සනත් නිශාන්ත හා සොහොයුරු රක්ෂිත බන්ධනාගාරට | දිනමිණ

සනත් නිශාන්ත හා සොහොයුරු රක්ෂිත බන්ධනාගාරට

ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත හා ඔහුගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන දෙදෙනාගේ ඇප අවලංගු කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු එම් .සි.බි.එස්. මොරායස් මහතා ඊයේ (19 ) නියෝග කළේය .

ඒ අනුව මේ දෙදෙනා මේ වසරේ මැයි මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කැරිණි .

ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම මේ දෙදෙනාගේ ඇප අවලංගු කිරීමට ප්‍රධාන හේතුව බව මේ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තරංග දිසානායක මහතා පැවසිය .

සෑම ඉරුදිනකම පෙරවරු නවයත් දොළහත් අතර හලාවත පොලිසියේ පෙනීසිටින ලෙස මේ දෙපලට ඇප ලබා දෙමින් මිට පෙර හලාවත මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබී ඇත.

පසුගිය කාලයේ මේ දෙපලම මේ ඇප කොන්දේසිය උල්ලංඝනය කර ඇති බව හලාවත පොලිසිය විසින් ඊයේ (19 ) හලාවත මහාධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව හලාවත මහාධිකරණ විනිසුරු වරයා මේ නියෝගය නිකුත් කර ඇත .

2008 වසරේ නොවැම්බර් මස 24 වන දින එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වරයාව සිටි ධනසේන සුරසිංහ මහතාට පහර දීම , රාජකාරියට බාධා කිරීම ,සාපරාධි බලහත්කාරය ,නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම මේ දෙදෙනාට විරුද්ධව එල්ලවූ චෝදනා විණි .

 

(ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ)


නව අදහස දක්වන්න

Or log in with...