පුටින් හැඬු දා | දිනමිණ

පුටින් හැඬු දා

කාන්තාවන් සම්බන්ධයෙන් හැඬීම සාමාන්‍ය දෙයක් වුවද හැඟීම් පාලනයෙහි නිපුණයන් වූ පිරිමින් සම්බන්ධයෙන් එයවිරලය. මේ නිසා පිරිමියෙකු හැඬූ කල ඊට වැඩි අවධානයක් හිමි වේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ හඬන්නේ හෝ හැඟීම් නිරාවරණය කරන්නේ නැති පුද්ගලයකු ලෙස ප්‍රකට ලෝක නායකයෙකු වේ නම් ඒ රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් ය. බලයේ රැඳී හුන් සිය දහඅට වසරක පාලන කාලය තුළදී පුටින්ට හඬා වැළපීමට තරම් ඛේදවාචක ඕනෑතරම් තිබුණද, ඔහු ඒ කිසිවකට සිය හැඟීම් මුදා හැරියේ නැත. හෙට (18 ) පැවැත්වීමට නියමිත රුසියානු ජනපතිවරණයේදී සිව්වන වරටත් පුටින් සිය බලය තහවුරු කරගන්නවා ඇත. මේ වසර දහඅට පුරා රුසියාව පැවති ආකාරයටම හෙටින් පසුවත් පුටින්ගේ ආධිපත්‍යය යටතේ රුසියව වෙනසකින් තොරව වඩාත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇත. ඔහුට හඩන්නට තරම් හේතුවක් නොලැබෙනු ඇත.

එහෙව් පුටින් පවා ප්‍රසිද්ධියේ කඳුලු සලා හැඬු දිනයක් තිබිණි. ඒ මීට වසර දහඅටකට පෙරය. සිය ප්‍රථම ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් රුසියාවේ අන්තර්වාර ජනපති ලෙස හුන් පුටින් මුහුණ දුන් වඩාත්ම වේදනාකාරී සිදුවීම් සිය පරම මිතුරා, උපදේශකයා මෙන්ම ගුරුවරයාද වූ ‘ඇනටෝලි ෂෝබචැක්ගේ‘ අකල් මරණයයි.

ඇනටෝලි ෂෝබචැක් යනු ‘ගෝර්බචෙව්‘ හා යෙල්ට්සින් සමඟ එක්ව සෝවියට් රුසියානු සමූහාණ්ඩුව බිඳ දැමීමට පුරෝගාමී වූවෙකි. ඒ සියල්ලටමත් වඩා එකල කේ.ජී.බී. සංවිධානයේ මැදපෙළ සාමාජිකයකු ලෙස අප්‍රකටව සිටි ව්ලැදීමිර් පුටින් දේශපාලනය වෙත කැඳවාගෙන ආවේ ඔහුය. එකල පීටර්ස්බර්ග් නුවර නගරාධිපතිවරයාව සිටි ෂෝබචැක්ගේ දෙවැනියා වූයේ පුටින් ය. ඒ 1990 වකවානුවයි. පුටින් හා ෂෝබචැක් අතරවූ සමීප සම්බන්ධය මිතුදමකට වඩා ඔබ්බට ගිය අන්‍යොන්‍ය අවබෝධය මත පදනම් වූ සුහදත්වයක් විය. එම සමීපත්වය කෙතරම්ද යත් ෂෝබචැක්ට දූෂණ චෝදනා එල්ලවූ කල ඔහු, ඔහු වෙනුවෙන්ම කුලියට ගත් ගුවන්යානයකින් ආරක්ෂිතව රටින් පිට කිරීමට මුල්වූයේ ද පුටින් ය. අප්‍රකටව හුන් හිටපු කේ.ජී.බී. නිලධාරියා දේශපාලනයට ගෙන ඒමට තමා ගත් තීරණය නිවැරදි බව එදා ඇනටෝලිට වැටහෙන්නට ඇත. එවන් දෛවෝපගත තීරණයකට ඔහු පෙළඹ වූයේ කුමක්ද යන්න ඇනටෝලිගේ හදිසි මරණය සේම අදටද අබිරහසකි. ඇතැම් විට ඔහු රුසියාවේ අනාගතය පුටින් වෙතින් දුටුවා විය හැක. රුසියාවේ අනාගත ඉරණම පුටින් වෙතින් දුටු එකම තැනැත්තා ඇනටෝලි වූයේ නැත. ක්‍රෙම්ලිනයේ සෙසු බලධාරින්ද පුටින් හඳුනාගත්තේ එකල රුසියාවේ පාලනය ගෙනගිය බේබදු අලස ජනපති ‘බෝරිස් යෙල්ට්සින්‘ට කදිම විකල්පයක් ලෙසය. පුටින් අනාගත රුසියාවේ නායකයා කිරීමේ මහා සංග්‍රාමයට පිඹුරුපත් සැකසෙන්නේ එලෙස ය. පුටින්ගේ අතිජාත මිත්‍රයා වන ඇනටෝලි ෂෝබචැක් ‘කැලිනින්ග්‍රාඩ්‘ නුවර හෝටල් කාමරයකදී අබිරහස් ලෙස මියගොස් සිටියදී හමුවන්නේ, පුටින් හාපුරා කියා සිය ප්‍රථම ජනපතිවරණයට ඉදිරිපත් වන්නට ඔන්න මෙන්න තිබියදී ය.

මරණ පරීක්ෂණයට අනුව ඇනටෝලිගේ මරණයට හේතුව හෘද් අකරණියක් බව කියැවුණද, එවැන්නක සළකුණක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැත. ෂෝබචැක්ගේ බිරිය වූ ‘ලුඩ්මිලා නරුසෝවා‘ යළිත් වරක් මරණ පරීක්ෂණයක් සිදුකෙරෙව්වේ එබැවිනි. නමුත් ඉන් හෙළිවූ තොරතුරු ඇය ප්‍රසිද්ධියට පත්කළේ නැත. රුසියාවෙන් පිටත රහසිගත ස්ථානයක ආරක්ෂිතව සඟවා ඇති එම මරණ පරීක්ෂණයේ තොරතුරු අදටද ලුඩ්මිලා ඇතුළු ඇනටෝලි පවුලේ සාමාජිකයින්ට පමණක් සීමාවූ රහසකි. ඒ ගැන කතා කිරීමට ඇය මැලිවන්නේ තමාගේත් තම එකම දියණියගේත් ජිවතවලට තර්ජනයක් එල්ල වනු ඇති බවට පෙළන බිය නිසාය.

ඇනටෝලිගේ මරණය ඝාතනයක් බවත්, ඊට පුටින් වගකිව යුතු බවටත් කුමන්ත්‍රණකාරී මත පළ කරන්නන් ගෙනෙන තර්ක ලුඩ්මිලා බැහැර කරන්නේ දෙවරක් නොසිතා ය. සැමියාගේ මරණය ඝාතනයක්ද යන්නට ඇය සතුව නිශ්චිත පිළිතුරක් නැති වුවත්, ඔහු හා පුටින් අතරවු දැඩි මිත්‍රත්වය නිසා පුටින් එවැන්නකට පෙළඹෙන්නේ නැති බව ඇයට විශ්වාස ය.

ෂෝබචැක්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී සිය ප්‍රාණසම මිතුරාගේ වැන්දඹුව වැලඳගෙන දරාගත නොහැකි ශෝකයෙන් වැළපුණු පුටින් දුටු අයකුට වුවද එවැන්නක් පිළිබඳව සැක කිරීම උගහට වනු ඇත. දහඅට වසරක පාලන කාලය තුළදී පුටින් ප්‍රසිද්ධියේ කඳුළු සැළූ පළමු හා එකම අවස්ථාවද එය ය. එම කඳුලු සැලීම මවාපෑමක් නොව හදවතේ ගැඹුරුම තැනින් මතුවු වේදනාවක මානුෂීය ප්‍රකාශණයක් බව අදටද ප්‍රතික්ෂේප කළ නොහැක. ඒ කඳුලුවල සැබවින්ම ගැබ්වූයේ ප්‍රියයකුගේ සදාකාලික වියෝවකින් හටගත් විරහා වේදනාවක්ද? නැතහොත් මෙම මරණයට තමාද අනියම්ව හෝ වගකිව යුතු බවට හෘදසාක්ෂියෙන් නැඟෙන දෝශාරෝපණය නිසා හටගත වරදකාරී හැඟීමක්ද?

හෙට සිව්වන වරටත් ජනපති අසුනට තරග වදිද්දී පුටින්ට මේ යටගියාව සිහිවනවා නොඅනුමානය. ඒ ඔහුට එරෙහිව තරග වදින ප්‍රතිවාදී අපේක්ෂකයන් අටදෙනා අතර ඇනටෝලිගේ තිස්හය හැවිරිදි දියණිය ‘ෂෙනියා ෂෝබචැක්ද‘ සිටින නිසාය. කලක රූපවාහිනී නිවේදිකාවක ලෙස මහජනතාව හමුවට පැමිණි ෂෙනියා පසුකාලීනව ලෝකයා හඳුනාගත්තේ පුටින් පාලනයට එරෙහිව සිය පෑන මෙහෙයවූ විප්ලවකාරී මාධ්‍යවේදිනියක ලෙසය.

ෂෝබචැක්ගේ රුධිරයෙන් පුටින් ජනපති අසුනේ හිඳවීමට උත්සහා දැරූ ක්‍රෙම්ලිනයේ විවිධ පාර්ශ්වයන්ගේ දෑත් කිළිටිව ඇති බවට චෝදනා කරන්නන්ද බොහෝය. ‘පුටින් ව්‍යාපෘතිය‘ ඉදිරියට ගෙන යෑම කෙරෙහි උනන්දුවක් දැක්වූවන් බොහෝ සිටි බව ෂෝබචැක්‍ගේ වැන්දඹු බිරිය ද පිළිගෙන තිබේ. ක්‍රෙම්ලිනයේ බොහෝ පාර්ශ්වයන්ට එකල මෙන්ම මෙකලද පුටින් යනු බලය නමැති ‘තහනම් ගසේ‘ ඵල කරා ඔවුන් මෙහෙයවූ වාහකයෙකි. ෂෝබචැක්ගේ මරණය සම්බන්ධයෙන් ලුඩ්මිලා තවමත් මුනිවත රකින්නේ එබැවිනි.

“මෙ රටේ ජීවත් වෙනවා කියන්නේ හරිම භයානක දෙයක්. විශේෂයෙන්ම විරුද්ධවාදී මත දරන අයට. මට ඒ නිසා බයයි. ඇත්තටම බයයි. “

ෂෝබචැක්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්ණයකට ඇය පිළිතුරුදී තිබුණේ එලෙස ය.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න