මොරගහකන්ද ජලයෙන් රජරට අක්කර අසූදහසක යල මහ වගා සරුවටම | දිනමිණ

මොරගහකන්ද ජලයෙන් රජරට අක්කර අසූදහසක යල මහ වගා සරුවටම

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ඉදි කරන ලද මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීමත් සමඟ රජරට කලාපයේ කුඹුරු අක්කර 80,000 ක ප්‍රමාණයක් යල, මහ දෙකන්නයේම සාර්ථක ලෙස වගා කිරීමට හැකිව තිබෙන බව රජය අවධාරණය කරයි.

මීට ප්‍රථම ප්‍රමාණවත් ලෙස ජලය නොමැතිවීම හේතුවෙන් එම ඉඩම්වල වගා කටයුතු කරගෙන යාමට නොහැකිවූ නමුත් කවුඩුල්ල, ගිරිතලේ, මින්නේරිය, කන්තලේ වැව් සඳහා මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීමත් සමඟ එම වැව් මේ වන විට පිරී පවතින බවද ඒ අනුව කිසිදු බාධාවකින් තොරව එම කලාපයේ ගොවි ජනතාවට තම වගා කටයුතු සිදුකිරීමට හැකි බවද මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී විජයරත්න මහතා ප්‍රකාශ කරයි.

මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 460,000ක් පමණ වන නමුත් අද වනවිට අක්කර අඩි 330,000ක පමණ ජල ධාරිතාවයක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා දෛනිකව ජලවිදුලි බලය ද නිෂ්පාදනය කරමින් ජලය නිකුත් කරන බවද ගොවිබිම් සරු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන වාරි ජලය යල හා මහ දෙකන්නයටම සැපයීමේ හැකියාව මොරගහකන්ද ජලාශය සතු බවද සඳහන් කරයි.

මොරගහකන්ද ජලාශයේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එහි ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමඟ අඳහස් දක්වමින් ඒ මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඩී.බී විජයරත්න මහතා පෙන්වා දුන්නේ දශක හතරකට පසුව මෙරට ඉදිවූ විශාලතම වාර් ව්‍යාපෘතිය මෙය වන බවත් එය පරාක්‍රම සමූද්‍රය මෙන් සිවු ගුණයක් විශාල බවත්ය. රුපියල් කෝටි 18,100ක මුදලක් මොරගහකන්ද කළුගඟ මහා වාරි ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකර තිබෙන අතර වාරි ජලය සැපයීමට අමතරව මේ මඟින් අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි පිරිසුදු පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන බවද මෙගාවොට් 25ක ජල විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී පී.ජී දයානන්ද මහතා මෙහිදී පෙන්වා දුන්නේ මීට පෙර මෙම කාලයේ කවුඩුල්ල, ගිරිතලේ, මින්නේරිය, කන්තලේ ජලාශවල ජලය පිරී තිබෙනු දක්නට නොලැබුණු නමුත් මෙරට වාරි ක්ෂේත්‍රයට විශාල ශක්තියක් එක් කරමින් ඉදි කළ මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් කිරීමත් සමඟ එම ජලාශ ජලයෙන් පිරී පවතින බවත් ඒ අනුව ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා යල හා මහ දෙකන්නය සඳහා ම ජලය නිකුත් කිරීමට හැකිවන බවත්ය.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ දෙක ඉදිකිරීම සඳහා යටවුණු ගම්මාන 24 සිටි පවුල් 3,000ක් කළුගඟ පහළ නිම්නයේ පදිංචි කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා ඒ අයගේ ප්‍රයෝජනය වෙනුවෙන් වැව් 16ක් ඉදි කර තිබෙන බවත් මොරගහකන්ද ව්‍යාපෘතිය යනු සම්පත් කන්දක් බවත් පැවසීය. ශ්‍රී ලංකාවට අතිරේක භෝග සහ සත්ත්ව නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 10,000ක් පමණ වැයවන බවද මේ ජලාශයේ ජලය නිකුත් කිරීමත් සමඟ එම භෝග වගාකිරීමට හැකිවීමෙන් රුපියල් කෝටි 10,000ක පමණ විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මහින්ද අලුත්ගෙදර 

නව අදහස දක්වන්න