සැකයක් නැතිව අපි ළඟට එන්න | දිනමිණ

සැකයක් නැතිව අපි ළඟට එන්න

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති නීතිඥ සාලිය පීරිස්

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ විවිධ මත සහ චෝදනා ඇති මොහොතක එහි කාර්යභාරය, බලය, වගකීම, අරමුණු සහ එහි වැදගත්කම මෙන්ම කොමසාරිස්වරුන් පිළිබඳ කතා කරන්නට අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති නීතිඥ සාලිය පීරිස් එහා ඉවුරට එක්වේ.

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ 2016 අගෝස්තු මාසේ. කාර්යාලයට කොමසාරිස්වරු පත්වෙන්නේ 2018 මාර්තු මාසේ. එහෙම ප්‍රමාද වුණේ ඇයි?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත, ජනාධිපතිතුමා තමයි මේ පත්කිරීම් කරන්නේ. කල්ගතවුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

ජිනීවා මානව හිමිකම්වලින් බේරෙන්න හදීසියේ මේ පත්වීම් කළා කියල සමහරු කියනවා.

අතුරුදන්වූවන්ට වෙච්ච දේ ගැන දැනගන්න ඇත්ත අවශ්‍යතාවක් මේ රටේ තියෙනවා. 1971, 1987 සිට 1989 කාලෙත් අතුරුදන්වීම් ගැන කතා වුණා. අදත් ඒ අයට වෙච්ච දේ ගැන දැනගන්න ඔවුන්ගේ පවුල්වල අය බලන් ඉන්නවා. උතුරු නැ‍ඟෙනහිර සිවිල් ජනතාවගේ අතුරුදන්වීම් විතරක් නෙවෙයි, සංඛ්‍යාලේඛන අනුව ආරක්ෂක අංශවල 5100ක් අතුරුදන්වෙලා තියනවා. ඒ අයගේ ඥාතීන්ටත් ඔවුන්ට වෙච්ච දේ දැනගන්න අවශ්‍යයි. මේ ආයතනය පිහිටවන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හෝ ජාත්‍යන්තර ප්‍රජාව සතුටුකරන්න නොවෙයි.

ඔබ කියන විදියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලටත් මේ කාර්යාලයෙන් සාධාරණයක් ඉටුවෙනවා. ඒත් සමාජගත වෙලා තියෙන්නේ ආරක්ෂක අංශවලට දඬුවම් කරන්නයි කාර්යාලය පිහිටෙව්වෙ කියල.

මානව හිමිකම් ගැන කතා කරනකොට බොහෝ අයට ආරක්ෂක අංශවල අය අමතක වෙනවා. පනතේ, අර්ථ නිරූපණයේදී පොලිසිය, හමුදාවේ අතුරුදන්වූවන් ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. මේ කාර්යාලයේ ක්‍රියාවලිය ජාති-ආගම්, ප්‍රදේශ ඉක්මවා යන කාර්යයක්. අපි ඒ අනුවයි කටයුතු කරන්නේ.

මේ කාර්යාලයේ කාර්යභාරය මොකක්ද?

අතුරුදන් වෙච්ච අයයි, අතුරුදන් කරවපු අයයි කියල කොටස් දෙකක් ඉන්නවා. මේ අය ගැන සොයා බැලීම, ඔවුන්ට වෙච්ච සියලු දේවල් ගැන ඥාතීන් දැනුවත් කිරීම, අනාගතයේදී අතුරුදන්වීම් අඩුකිරීම හා නැති කිරීමට අවශ්‍ය නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම, අතුරුදන්වූවන්ට සහන ලබාදීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම, කෙනෙක් අතුරුදන් වුණාම ඒ අයගේ ඥාතීන් දශක ගණනාවක් දුක් විඳිනවා. ඒ තත්ත්වය අපි නැති කළ යුතුයි.

ඔබ කියන කාර්යභාරය කරන්න සැකසෙන යාන්ත්‍රණය කොයි වගේද?

මුලින්ම අපේ කාර්යාලය හදන්න ඕන. පරීක්ෂණ හා විමර්ශන ක්‍රියාවලිය පනතෙ දක්වල තියෙනවා. පුද්ගලයන් ගැන සොයා බලන්න ඒකකයක් හදන්න ඕන. සාක්ෂිකරුවන්, වින්දිතයන් ආරක්ෂා කරන්න ඒකකයක් හදන්න ඕන. මේ වගේ විවිධ යාන්ත්‍රණ පිහිටුවල ඒක තුළින් කාර්යාලයේ කටයුතු ඉටුකරන්න කටයුතු කරනවා. මේ කාර්යාලය ස්ථීර කාර්යාලයක්.

ඔබ ඇතුළු පිරිස පත්වෙන්නේ වසර තුනකටයි ?

ඔව්. අපේ නිල කාලය ඉවර වුණාට මේ කාර්යාලයේ කටයුතු ඉවර වෙන්නෙ නැහැ. ඊළඟට තව අය පත්වෙයි. ඒ අය ඉදිරි කටයුතු කරගෙන යයි. මේ නිසා මේ කාර්යාලය ලංකාවේ හැමදාම පවතින කාර්යාලයක්. අපේ බලාපොරොත්තුව ශක්තිමත් ආයතනයක් හදන්න.

අතුරුදන්වූවන්ට සහන ලබාගන්න, ඔවුන්ගේ පවුල්වල අය ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද?

අතුරුදන්වූවන්ගේ පවුල්වල අයගෙ අදහස් ලබාගැනීම ඉතාම වැදගත්. ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරනවා. අපි ඒ අයගෙන් ඉල්ලන්නෙ අපිට අවශ්‍ය තොරතුරු දෙන්න. ඒකට අපි ඒ අයට යම් විශ්වාසයක් ඇතිකළ යුතුයි. අපි ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු කරනවා.

විවිධ රජයන් යටතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් රැවටීම්වලට ලක්වුණා. එවැනි පසුබිමක මේ කාර්යාලය ගැන ජනතාව විශ්වාසය තියයිද?

ඒකට මට ‍මේ වෙලාවෙ උත්තරයක් දෙන්න බැහැ. අතුරුදන් වෙච්ච අයගේ පවුල්වල අයට විවිධ යාන්ත්‍රණ ගැන විශවාසයක් නැහැ කියන එක මම පිළිගන්නවා. නමුත් ඒ අය රැවටුණා කියන එක මම පිළිගන්නේ නැහැ. මනෝරි මුත්තෙට්ටුවේගම, මැක්ස්වෙල් පරණගම, උගත්පාඩම් හා සංහිඳියා කොමිසම වගේ ඒවා තිබුණා. ඒ වාර්තා රජය සතුව තියෙනවා.

මේ කොමිසන්වලින් එකතු කරපු දත්ත අපිට ප්‍රයෝජනවත් වෙයි. මේ ක්‍රියාදාමය අපට තනියම කරන්න බැහැ. මේකට රජයේ සහාය අවශ්‍යයි. ප්‍රතිපාදන දුන්නට, මේක අවසන් කරන්න දේශපාලන අරමුණකුත් රජයට තිබිය යුතුයි.

මේ කාර්යාලය පිහිටුවීමත් එක්ක විවිධ චෝදනා එල්ල වුණා. එවැනි පසුබිමක ආරක්ෂක අංශවල අතුරුදන් වූවන්ගෙ තොරතුරු එක් රැස්කර ගන්න කාර්යාලය මොන වගේ වැඩ පිළිවෙළක්ද අරගන්නේ.

මේ ගැන උනන්දුවක් තියෙන, බලපෑමක් තියෙන සියලු පාර්ශ්වලින් තොරතුරු ගන්න අපි බලාපොරොත්තු වෙනවා. කිසිම සැකයක් ඇතිකර නොගෙන අපි ගාවට එන්න කියල අපි හැම දෙනාටම කියනවා. විවිධ පාර්ශ්ව නියෝජනය කරන ආකාරයට අපේ කාර්යාල සංයුතිය සැකසිල තියෙන්නෙ.

කාර්යාලයේ වැඩ පටන් ගන්නත් ඉස්සර වෙලා ඔබ ඔය කියන සංයුතිය යටතේ පත්වුණු අයට චෝදනා එල්ල වෙනවා?

මානව හිමිකම් ක්‍රියාකාරීන්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති උපදෙස් දෙන මේජර් ජෙනරාල්වරියක්, අතුරුදන්වූවන්ගේ පවුලක අයෙක් මේ කොමිසමට පත්වෙලා ඉන්නවා. මේ අයගේ අත්දැකීම් මම දකින්නෙ ධනාත්මකව. මෙවැනි පිරිසක් පත්කිරීම නිසාම අපිට විවිධ ජනකොටස්වල විශ්වාසය දිනාගත හැකියි. විශ්වාසයක් නැති කට්ටියක් එක්ක ගිහින් මේ වැඩේ කරන්න බැහැ.

උතුරේ ජනතාව, මේ කාර්යාලය ගැන විශ්වාසයක් නැති බවයි කියන්නෙ. ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නෙ කොහොමද?

අපි ඒ අය ළඟට යනවා. ඔවුන්ගෙ අදහස් ගන්නවා. අපේ ක්‍රියාදාමය ඉදිරියට යද්දී ‍ඔය හැම පාර්ශ්වයක්ම අපි ගැන විශ්වාස කරයි. මොකද අතුරුදන්වූවන්ගේ පවුල්වල අය අවිශ්වාස කරන්නෙ ඇයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. දිගුකාලීන අවිශ්වාසය සතියෙන් දෙකෙන් නැති කරන්න බැරිවෙයි. අපක්ෂපාතීව කටයුතු කිරීම තුළින් විශ්වාසය දිනාගන්න පුළුවන්.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මේ වනවිටත් විවිධ ආයතනවලට අතුරුදන්වූවන් ගැන තොරතුරු ලබාදීල ඉවරයි. ඒ තොරතුරු ගැනත් කොමිසමේ අවධානය යොමුවෙනවද?

මේ ගැන කටයුතු කළ කොමිෂන් සභා තියෙනවා. රජයේ සමහර අමාත්‍යංශවල තොරතුරු තියෙනවා. රතු කුරුසෙ, පොලිසියෙත් තොරතුරු තියෙනවා. මේ අයගෙ තොරතුරු අපි ගන්නවා. අතුරුදන්වූවන් පිළිබඳ සංඛ්‍යාලේඛන හදන එකත් අපේ එක් කාර්යයක්. එකම කෙනා ගැන තුන් හතර පොළක ලියවිලා තියෙන්න පුළුවන්. මේ නිසා සංඛ්‍යාලේඛන නිවැරදි කරගන්න අවශ්‍යයි.

මෙම කාර්යාලයෙන් විමර්ශනයට ලක් කෙරෙන්නෙ, කුමන කාලපරාසයක සිදුවුණු අතුරුදන් කිරීම් සම්බන්ධවද?

ලංකාවේ සියලු කාලවල සිදුවෙච්ච අතුරුදන් කිරීම් සම්බන්ධව විමර්ශනය කරන්න අපිට බලය තියෙනවා. අතුරුදන් කිරීම් බහුතරයක් සිදුවුණේ අතීතයෙදී.

මෙවැනි ක්‍රියාවලින් ලෝකෙ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

විවිධ රටවල සිවිල් යුද්ධ, අරගලවලින් පස්සෙ සංහිඳියා යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. සයිප්‍රස්, දකුණු ඇමරිකාවේ විවිධ රටවල්වල, නේපාලය මේ යාන්ත්‍රණ තියෙනවා. ඒව ක්‍රියාත්මක වෙන ආකාර වෙනස්. සමහර කාලවල සාර්ථකයි, සමහර කාලවල ඒවයේ ක්‍රියාකාරීත්වය මන්දගාමීයි. දේශපාලන පසුබිම නිසා සමහර දේවල් වෙන්නෙ නැහැ. හැම රටක්ම මොකක් හරි ක්‍රියාදාමයකට ගිහින් තියෙනවා. උතුරෙත් දකුණෙත් ජනතා අපේක්ෂා සමානද කියන්න අපි දන්නේ නැහැ. අපිට තියෙන අභියෝගය රටක් හැටියට ඉදිරියට යන්න නම් මේ දෙගොල්ලම එක තැනකට ගෙන ඒම.

සිවිල් යුද්ධ, අරගල නැවත ඇති නොවෙන්න මේ ක්‍රියාදාමය හරහා යම් බලපෑමක් කරන්න පුළුවන්ද?

යුද්ධයෙන් හෝ විවිධ අරගලවලින් පීඩාවට පත්වෙච්ච, අතුරුදන්වූවන්ට සහනයක් දෙන්න රටක් හැටියට අපි ලෑස්ති නම්, නැවත මෙවැනි සිද්ධි රට තුළ නොවිය යුතුයි කියල පිළිගන්න අපි ලෑස්ති නම් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න පුළුවන්‍‍.

එ.ජා. මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවෙ ගැටලුවට විශ්වීය අධිකරණ ක්‍රියාවලියක් තුළින් පිළිතුරු සෙවිය යුතු බව කියනවා. මේ කාර්යාල‍යත් ඒ අනුව සැකසුනක්ද?

දඬුවම් කිරීමේ බලයක් අපිට නැහැ. සිවිල් හෝ අපරාධ වගකීමක් කාටවත් පවරන්න බලයකුත් නැහැ. මේ ආයතනය දඬුවම් කරන ආයතනයක් නොවෙයි. අතුරුදන් පුද්ගලයන්ට මොකද වුණේ කියන එක සෙවීමත්, ඔවුන්ට සහන සැලසීම නිර්දේශ කිරීමත් විතරයි අපි කරන්නෙ. ජාත්‍යන්තර යාන්ත්‍රණ ගැන අපි අකමැති නම් ඒකට හොඳම විසඳුම තමයි ශක්තිමත් දේශීය යාන්ත්‍රණ සැකසීම. අපේ රටේ අධිකරණ, මෙවැනි කාර්යාල ශක්තිමත් වෙනව නම් ජාත්‍යන්තර යාන්ත්‍රණවලට යන්න ඕන නැහැ.

ජාත්‍යන්තර අධිකරණයක් මඟින් රණවිරුවෝ දඩයම් කරන්නයි මේ හදන්නෙ කියලත් කියනවා?

ඒක සම්පූර්ණ වැරදියි. කාර්යාලයෙන් සොයාගන්න කරුණු කාර්යාල අභිමතය මත වින්දිතයන්ගෙන් විමසල, පවතින සමාජ තත්ත්වය ගැනත් සලකල බලල බලධාරීන්ට යොමුකරන්න පුළුවන්. මේ කාර්යාලයෙන් කරන විමර්ශන අපරාධ නඩුවකට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්න බැහැ.

බලහත්කාරයෙන් කෙනෙක් අතුරුදන් කිරීම අපරාධ වරදක් බවට පත්කළ යුතු බවට සමාජ කථිකාවතක් සැකසෙමින් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහිව ක්‍රියාකරන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැනටමත් ප්‍රතිපාදන තියෙනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. මේ එක්ක අතුරුදන් කිරීම් අපරාධයක් බවට පත්වෙනවා. අතුරුදන් කිරීම් සම්බන්ධ නීතිවලට කවුරුවත් විරුද්ධ වෙන්න නරකයි. කාට, කොයි වෙලාවක මේ තත්ත්වයට මුහුණදෙන්න වෙයිද දන්නේ නැහැ.

දුමින්ද සම්පත්
ඡායාරූප - වාසිත පටබැඳිගේ 


නව අදහස දක්වන්න

Or log in with...