විදු තරුව බැස ගියා | දිනමිණ

විදු තරුව බැස ගියා

ධම්මික සෙනෙවිරත්න

ක්වොන්ටම්වාදය ඉදිරිපත්කරමින් නූතන භෞතික විද්‍යාවේ නව පරිච්ඡේදයක් සටහන් කිරීමටද මහාචාර්ය හෝකින්ග් ක්‍රියා කළේය. ඔහුගේ පර්යේෂණ හා ඉදිරිපත් කිරීම් ඇකඩමික ක්ෂේත්‍රයේ පෙරළිකාරී ඒවා විය. කළු කුහර ගැන ඔහු කළ හෙළිදරව් කිරීමද එලෙසමය.

* 1942 ජනවාරි 8 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී උපත ලැබීය.
* 1959 දී ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ස්වභාවික විද්‍යා උපාධිය ලැබූ අතර පසුව කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබීය.
* 1963 දී ස්නායු ආබාධයකින් පෙළෙන්නට විය. ජීවත්වීමට හැකිවන්නේ දෙවසරක් බවද ප්‍රකාශ විය.
* 1974 දී කළු කුහර පිළිබඳ ඔහුගේ සුප්‍රකට සිද්ධාන්තය (හෝකින්ග් රේඩියේෂන්) ඉදිරිපත් කළේය.
* 1979 දී කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය විෂය පිළිබඳ ලුකේෂියානු මහාචාර්ය පදවියට පත්විය. එය ඊට පෙර සර් අයිසෙක් නිව්ටන් විසින් හොබවා තිබේ.
* 1988 දී අ බ්‍රී‍ෆ් හිස්ට්රි ඔෆ් ටයිම්’ කෘතිය පළ කළේය. එය පිටපත් මිලියන 10කට වඩා අලෙවි විණි.
* 1990 ගණන්වල අග භාගයේදී ඔහු වෙත නයිට් පදවියක් පිරිනමා ඇති බව වාර්තා විය. එහෙත් , පසුව අනාවරණය වූයේ විද්‍යා ක්ෂේත්‍රය සඳහා රජය සපයන අරමුදල් පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගනිමින් ඔහු එය ආපසු භාරදී ඇති බවය.
* 2018 මාර්තු 14 වැනිදා එක්සත් රාජධානි‍යේ කේම්බ්‍රිජ්හිදී මියගියේය.

විශ්වය ගැන අපේ දැක්ම වෙනස් කළ තනි මිනිසකු වී නම් ඒ විද්‍යාඥ ‍ස්ටෙපන් හෝකින්ග් බව ඇතැම් අයගේ අදහසය. ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසු ලොව බිහි වූ අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයා ලෙස කීර්තියට පත් බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය ස්ටෙපන් හෝකින්ග් ඉකුත් බදාදා වසර 76ක් වූ සිය ජීවිත ගමන නිමා කළේය. කේම්බ්‍රිජ්හි පිහිටි නිවසේදී ඔහු සාමකාමීව දෑස පියාගත් බව වාර්තා විය.

වයස අවුරුදු 22දී ඔහු වෝටර් නියුරෝන ආබාධය නම් විරළ ස්නායුමය රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සොයාගත් අතර තවත් ආයුෂ ඇත්තේ දෙවසරකට බව ප්‍රකාශ විණි. කෙසේවුවද එතැන් පටන් අඩසියවසකටත් වැඩි කලක් ජීවත් වීමට ඔහුට වාසනාව ලැබිණි. එහෙත්, ඔහුගේ ජීවිතය රෝද පුටුවක් මත ගෙවා දැමීමට සිදුවිය. කතා කිරීමට හැකියාව ලැබුණේ පරිගණකයක් ආධාරයෙනි. සිය පියාගේ අභාවය පිළිබඳ ලොවට දැනුම් දෙමින් ලුසී, රොබට් හා ටිම් දරුවන් ප්‍රකාශ කර තිබුණේ ඔහු විශිෂ්ට ගනයේ විද්‍යාඥයකු වූ බව හා ඔහු ලොවට දායාද කොටගිය උරුමය තවත් බොහෝ කාලයක් පවතිනු ඇති බවය.

හෝකින්ග් සිය විශිෂ්ටත්වය හේතුකොටගෙන ලෝකයට ආදර්ශයක් වූවා සේම ඔහුගේ ඇසුර බො‍හෝ දෙනා ප්‍රිය කළ කාරණයක්ද විය. සමීපතමයන් සමඟ ඔහු විහිළු තහළුවෙන් ගත කිරීමට පුරුදු වී සිටි බැවිනි. හෝකින්ග්ගේ ජනප්‍රියත්වය ඇකඩමික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූවකි. The Simpsons, Red Dwarf The Big Bang Theory වැනි රූපවාහිනි වැඩසටහන්වල ඔහු පෙනී සිටියේය. විද්‍යාඥයාගේ අභාවයෙන් කලා ලෝකයද කම්පාවට පත්ව ඇති බැව් වරෙක සිනමාවේදී ඔහුගේ චරිතයට පණ පෙවූ ඔස්කාර් සම්මානලාභී රංග ශිල්පි එඩී රෙඩ්මයන් වැනි අයගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. විද්‍යාඥ ස්ටෙපන් හෝකින්ග් දැඩි අධිෂ්ඨානශිලී චරිතයක් ලෙසද හඳුනාගෙන තිබේ. ඔහු සිය රෝගී තත්ත්වයට යටත් වූයේ නැත.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, හෝකින්ග්ගේ අභාවය පිළිබඳ ශෝකය වෙනුවෙන් පවසා ඇත්තේ ඔහු අතිවිශිෂ්ට හා අසාමාන්‍ය මනසකින් යුතු අයකු වූ බවය. අපේ කාලයේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන් අතරට ඔහුද නිතැතින්ම එක්වන බව ඇය පවසා තිබිණි. කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබින් අභ්‍යවකාශ හා විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඔහුට ඇති හැකියාව විශේෂයෙන් අගය කර ඇත. අන්තර්ජාල වෙබ් අඩවි ලොවට හඳුන්වාදුන් සර් ටිම් බානස් ලී පවසා සිටියේ ඔහු විශ්මයජනක නිර්මාණයක් බඳු වූ බවය.

හෝකින්ග්ට චීනයේ ද සුවිසල් පිළිගැනීමක් තිබිණි. ඔහුගේ A Brief History of Time කෘතියේ ඉංග්‍රීසි සංස්කරණයට පසු වැඩියෙන්ම අලෙවි වී ඇත්තේ චීන සංස්කරණයයි. බො‍හෝ චීන ජාතිකයන් මේ කෘතිය කියවා ඇති බව පැවසේ. චීන ජාතිකයන් ගැන හෝකින්ග් තුළ පැවැතියේ ද බෙහෙවින් මිත්‍රශීලී හැඟීමකි. 2006 වර්ෂයේදී සිදුකළ ඔහුගේ චීන සංචාරයට සිතාගැනීමටත් නොහැකි තරමේ ප්‍රසිද්ධියක් මෙන්ම පිළිගැනීමක් ලැබිණි. චීනයේ ඔහුට තිබුණේ සුපිරි තරුවකට ඇති පිළිගැනීමය. සිය අනාගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චීන රජයද හෝකින්ග්ගේ පර්යේෂණ ගැන බෙහෙවින් උනන්දු විය. සිය අවසන් චීන සංචාරයේදී හෝකින්ගේ චීනයට ඇති කැමැත්ත වචනවලට පෙරළා තිබුණේ, ‘මං චීන සංස්කෘතියට කැමැතියි. ඒ වගේම තමයි චීන කෑම සහ චීන කාන්තාවන්ටත්... ඔවුන් හරිම ලස්සනයි.’ යනුවෙනි. එමෙන්ම චීන ජාතිකයන් ඉතාමත් දක්ෂ බවද, වෙහෙස වී වැඩකිරීමට රුසියන් බවද, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ අත්කර ගැනීමට චීනයට හැකිවී ඇති බවද ඔහු පැවසුවේ සතුටිනි.

දක්ෂ චීන යොවුන් ගායන ශිල්පියකු වූ වැංග් ජුන්කායිගේ ගීතවලටද හෝකින්ග් ප්‍රිය කළේය. අන්තර්ජාලය ඔස්සේ ඔවුන් අතර සංවාද ද සිදුවිය. මහාචාර්ය හෝකින්ග්ගේ අභාවය පිළිබඳ පුවත සැළවීමත් සමඟ වැංග් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක දැක්වුණේ. ‘ඔබ සඳහටම මේ විශ්වයට සහ තාරකාවලට අයිතියි. ඔබේ ඉගැන්වීම් මගේ හදවතේ’ තැන්පත්ව තිබෙනු ඇති...’ යනුවෙනි.

කෙසේ වුවද, කෘත්‍රිම බුද්ධියේ (AI) නැඟීම ගැන මෑතකදී ඔහු චීනයට අනතුරු අඟව‍ා තිබුණේ අවවාදාත්මක ස්වරූපයෙනි. මේ ගැන චීනය බෙහෙවින් සැළකිලිමත් විය යුතු බව ඔහුගේ අදහසවිය.

විශේෂයෙන් චීනයේ නව යොවුන් හා තරුණ ප්‍රජාව ගැන ඔහු තුළ පැවැතියේ සුබවාදී අපේක්ෂාවකි. ලෝකය වෙනස් කිරීමට ඔවුන්ට ඇති හැකියාව ගැන ඔහු විශ්වාසය තබා සිටි බව පැහැදිලි වේ. Weibo ඔස්සේ ඔහු වරින්වර සෘජුවම ඔවුන් ඇමතීමට පවා කටයුතු කළේ එබැවින් විය යුතුය.

හෝකින්ග්ස් ගැන චීනයේ පිළිගැනීම එසේ වනවිට ටෙක්සාස්හි රිපබ්ලිකන් සෙනෙට් සභිකයකු වන බ්‍රිෂ්කෝ කේන් මේ කීර්තිමත් විද්‍යාඥයාගේ අභාවයෙන් පසු තැබූ ට්විටර් පණිවිඩයක සටහන් වූයේ මෙවැන්නකි. ‘ විශ්වය ඇත්තටම සෑදී ඇත්තේ කෙසේදැයි ස්ටෙපන් හෝකින්ග් දැන් දන්නවා. ඔහුගේ පවුලේ අයට මගේ ශෝකය.’ මේ පණිවිඩය මඟින් හෝකින්ග්ට අවමානයක් කළ බවක් හැඟවේ යැයි පැවසු බොහෝ දෙනා ඊට සිය විරෝධය පළකර තිබිණි. එය විශාල ආන්දෝලනයක්ද ඇති කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකවූයේ, හෝකින්ග් යනු අග්‍රගණ්‍ය විද්‍යාඥයකු මෙන්ම බුද්ධිමතකු ද වූ බව පවසමිනි. ඔහුගේ පුරෝගාමී මෙහෙවර ලෝකය වඩා යහපත් තැනක් කිරීමට ඉවහල් වී ඇති බවද අගමැති මෝදි පවසා තිබිණි. මහාචාර්ය හෝකින්ග්ගේ අලෙවි වාර්තා තැබූ A Brief History of Time කෘතිය ඇසුරින් එරල් ටොරිස් වාර්තා චිත්‍රපටයක්ද නිර්මාණය කර තිබේ. හෝකින්ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය වූ The Theory of Everything සිනමාපටය ඔස්කාර් සම්මානයට පවා ලක්විය.

ක්වොන්ටම්වාදය ඉදිරිපත්කරමින් නූතන භෞතික විද්‍යාවේ නව පරිච්ඡේදයක් සටහන් කිරීමටද මහාචාර්ය හෝකින්ග්ස් ක්‍රියා කළේය. ඔහුගේ පර්යේෂණ හා ඉදිරිපත් කිරීම් ඇකඩමික ක්ෂේත්‍රයේ පෙරළිකාරී ඒවාවිය. කළු කුහර ගැන ඔහු කළ හෙළිදරව් කිරීමද එලෙසමය. මේ පිළිබඳ සිය පර්යේෂණාත්මක මත දැක්වීම් පළමුවරට ඔහු ඉදිරිපත් කළේ 1974 දීය. මහාචාර්ය හෝකින්ග් ඔහු සිය 60 වෙනි ඡන්ම දිනය සැමරුවේ උණුසුම් වායු බැලුනයකින් ගමන් කරමිනි. ඊට ටික දිනකට පසු කේම්බ්‍රිජ් සරසවියේදී සිය අති නවීන රෝද පුටුවෙන් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වීමෙන් පාදයක්ද බිඳී ගියේය. එහෙත්, සිය 65 වෙනි ඡන්ම දිනය වැඩිදියුණු කරන ලද ශුන්‍ය ගුරුත්වයකින් යුතු බෝයිං 727 යානයක් තුළ සිට සැමරීය. අභ්‍යවකාශ චාරිකා ගැනද ඔහුට අපේක්ෂාවක් තිබිණි. මෙය ඊට පෙර සූදානමක් වුවාද විය හැකියි. මෙවැනි අවදානම් සහගත දේ ගැන ඔහු තුළ බියක් නොතිබූ සෙයකි.

ඔහු දෛවයට යටපත් කළ හැකි බවක්ද පෙනුණේ නැත. කායික දුර්වලතාවලින් යුතුවුවද කිසිවකුත් ඉන් සීමා නොවිය යුතු බව පෙන්වීමට තමාට වුවමනා කළ බව ඔහු වරින්වර පවසා තිබිණි. ඇතැම්විට මේ නිසාම ඔහු අභියෝගාත්මක අවස්ථාවන්ට නොපැකිලිව ඉදිරිපත් විය. කුඩා කලදී ද ත්‍රාසජනක ක්‍රියාවල යෙදීමට ඔහු රුචිකත්වයක් දැක්වූ බව හෝකින්ග්ගේ මව පසු කලෙක පවසා තිබේ. එමෙන්ම ඔහු ලස්සන දෑ ප්‍රිය කළ අයකුද විය. ලස්සනට ඇති මේ කැමැත්ත රෝද පුටුව මත ගෙවාදැමූ අවදියේ පවා ඔහුගෙන් ගිලිහී ගියේ නැත.

මේ කීර්තිමත් භෞතික විද්‍යාඥයාට නොබෙල් ත්‍යාගය පරිනැමුණේ නැත. අනාගතයේදී පවා ලෝකයට මඟ හැර හෝ අමතක කර යා නොහැකි ඔහුගේ සිද්ධාන්ත, සොයා ගැනීම් හා පර්යේෂණ නොබෙල් කමිටුවට මඟ හැරුණු නමුදු ඔහු ඉතිරි කොට ගිය බුද්ධිමය දායාදවල ඵලය ඔහු වෙනුවෙන් පිරිනමන වටිනාම ත්‍යාග වනු ඇත.

මහාචාර්ය ස්ටෙපන් හෝකින්ග් යනු ඇතැමෙකුට අනුව, විශ්වයේ සොඳුරු සංචාරකයාය. ඔහුගේ නික්ම යාමත් සමඟ එකී ගවේෂණ චාරිකා නිමාවට පත්වුවද ඔහු ගොඩනැඟු දැනුම තවත් බොහෝ කාලයක් යන තුරු ඔහු ගැන මතකය ජීවමාන කරනු නිසැකය.

නව අදහස දක්වන්න