රඟන චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා අතරට ගෙනයාම, කාගේත් නෙත් අඳනා කාන්දමක් ලෙස රූසපුව පවත්වාගෙන යාම මෙන්ම මෑතභාගයේදී සමාජ මාධ්‍යජාල විසින් පෞද්ගලික ජීවිතයට පවා කෙරෙන ඇඟිලි ගැසීම්ද නිසාවෙන් බොලිවුඩයේ පතාකයන් පවා අපහසුතාවයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. මේ වන විට බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන සුපිරි රංගන ශිල්පිණි, ‘දීපිකා පදුකෝන්‘ ඒ අතරින් ප්‍රමුඛය. මතුපිටින් පෙනෙන සුන්දරත්වයට වහල්ව බොලිවුඩයේ ගොදුරක් බවට පත්වීම නිසාවෙන් තමා විෂාදයෙන් පිඩාවිඳි බව ඇය පසුගියදා හෙළිකර තිබුණාය.

බොලිවුඩයට අරක්ගත් මෙම පීඩාකාරී වාතාවරණය ශ්‍රීදේවියගේ මරණයටද අනියම් ලෙස බලපාන්නට ඇති බවට ඉඟියක් මුලින්ම පළකළේ සම්මානනීය සිනමාවේදී ‘රාම් ගෝපාල් වර්මා‘ විසිනි. ඔහු ශ්‍රීදේවිය රැඟු ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට ගණනාවකම අධ්‍යක්ෂවරයා ය. බොලිවුඩයේ විසිතුරු ලෝකයෙන් බැහැරවූ සැබෑ ජීවිතයේදී ඇය සිටියේ කෙතරම් අසතුටින්ද කියා ඔහු හෙළිකර තිබුණේ සිය ෆේස්බුක් පිටුව හරහාය.

“ශ්‍රීදේවී ඇගේ ජීවිතයේදී ගොඩක් වේදනා වින්ද කෙනෙක්. ළමා වියේදීම මේ ක්ෂේත්‍රයට පයගහන්න වෙච්ච නිසා ඈට ජීවිතයේ ගොඩක් දේවල් මඟහැරුණා. ඇය මනසින් නිතරම තම ප්‍රතිරූපය ගැන වද වින්දා. අනාගතය ගැන තිබිච්ච අනියත බිය, පෞද්ගලික ජීවිතයේදී අත්විදින්නට සිදුවූ අමිහිරි සිදුවීම් නිසාත් ඇගේ හිතේ ඇතිවෙච්ච කැළැල් කවදාත් මැකුණේ නැහැ. ඒ නිසාම ඇගේ හිතේ කිසිම වෙලාවක සැනසීමක් තිබුණේ නැහැ“

වර්මා එලෙස පළකර තිබුණේ හුදෙක් තමාගේ මතයක් නොවේ. පසුගිය වසරේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකදී බොලිවුඩ් ක්‍රමයට අනුගත වන්නට සිදුවීම නිසා තමා විඳි ගැහැට ශ්‍රීදේවිය හෙළි කර තිබුණාය. නළුවන් දර්ශන තලය වෙත පැමිණෙන තුරු තමාට රූගත කිරීම් සඳහා උදෑසන සිට සවස්වන තුරු බලාහිඳීමට සිදුවීම නිසා අත්විඳ දුෂ්කරතා පිළිබඳව ඇය එහිදි විස්තර කර තිබුණාය. විශේෂයෙන්ම බොලිවුඩ් පැපරාසින් නිසා විඳින්නට සිදුවූ අපහසුතාද ඇය මහත්සේ අසහනයට පත්කොට තිබිණි. ඉන්දීය භාෂා පහක් ව්‍යක්ත ලෙස හැසිරවූ ජනකාන්ත නිළියක ලෙස වුවද ශ්‍රීදේවියගේ ඉංග්‍රීසි කතා කිරීමේ නොහැකියාව බොලිවුඩ් සඟරාවන් විසින් සමච්චලයට ලක්කළේ වරක් දෙවරක් නොවේ. එයද ඇය මානසිකව දැඩි පීඩනයකට ලක්කළ කරුණක් වූවාට සැක නැත.

බොලිවුඩයේ චිත්‍රාගාර විසින් රංගන ශිල්පිණියන්ට සලකන ආකාරයද පසුගිය දශක දෙකේදී දැඩිව විවේචනයට ලක්වූවකි. ක්ෂේත්‍රයේ සිටින්නන්ගේ දැනහැඳුනුම්කම් හෝ ඥාති සබඳතාවලින් තොරව බොලිවුඩයට පාතබන නවකයින්ට සලකනු ලබන පහත් ආකාරය පිළිබඳව දැවැන්ත කතිකාවතක් ගොඩනැඟුණේ ‘කන්ගනා රනවුට්‘ විසින් කළ ප්‍රකාශයක් නිසයි.

ඉන්දියාවේ කුඩා ගම්මානයකින් පැමිණ දෙවරක්ම ජාතික සම්මානය පාත්‍රවී බොලිවුඩ් තරුවක් ලෙස අභිෂේක ලත් කන්ගනා චෝදනා කර තිබුණේ බොලිවුඩය තමාට ‘බල්ලකුට මෙන් සැලකූ‘ බව කියමිනුයි. තමා වැනි ප්‍රබල සිනමා පවුල්වල ආරක්ෂාවට නතු නොවූ ‘පිටස්තරයන්‘ සිනමා ක්ෂේත්‍රයේදී සූරාකෑමට ලක්වන බව ඇය පවසන්නේ තමාගේම අත්දැකීම් ඇසුරිනි. නමුත් පිටස්තරයන් ලෙස පැමිණ, බොලිවුඩය දික්විජය කළ ෂාරුක් ඛාන්, අනුෂ්කා ෂර්මා, රන්වීර් සිං හා දීපිකා පදුකෝන් ඒ අතින් වාසනාවන්ත ය. ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට පත්වූ දැවැන්ත සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සේම අනාදියේ සිට පවත්නා සම්ප්‍රදායික චිත්‍රාගාරවලද සහය ඔවුන්ට කවදත් හිමි විය. ඒ හැරුණු කළ නූතන බොලිවුඩය අරා සිටින තරුණ ජවය බොලිවුඩයේ හිටපු ජනකාන්ත නළු නිළියන්ගේ දරු හෝ මුණුපුරු පරම්පරාවේ නියෝජනයකි. රිදී තිරයෙන් නිවීගිය හෝ බැසගිය සිනමා තාරකාවන්ගේ ‘තරු දරුවන්‘ වන මොවුන් බොලිවුඩයේදී හැඳින්වෙන්නේ ‘බොම්බේ යපීස්‘ යන අන්වර්ථ නමෙනි. ‘බොම්බේ යපීස්‘ කුලකයට අයත් නොවන කන්ගනා වැනි පිටස්තරයින්ගේ ඉරණම විසඳෙන්නේ දක්ෂතාව මත නොව, සිනමා අධ්‍යක්ෂවරුන් හා චිත්‍රාගාර ඔවුන් කෙරෙහි දක්වන උනන්දුව මතය.

ප්‍රසිද්ධ වේදිකාවේ තහනම් මාතෘකාවක් වන මෙබඳු ආන්දෝලනාත්මක දුෂ්කරතාවන්ට ජාත්‍යන්තරය අවධි කරවූයේ ශ්‍රීදේවියගේ අකල් මරණයයි. ඇගේ මරණයෙන් කියාදෙන්නේ බොලිවුඩයේ සැබෑ සුන්දරත්වය මතුපිටට පමණක් සීමාවූවක් නොවී ඉන් ඔබ්බට විහිදිය යුතුය යන සත්‍යතාවයි.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න