කොළඹ කුණු | දිනමිණ

කොළඹ කුණු

කොළඹ කුණු ගැටලුව යළිත් කරළියට පැමිණ තිබේ. දේශපාලකයන් විවිධ කතා කියන්නට පුළුවන. නිලධාරින් තවත් කතා කියන්නට පුළුවන. නාගරික වැසියන්ගේ විවේචන උත්සන්න වෙන්නටත් පුළුවන. ඒ කොයි හැටි වෙතත් තව දින කිහිපයක් මේ ප්‍රශ්නය ඇදී ගියහොත් නගරය ම ගඳ ගසන්නට පුළුවන. කොළඹ වැඩ නැවතීමට වුව බැරි නැත. කොළඹ නැවතීම යනු රට ම නැවතීමකි. අප විසින් කරන ලද නිරීක්ෂණයක දී පෙනී ගියේ; මරදාන, දෙමටගොඩ, මාලිගාකන්ද ආදී ප්‍රදේශ කිහිපයක තත්ත්වය තරමක් නරක අතට හැරෙමින් පවතින බව ය. එම ප්‍රදේශවල තැන තැන කුණු කඳු ගොඩගැසෙන්නට පටන්ගෙන තිබේ.

මේ සිද්ධිය පසුපස තවත් කතාන්දරයක් පවතී. එම කතාන්දරයට අනුව කුණු ප්‍රශ්නයේ චෝදනාව එල්ලවන්නේ නාගරික වැසියන් වෙත ය. නිවෙස්වලින් හා ආයතනවලින් බැහැර කරන කසළ වර්ගීකරණය කළ යුතු යැයි නියමයක් පවතී. ආයතන බොහෝ විට මේ කාර්යය ඉටුකරන්නේ වුව නිවෙස්වලින් එය ඉටු නොවෙයි. කසළ බැහැර කරන අංගණය ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් වන අතර වර්ගීකරණය නොකළ කසළ එහි භාර ගනු නොලැබේ. වර්ගීකරණය නොකළ කසළ සහිත ‍ලොරි ආපසු හරවා එවනු ලැබේ. මේ අනුව නගර සභාවට කළ හැක්කේ වර්ගීකරණය කළ කුණු පමණක් රැගෙන යෑම ය.

කුණු ප්‍රශ්නයේදී පමණක් නො ව; බොහෝ ප්‍රශ්නවලදී විනයගරුකව ශික්ෂණයකින් කටයුතු කිරීමේ පුරුද්ද වැඩි දෙනෙකුට නැත. නගර සභාව මේ සම්බන්ධයෙන් නිවේදන ගණනාවක් නිකුත් කර ඇතත්; ජනතාව ඒවා ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. ජපානය වැනි රටක ජනතාව ආපදාවකදී ප්‍රයෝජනයට ගත හැකි ආම්පන්න පවා තම නිවසේ එල්ලා තබයි. ඔවුන්ගේ කසළ බැහැර කිරීම ඉතා විධිමත් ය. කුණු සාක්කුවේ දමාගෙන ගොස් නියමිත බඳුනට දැමීම ජපන් ජනයාගේ හොඳ ම පුරුද්දකි. කසළ කළමනාකරණය අතින් ලොව ආදර්ශවත් රාජ්‍යයක් ලෙස ජපානය සලකයි.

මීට දසක දෙක තුනකට පෙර රටේ කොයි තැනකින්වත් කුණු ප්‍රශ්නයක් මතු වූයේ නැත. එදා කසළ ප්‍රමාණය මේ තරම් ඉහළට ගියේ නැත. ජනගහනය අධික වීම හා නාගරීකරණය කසළ ප්‍රශ්නය ඇතිවීමට ප්‍රධාන හේතුව බව කියති. නාගරීකරණය නැවැත්විය නො හැකි ය. එය සංවර්ධනයේ ලක්ෂණයකි. ජනගහනයේ වර්ධනය ද නැවැත්විය නො හැකි ය. කළ යුත්තේ කසළ කළමනාකරණය කොට ප්‍රති-නිෂ්පාදනයක් ඇති කිරීම ය. ලෝකයේ දියුණු රටවල් එසේ කළත් තව ම අප එතැනට ගොස් නැත. ශ්‍රී ලංකාව පසු වන්නේ කසළ කළමනාකරණයෙහි ළදරු අවස්ථාවක යැයි කියන්නට පුළුළුන.

දිනකට කොළඹට එකතු වන කුණු ප්‍රමාණය අති විශාල ය. මේ කුණුවලින් බොහොමයක හිමිකරුවන් වන්නේ නගරයට දිනපතා සංක්‍රමණය වන ජනතාව ය. ඔවුන් මේ කටයුත්ත සම්බන්ධයෙන් සංවේදී නොවන බැවින් ගැටලු ගණනාවක් පැන නැගී ඇත. ප්‍රසිද්ධ ස්ථානවල කුණු දැමීම තහනම් වුව දිනපතාම ප්‍රසිද්ධ වීථිවල කුණු ගොඩ ගැසෙයි. නගර සභාව ඒවා ශුද්ධ කළ යුතු ය. මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණදීමට නම්; පාර්ශ්ව ගණනාවක සහයෝගය අවශ්‍ය වේ. එක පාර්ශ්වයක් වන්නේ පළාත් පාලන ආයතනයන් ය. අනෙක් පාර්ශ්වය රාජ්‍ය නිලධාරින් ය. තවත් පාර්ශ්වයක් වන්නේ ජනතාව යි. මේ පාර්ශ්ව තුනම කුණු ප්‍රශ්නයේදී නිවැරැදි තැනක නැත.

දින ගණනාවක සිට ඔඩු දුවන කොළඹ කුණු ප්‍රශ්නයට තවත් හේතුසාධක ඇති බව ද දැනගන්නට ලැබේ. එක හේතුවක් ලෙස සැලැකිය හැක්කේ නිලධාරියකුගේ ස්ථාන මාරුවකි. අනෙක් හේතුව ලෙස සැලැකිය හැක්කේ එකිනෙක ආයතන අතර පවත්නා කඹ ඇදීම් ය. නිලධාරියකුගේ ස්ථාන මාරුවක් නිසා ආයතනයක වැඩ අක්‍රීය වන්නේ නම්; එය පුදුම ආයතනයක් විය යුතු ය. ඒවා නිවැරැදි කිරීම පාලකයන්ගේ වගකීමකි. එකිනෙක ආයතන පන්දුව පාස් කරමින් සිටින බව නම්; දැකගන්නට ලැබේ. මේවා නිවැරැදි කිරීමට කොළඹ මහ නගර සභාව සක්‍රීය ‍කළ යුතු ය.

ඉදිරියට එන වැසි සමයත් සමඟ කොළඹ කුණු ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වන්නට පුළුවන. වතු නිවාස ආශ්‍රිතව කුණු ගොඩ ගැසෙමින් පවතී. ප්‍රධාන වීථි ගණනාවක ද කුණු ගොඩගැසෙන්නට පටන්ගෙන තිබේ. දින කිහිපයක් පරණ වුවහොත් කුණුවලින් පණුවෝ නිකුත් වෙති. මෙබඳු තත්ත්වයක් ඇති වුවහොත් වතු ජනාවාසවල පවුල් බරපතළ දුෂ්කරතාවකට මුහුණ දෙනු ඇත. වතු ජනාවාසවල භාවිතයට ඇත්තේ පොදු වැසිකිළි, පොදු පයිප්ප ආදියයි. මේවා අසල පණුවන් ව්‍යාප්ත වුවහොත් සිදුවන අකරතැබ්බය අමුතුවෙන් කිව යුතු නැත. දැනට ම ප්‍රදේශ ගණනාවක දුර්ගන්ධය පැතිර යන්නට පටන්ගෙන තිබේ.

කසළ පිළිබඳ ගැටලුවේ වගවීම භාරගත යුත්තේ පළාත් පාලන අමාත්‍යාංශය හා පළාත් පාලන ආයතන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්වී ඇත. වර්ගීකරණය කළ කුණු කසළ භාර ගැනීමට මුතුරාජවෙල අංගණය සූදානම් බව ද ප්‍රකාශයට පත්වී ඇත. එම අංගනය අයත් වන්නේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට ය. දැනට පවතින තත්ත්වයට අනුව ජනතාව කුණු වර්ගීකරණය කොට නගර සභාවට භාර දිය යුතු ය. නගර සභාව එය අංගණය වෙත රැගෙන යා යුතු ය. එහෙත් ජනතාව කුණු වර්ගීකරණය කොට භාරදෙන්නේ නැත. නගර සභාවට එය වර්ගීකරණය කරමින් සිටීමට කාලයක් ද නැත. වර්ගීකරණය කළ කසළ පවා නගර සභා අත්හරින අවස්ථා ඇති බවට ද චෝදනා තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටවල සමාජ ගැටලු නිරාකරණය සඳහා දැඩි නීති රීති අනුගමනය කළ යුතු යැයි මතයක් පවතී. නිදහස හා ස්වාධීනතාව ඇතැම්විට අපේ සමාජ කණ්ඩායම්වලට ගැළපෙන්නේ නැත. නීතිය තදින් ම ක්‍රියාත්මක වූ අවස්ථාවල ඇතැම් ගැටලු නිරාකරණය වී තිබේ. කොළඹ හදන්නට නම්; නීතිය අතට ගත යුතු යැයි බොහෝ දෙනා කියා සිටිති. එය බොරුවක් වන්නටත් බැරි ය. කුමක් වුව කොළඹ කුණු යනු වහා විසැඳිය යුතු ගැටලුවෙකි. කල්මරන තරමට ද, කඹ අදින තරමට ද අපට සිදුවන පාඩුව බලවත් විය හැකි ය. අවසන් ලෙස කිව හැක්කේ කොළඹ කුණු යනු ජාතික ගැටලුවක් බව ය.

 


නව අදහස දක්වන්න

Or log in with...