එජාපයේ නව නිලධාරී මණ්ඩලය 31දාට පෙර පත් කරනවා | දිනමිණ

එජාපයේ නව නිලධාරී මණ්ඩලය 31දාට පෙර පත් කරනවා

ඇමැති සාගල රත්නායක

එක්සත් ජාතික පක්ෂයේ 2018 වර්ෂයේ නව නිලධාරී මණ්ඩලය මාර්තු 31 වැනිදා වන විට පත් කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ ඌරුබොක්ක අමංගිරිය පාලම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ඇමැතියවරයා මෙසේ ද කීය.

පක්ෂයේ 2018 වර්ෂය සඳහා නිලතල දරන අය දැන් පත්කරන්න නියමිතව තිබෙනවා. මැතිවරණය නිසා ප්‍රමාද වුණා. මං හිතන්නේ මාර්තු 31 වන විට ඒ කටයුතු අවසන් කරන්න තමයි පක්ෂය තීන්දු කරලා තියෙන්නේ. ඒ සඳහා අපි දැනටමත් සාකච්ඡා කීපයක් කරලා තියෙනවා. අග්‍රාමාත්‍යතුමා එක කමිටුවක් පත්කළා රජයේ ප්‍රතිපත්ති පිළිබඳව තවදුරටත් කරුණු අවබෝධ කරගෙන අගමැතිතුමාට යෝජනා ඉදිරිපත් කරන්න. පක්ෂෙට යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුවේ සභාපති හිටියේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා.

රුවන් විජේවර්ධන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තව කමිටුවක් කටයුතු කරනවා. පක්ෂයේ අදහස් පිළිබඳව. අපි ඉදිරියට යන්න ඕන ආකාරය පිළිබඳව. ඉතිං, මේ කමිටු දෙකේම සාකච්ඡාවන් කීපයක් අගමැතිතුමා එක්ක කරලා තියෙනවා. මම එක කමිටුවක ඉන්නවා. ඒ ගැන තමයි මම වැඩිපුර දන්නේ. අනිත් කමිටුවත් නමුත්, ඒ වගේම අගමැතිතුමා එක්ක කතා කරලා තියෙනවා.

තව කමිටුවක් තිබ්බා පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ. ගමට යද්දී ජනතාව කියන ප්‍රශ්න, එතකොට රජයේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී තියෙන ප්‍රශ්න. නවක මන්ත්‍රීවරු ලෙස ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවාද ?. මේ හැමදෙයක් ගැනම ඒ කමිටුවෙන් කතා කරලා තිබ්බා.

මේ කමිටු කීපයේම එන අදහස් පක්ෂයේ ඉහළ නායකයෝ, අගමැතිතුමා එක්ක කතාකරගෙන අපේ වැඩසටහන ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. 2020 මැතිවරණය ඉලක්ක කරගෙන පක්ෂයක් හැටියට දියුණු වෙන්නත්, අපි රට ගොඩනගනවා, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා කියපු ඒ විශ්වාසය ජනතාවට ක්‍රියාත්මක කරදීම වෙනුවෙනුත් වැඩකරනවා.

මේ මැතිවරණය ඉවර වුණා විතරයි. මැතිවරණ කාලේදී හැමෝම තම තමන්ගේ දේශපාලන අදහස් දැක්වූවා. විශේෂයෙන් පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අයගේ අදහස්, පොහොට්ටුව කියන ඒ අලුත් පක්ෂය ඒ අයගේ අදහස් වගේම අපේ අදහස් අපි ඇවිල්ලා දැක්වුවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ අයගේ අදහස් දැක්වුවා. දේශපාලන වශයෙන් බෙදුණා ගම. මැතිවරණ කාලේදී විශාල හැලහැප්පිලි වුණේ නෑ, අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙන්න පටන්ගත්තා. නමුත්, ගමේ දේශපාලනය අදහස් වශයෙනුත් බෙදිලා හිටියා. අර පක්ෂ වගේම. ඒත් අද ඒක ඉවරයි. ඒ මැතිවරණය ඉවරයි. දැන් තියෙන්නේ ඒ පත්වෙච්ච අයටත් රජයත් එක්ක වැඩකරලා මේ සංවර්ධනය මේ ගමට ඒන එකේ වගකීම. හැමෝම ඉල්ලුවේ ජනතාවට වැඩකරන්න. දැන් වැඩකරන්න ජනතාව බලය දුන්නම වැඩකරන්න ඕන. මේ කාලෙත් ගහගන්න බැහැ. වෙන වෙන අදහස් දරන්න බැහැ. එක අදහසයි දරන්න පුළුවන්. ගම දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන අදහස තමයි දරන්න ඕන. තමුන්නාන්සේලා ඒකට වැඩකරන්න ඕන. ඒකට අවශ්‍ය උදව් උපකාර රජයෙන් ගන්නවා යැයි ඇමැතිවරයා පැවසීය.

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

 

නව අදහස දක්වන්න