විශ්ව කාලාන්තර වාර්තාව අද ජගත් කවුන්සිල සැසියට | දිනමිණ

විශ්ව කාලාන්තර වාර්තාව අද ජගත් කවුන්සිල සැසියට

 

කාලාන්තර වශයෙන් සමාලෝචනය කෙරෙන අද්විතීය ක්‍රියාවලියක් වන අතර එය තුල්‍ය සමාලෝචනය මත පදනම් වූ සෑම රටක්ම සම තත්ත්වයෙහි ලා සලකන ක්‍රියාවලියක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සහභාගී වීමට නියමිතව තිබෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෑම වසරකම තෙවරක් සිය නිත්‍ය සැසිවාර පවත්වයි. පෙබරවාරි - මාර්තු, ජූනි සහ සැප්තැම්බර් යන මාසවල මෙම සැසිවාර පැවැත්වෙන අතර දැනට පැවැත්වෙන කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පසුගිය පෙබරවාරි 26 වැනි දින ආරම්භ විය. එය එළඹෙන 23 වැනි දින අවසන් වීමට නියමිතයි.

2007 වසරේ දී විශ්ව කාලාන්තර සමාලෝචනය හඳුන්වා දුන් තැන් සිට මේ දක්වා පූර්ණ සමාලෝචන චක්‍ර දෙකක් පවත්වා ඇති අතර ඒවායෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193 හිම මානව හිමිකම් තත්ත්ව සමාලෝචනය කර තිබෙන බවද වර්තමාන තෙවැනි සමාලෝචන චක්‍රය පසුගිය 2017 වසරේ මැයි මාසයේ දී ඇරඹී දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2017 නොවැම්බර් මස 6-17 යන දිනවලදී පැවති විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ 28 වැනි සැසිවාරයේ දී තෙවැනි සමාලෝචන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සමාලෝචනයට ලක් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාව සමඟ චෙකියාව, ආර්ජන්ටිනාව, ගැබොන්, ඝානාව, පේරු, ගුවාතමාලාව, ස්විට්සර්ලන්තය, කොරියා ජනරජය, බෙනින්, පාකිස්ථානය, සැම්බියාව, ජපානය සහ යුක්රේනය යන රටවල්ද සමාලෝචනයට බඳුන් විය. විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාකාරී කණ්ඩායමේ 28 වැනි සැසිවාරයේ දී නොවැම්බර් මස 15 වැනි දින පැවති එකී සමාලෝචනයට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබූයේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

තෙවැනි සමාලෝචන චක්‍රය යටතේ කෙරුණු ශ්‍රී ලංකා සමාලෝචනයේ වාර්තාව දැනට පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේ දී අද (19) දින සම්මත කෙරෙනු ඇති අතර මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා විසිනි.

2015 වසරේ ඔක්තෝබර් 01 වැනි දිනැති අංක 30/1 දරන යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම සලකා බැලූ මානව හිමිකම් කවුන්සිලය, 2017 පෙබරවාරි 27 සිට මාර්තු 24 වැනි දින දක්වා පැවැති සිය 34 වැනි සැසිවාරයේ දී 2017 මාර්තු 23 වැනි දින අංක 34/1 දරන යෝජනාව සම්මත කරගත් අතර සිය නිර්දේශත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම්වලට සම්බන්ධ සෙසු අදාල ක්‍රියාපරිපාටිත් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අඛණ්ඩව සොයාබලා මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට, එනම්, එහි වර්තමාන සැසිවාරයට ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම යෝජනා සම්මතය හරහා කවුන්සිලය විසින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, කවුන්සිලය විසින් ඉල්ලා සිටිනු ලැබූ පරිදි, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය 2018 මාර්තු මස 21 වැනි දින අපර භාගයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් කවුන්සිලයට ඉදිරිපත් කරන අතර මේ මස 21 වැනිදා පැවැත්වෙන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන සහ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් විසිනි. 

නව අදහස දක්වන්න