වියළි කලාපය තෙත් කරන මොරගහකන්ද | දිනමිණ

වියළි කලාපය තෙත් කරන මොරගහකන්ද

ශ්‍රී ලාංකේය වාරි ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් වියළි කලාපීය ජන ජීවිතයේ කඳුළු සඳහටම පිසහළ මහා වාරි විස්මිතය වන මොරගහකන්ද ජලාශයේ ප්‍රතිලාභ අද වනවිට අප මාතෘභූමියට ලැබෙමින් පවතී. රජරට ප්‍රදේශයේ ලක්ෂ දහයකට ආසන්න ප්‍රතිලාභීන්ට මේ මඟින් සෘජු ප්‍රතිලාභ හිමිව තිබෙන අතර, හෙක්ටයාර් 94, 500ක භූමිභාගයක් කිසිඳු බාධවකින් තොරව යල හා මහ දෙකන්නයේම වගා කිරීමට හැකිවෙයි. මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියෙන් දියවර සපයන යෝජිත ඉහළ ඇලහැර ව්‍යාපෘතිය මඟින් හෙක්ටයාර 82,000ක් අස්වද්දන අතර, වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අස්වද්දන භූමි ප්‍රමාණයක හෙක්ටයාර් 12,500කි.

මහවැලි මහ සැලැස්මට ඇතුළත් පංච මහා ජලාශ අතුරින් මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සුවිශේෂී හේතුවක් මත ශ්‍රී ලාංකික කෘෂි කර්මාන්තයේ හඳමඩල බඳු වියළි කලාපයට මහා ජල නිධානයක් බවට පත්ව තිබෙන අතර, කෂිකාර්මික සංවර්ධනයට සමගාමීව අනුරාධපුරය, පොලොන්නරුව, මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි ජනතාවගේ ජීවනෝපාය සරිකර ගැනීම සඳහා තිරසාරව වසර පුරා වාරි ජලය සැපයීමත්, පිරිසිදු පානීය ජලය ලබාදීමත් මේ ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරයි. වාරි ජලය සැපයීමේ දැවැන්ත මෙහෙයක් ඉටුකරන මොරගහකන්ද ජලාශය ඉදිකිරීම හේතුවෙන් මේ වනවිට ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය, පරාක්‍රම සමූද්‍රය, කන්තලේ වැව් සඳහා එකවර ජලය නිකුත් කරන්නට හැකියාව ලැබී තිබෙන අතර, මේ වනවිට යල හා මහ දෙකන්නයට ගොවිබිම් සාරවත් කර ගැනීම සඳහා ජලය නිකුත් කිරීමට හැකි පරිදි එම ජලාශ පිරී පවතී. ඒ අනුව ඒ ඒ ජලාශවලින් හා වැව්වලින් ජලය ලබාගන්නා ගොවි ජනතාවට කිසිඳු බියකින් තොරව ජලය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසී තිබේ.

මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම මේ වසරේ ජනවාරි මස 8වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, එදින පෙරවරු 11.20ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ සුරතින් මංගල දියවර නිකුත් කරමින් මේ සුවිශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට තිළිණ කෙරිණි. ඒ අනුව සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිමකරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් භාරදීම ද එහි දී සිදුවිය.

මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 460,000ක් පමණ වන අතර, අද වන විට අක්කර අඩි 330,000ක පමණ ජල ධාරිතාවක් පවතී. මේ ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මේ වසර අවසානයේ දී නිම කිරීමට අපේක්ෂා කෙරෙන අතර, දෙවැනි අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමට කටයුතු කරයි. ඊට අමතරව තෙවැනි අදියර ලෙස ඉරනමඩුව නගරයට ජලය මුදාහැරීම සඳහා කටයුතු සැලසුම් කරමින් පවතී. කෙසේ වෙතත් මේ සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් කෝටි 18,100ක් වන අතර, මේ ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි. මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා මොරගහකන්ද ජලාශයේ වත්මන් තත්ත්වය මෙන්ම එම ජලාශයෙන් ජලය ලබාගන්නා අනෙකුත් ජලාශයන්හි අද පවතින තත්ත්වය නිරීක්ෂණය පසුගිය දා සිදුකෙරුණු අතර, ගොවිබිම් සරු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන වාරි ජලය යල හා මහ දෙකන්නයට සැපයීමේ හැකියාව ඇති බව එහි දී දැක ගන්නට හැකි විය.

අද වනවිට මොරගහකන්ද ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය මෙන්ම එයින් ලැබෙන ප්‍රයෝජන සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළෙමු.

මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී. බී. විජයරත්න මහතා-

‘මොරගහකන්ද වේල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා. මේ වසරේ ජනවාරි මස 8 වැනිදා වනවිට උපරිම ජල මට්ටමට ළඟා වූ පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළා. ඒ අනුව මේ වනවිට පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි වගා කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කරනවා. එදා සිට මේ වන විට අවශ්‍ය තරම් ජලය නිකුත් කරමින් සිටිනවා. ඒ ජලය නිකුත් කරන්නෙත් අපේ බලාගාරවල විදුලිය නිපදවමින්. මේ වනවිට සියයට 72ක පමණ ජල ප්‍රමාණයක් ජලාශයේ පවතිනවා. ඇලහැර ඇළ ඉදිකිරීම් කටයුතු මේ වනවිට කරගෙන යනවා. 2023 වනවිට එහි ඉදිකිරීම් අවසන් කරන්න හැකිවෙයි. කිලෝමීටර් 26ක පමණ උමඟක් තිබෙනවා. මේ ජලාශයට සමඟාමීව කළුගඟ වේල්ලේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට කරගෙන යනවා. එහි ඉදිකිරීම් කටයුතු සියයට 80ක් පමණ මේ වනවිට අවසන්කර තිබෙනවා’.

මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී පී. ජී. දයානන්ද මහතා-

‘මොරගහකන්ද ජලාශයේ ප්‍රතිලාභ අද වනවිට මේ රටට ලැබෙමින් තිබෙනවා. වියළි කාලපීය රජරට වැව් තිබුණ ද ඊට අවශ්‍ය ජලය ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසාම මොරගහකන්ද ජලාශයේ අවශ්‍යතාව තිබුණා. ජනතාවගෙන් ලොකු ඉල්ලීම් තිබුණා. ඔවුන් උද්ඝෝෂණ පවා සිදුකළා. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයත් ඒ ජනතාවට තිබෙනවා. මේ සියල්ලටම මොරගහකන්ද විශාල ශක්තියක් වී තිබෙනවා. දශක පහකට පමණ පෙර මෙය ආරම්භ කරන්නට තිබුණත් ප්‍රමාද වුණා. වියළි කලාපීය ජනතාවගේ දුක්ගැනවිලිවලට විසඳුම් දෙන්න දශක පහක් පමණ බලා ඉන්න සිදුවුණා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශාල කාර්යභාරයක් ඉටුව තිබෙනවා. මේ මඟින් අපි වාරි පද්ධති හතරක් අපේක්ෂා කරනවා. මොරගහකන්ද සහ කළුගඟ ජලාශ දෙක ඉදිකරන්න ගම්මාන 24ක් යට වුණා. ඒවායේ සිටි පවුල් 3,000ක් කළු ගඟ පහළ නිම්නයේ පදිංචි කර තිබෙනවා. ඒ අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් වැව් 16ක් ඉදිකර තිබෙනවා. ඊට වාරි පද්ධති සකස් කරගෙන යනවා.

ඒ අනුව මේ සියලු ජලාශයෙන්ගෙන් ජලය නිකුත් කරනවිට යල මහ දෙකන්නයේම වගා කරන්න පුළුවන්. වෙනදාට කවුඩුල්ල, ගිරිතලේ, මින්නේරිය, කන්තලේ ජලාශවල ජලය පිරී තිබෙනු දක්නට ලැබුණේ නැහැ. නමුත් අද වනවිට ජලාශ පිරී තිබෙනවා. ඒ අනුව මොරගහකන්ද ජලාශය හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී තිබෙනවා. මොරගහකන්ද ව්‍යාපෘතිය යනු සම්පත් කන්දක්. අපේ රටට අතිරේක භෝග සහ සත්ත්ව නිෂ්පාදන ගෙන්වන්න අපේ රටෙන් වාර්ෂිකව රුපියල් කෝටි 10,000ක් පමණ විදේශ රටවලට යනවා. එලෙස ගෙනෙන ආහාර වර්ග නිෂ්පාදනය කළ හැකි ප්‍රදේශවලට මේ ජලාශයේ ජලය ගලාගෙන යනවා. යල කන්නයට ජලය නොමැතිව තිබූ භූමියකට ජලය සැපයීම තුළ එම රුපියල් කෝටි 10,000ක මුදල ඉතිරි කර ගන්නට හැකිනම් අපේ රටට විශාල සම්පතක් වෙනවා. ඒ අනුව ඉතා කෙටිකලකින් අපේ රටට යහපතක් වෙනවා. ඒ වගේම පානීය ජල අවශ්‍යතාව ඉටුකර ගන්නට මේ ජලාශයෙන් හැකියාව ලැබෙනවා’.

2007 වසරේ ජනවාරි මස 25 දා මේ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තබා තිබෙන අතර, එහි ඉදිකිරීම් කටයුතු 2012 වසරේ දී ආරම්භ කර තිබේ. මෙය නූතන යුගයේ දැවැන්ත සංවර්ධන කටයුත්තක් වෙයි. දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවමින් ඉදිකර තිබේ. ඒ සමඟම මෙරට ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් මෙගාවොට් 25ක විදුලි බලයක් ලැබෙන අතර, ව්‍යාපෘතියේ සියලු ප්‍රතිලාභ අනුව වසරකට අපේ රටට ලැබෙන ආර්ථික වාසිය රුපියල් මිලියන 5,000ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගණනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර, මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස් කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි. ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වේල්ලක්, කොන්ක්‍රීට් කරන ලද වේල්ලක් මෙන්ම පස්වලින් සැදූ වේල්ලක් යන වේලි තුනකින් යුතු එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීමද විශේෂත්වයකි. මේ ජලාශය ඇළහැර පෞරාණික හැරවුම් අමුණට කිලෝමීටර් දෙකක් පමණ ඉහළින් අඹන්ගඟ හරහා වේල්ලක් ඉදිකිරීම මඟින් ඉදිකිරීම් සිදුකර තිබේ. මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාල වන අතර, එය වසර 40කට පසු මෙරට ඉදි වූ විශාලතම ජලාශයයි. මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැ‍ඟෙනහිර පළාත්වල ලොකු, කුඩා වැව් 2,000කට අලුත් දියවර ලැබෙන අතර, ඒ අනුව වයඹ පළාතේ වැව් 303 කට, උතුරුමැද වැව් 1,600කට ජලය ලැබෙයි. ඊට අමතරව නව ලග්ගල හා මැදිරිගිරිය ප්‍රදේශයේ ඉදිකරන නව නගර හා නව ජනපදවල අලුත් වැව් 48ක් ද ඉදි කරනු ලැබේ.

පොලොන්නරුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා-

‘පරාක්‍රම සමූද්‍රය අක්කර අඩි 116,000කින් සමන්විත වෙනවා. 2017/18 මහ කන්නය සඳහා මේ වනවිට ජලය නිකුත් කරනවා. මේ මාසයට තවත් ජල මුරයක් ලබාදෙන ලෙස ගොවි ජනතාව ඉල්ලීමක් කර තිබෙනවා. එය ලබාදෙන්න අපි සූදානම්. මේ මට්ටමට ජලය පුරවා ගන්න ඇලහැර ව්‍යාපාරය හරහා මොරගහකන්දෙන් ජලය ලබාදෙනවා. මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමඟ අපිට ජලය ඉතිරි කර ගන්නට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මීට පෙර අපිට මෙලෙස ජලය ප්‍රයෝජනයට ගන්නට නොහැකිව මුහුදට ගලාගෙන ගියා. මොරගහකන්ද ජලාශය නොමැති නම් අපිට ඇලහැර ව්‍යාපාරයේ කුඹුරු වගා කරන්න වෙන්නේ නැහැ’ යනුවෙනි.

මින්නේරිය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතා-

‘මින්නේරිය, පොලොන්නරුව වාරි කලාපය පසුගිය කාලයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඊෂාන දිග මෝසම් කාලයට විවිධ ප්‍රදේශවල ජල ගැලීම් සිදුවෙනවා. නමුත් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමත් සමඟ ඒ අතිරික්ත ජලය ගබඩා කරගෙන අනෙකුත් කාලවල දී ප්‍රයෝජනයට ගන්න අවස්ථාව සැලසී තිබෙනවා. මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීම නිසා ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය, කන්තලේ වැව් සඳහා එකවර ජලය ලබාදෙන්නට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය කාලවල ගොවි ජනතාව අනපේක්ෂිත ගැටලුවලට මුහුණ දුන්නා. ගොවිතැන් කටයුතු සඳහා කොත්මලේ ජලාශයෙන් ජලය ගන්න සිදු වුණා. නමුත් අද වනවිට මොරගහකන්ද අපිට විශාල ශක්තියක් වී තිබෙනවා’.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි ජල සම්පත් සංවර්ධනය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය කර 1968 දී රජයට ඉදිපත් කරන ලදි. එම අධ්‍යයනය අනුව මහවැලි මහ සැලැස්මේ අති විශේෂ ස්ථානයක් අඹන්ගඟට හිමි වී තිබිණි. ඒ සැලැස්ම අනුව අඹන්ගඟ හරස් කොට ජලාශ දෙකක් ඉදි කිරීමට නියමිත විය. ඉන් පළමු වැන්න බෝවතැන්න ජලාශයයි. දෙවැන්න, රජරට ජල හිඟය දුරලීමට අතිශයින් වැදගත් මොරගහකන්ද ජලාශයයි. මහවැලි මහ සැලැස්මේ මුල් අදියර ලෙසින් ක්‍රියාත්මක වූයේ පොල්ගොල්ල සමවාය හා බෝවතැන්න ජලාශය ඉදිකිරීමයි. 1976 ජනවාරි 08 දා එවකට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් පොල්ගොල්ලෙන් මහවැලි දියවර රජරටට හැරවීමෙන් එම අදියරෙහි නිමාව සලකුණු කෙරිණ. අනතුරුව එම වසරේ අගෝස්තු මාසයේ දී බෝවතැන්න ජලාශය ද එතුමිය විසින් විවෘත කරන ලදුව රජරටට මහවැලි දියවර ගලා යෑම ඇරැඹිණ.

පොල්ගොල්ල - බෝවතැන්න සමවායන් නිම කිරීමෙන් පසු මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම එවකට මහවැලි සංවර්ධන කාර්යයේ මෙහෙයුම දරා සිටි වාරිමාර්ග විදුලිබල හා මහාමාර්ග ඇමැති මෛත්‍රීපාල සේනානායක මහතාගේ අපේක්ෂාව විය. මොරගහකන්ද ජලාශය ඉදිකොට, සැතපුම් 106ක් දිගට විහිදෙන උතුරු මැද මහ ඇළ මඟින් ජලය ගෙනගොස් පදවිය ප්‍රදේශයේ ජල හිඟය දුරලීම එතුමාගේ අරමුණ විය. කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛස්ථානයක් හිමි වූයේ කෘෂිකාර්මික සංවර්ධනයට නොව ජල විදුලි සංවර්ධනයටය. එහි ප්‍රතිඵලය වූයේ කෘෂිකර්ම සංවර්ධනය කේන්ද්‍රීය කොටගත් මොරගහකන්ද ජලාශ ව්‍යාපාරය කඩිනම් මහවැලි වැඩසටහනෙන් ඉවත් කිරීමය. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 1998 දී මහවැලි සංවර්ධන ඇමැති පදවියට පත්වීම මොරගහකන්ද ව්‍යාපාරයේ අනාගතය මහත් පෙරළියකට ලක් කරන්නක් විය.

අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්‍රික්ක මුල් කරගත් රජරට ජල හිඟය දුරලීම සඳහා ගත හැකි සාර්ථකම ක්‍රියාමාර්ගය මොරගහකන්ද ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීම බව එතුමා දැඩිව විශ්වාස කළේය. එහි ප්‍රතිඵලය වූයේ මොරගහකන්ද ව්‍යාපාරය පිළිබඳ යළි සක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීමයි. ජර්මනියේ ලාමයාර් අන්තර්ජාතික උපදේශක සමාගම හා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය එක්ව 2000 - 2004 දක්වා සිදුකරන ලද ඒ ශාක්‍යතා අධ්‍යයනය වත්මන් මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට පාදක වී තිබේ.

ඒ සමඟම මේ ව්‍යාපෘතිය යටතේ කවුඩුල්ලේ මහවැලි ජලය කන්තලේට ගෙන යාමට කිලෝමීටර් 13ක් දිග අලුත් ඇළක් ද ඉදි කෙරේ. ‍මීට අමතරව මේ ජලය මඟින් මැදිරිගිරිය ප්‍රදේශයේ වැව් 32ක් සහිත බිසෝපුර නව සංවර්ධන ප්‍රදේශය ද අස්වද්දනු ලැබේ. අලුත් ඉඩම් අක්කර 20,000ක් අස්වද්දා මේ ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය සිට කන්තලේ දක්වා අඩි 40ක් පළල නව මාර්ගයක් ද ඉදි කරනු ලැබේ. අක්කර 200ක් විශාල නව කර්මාන්ත පුරයක් ද එහි ඉදිකෙරේ. මේ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශ ප්‍රදේශයේ නව ලග්ගල අවට අලුත් පවුල් 3,000ක් පදිංචි කෙරේ. ඔවුන් සඳහා අලුත්වැව් 16ක් අලුතින් ඉදිකෙරේ. මොරගහකන්ද ජලාශය ඉදිකිරීම නිසා ඉවත් වූ පවුල්වල අය පදිංචි කළ ලග්ගල ප්‍රදේශයේ සියලු යටිතල පහසුකම් සකස් කර ඇත. නව ලග්ගල නගරයේ සියලුම පොදු පහසුකම් කටයුතු ද දැන් අවශ්‍ය කර තිබේ. ‍ඊට අමතරව තවත් උප නගර 2ක් සංවර්ධනය කරන අතර, අනෙක් 400 කර්මාන්ත පුරයක් ද ඒ ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

මොරගහකන්ද ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇඳ හැළෙන වර්ෂාපතනය ඝනමීටර් මිලියන 818ක් වන අතර, එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප්‍රදේශවලට වාර්ෂිකව ඇති වන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මේ ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ. පළාත් තුනක වෙසෙන දහස් ගණනක් ගොවි පවුල් සඳහා සෘජු ආර්ථික වටිනාකමක් සැලසෙන මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය තුළින් මුළුමහත් ජාතියටම හිමිවන ප්‍රතිලාභය අතිමහත්ය. සම්පත් කන්දක් වශයෙන් සැලකෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අපේ රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට මෙන්ම ජනතාවගේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීමෙහිලා දැවැන්ත ශක්තියක් වනු නොඅනුමානයි.

විශේෂ ස්තුතිය - ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත සහ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී කසුන් රණතුංග මහත්වරුන්ට.

සටහන
මහින්ද අලුත්ගෙදර
ඡ‍ායාරූප සුසන්ත විජේගුණසේකර 

 


නව අදහස දක්වන්න