පුහුල් හොරා කටෙන් දැනේ | දිනමිණ

පුහුල් හොරා කටෙන් දැනේ

විශේෂ අධිකරණ වි‍රෝධයේ රහස

අධිනීතිඥ ලාල් විජේනායක

වංචාවක්, දූෂණයක්, සොරකමක්, මනුෂ්‍ය ඝාතනයක් පමණක් නොව ඕනෑම වරදක් සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වූ පමණින් කිසිවකුත් වැරදිකරුවකු නොවන්නේය. ඒ සඳහා පිළිගත් නීතිමය ක්‍රියාදාමයක් ඔස්සේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ස්වාධීන අධිකරණයක් තුළ ඔප්පු කිරීම අත්‍යවශ්‍ය කරුණකි.එසේ නොවන තාක් චෝදනා එල්ලවන තැනැත්තා සැලකෙන්නේ නිවැරදි කරුවෙක් ලෙසය.

ගව සොරකම්,මාල කැඩීම්, ඉඩම් ආරවුල්, පහර දීම්, පවුල් ආරවුල් ආදි නඩු සමඟ මෙම බරපතල වංචා දූෂණ සම්බන්ධ නඩු විභාග කිරීම වෙනුවට ඒ සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීම අවශ්‍යතාවකි.මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් විභාග කර තීන්දුවක් ලබා දීමට අඩු තරමින් වසර දෙකක් වත් ගතවෙයි.මිනිමැරුම් නඩුවක තීන්දුවක් ලබා දීමට සාමාන්‍යයෙන් වසර 10 කට වැඩි කාලයක් ගතවන බව පැහැදිලිව දක්නට ලැබෙන තත්ත්වයකි.රටේ ආර්ථිකයට,පරිපාලනයට,ජන ජීවිතයට විශාල බලපෑමක් වන නඩු කඩිනමින් අසා අවසන් කර තීන්දු ලබාදීම සම්බන්ධව කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඒ මෙම අධිකරණ ඉදිරියට චූදිතයන් ලෙස ඒමට සිදු වෙතැයි බියෙන් පසු වන්නෙකුට පමණි.

නඩු කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ජනතාව කලක පටන් බලයේ සිටින ආණ්ඩු වෙතින් ඉල්ලා සිටියහ.එහෙත් ඒ සඳහා කිසිදු ආණ්ඩුවක් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත් බවක් පෙනෙන්නට නැත.කලක පටන් ආණ්ඩුවට එල්ල වන්නාවූ බරපතල විවේචන සඳහා මෙම විශේෂ අධිකරණ ‍හොඳ පිළිතුරක් වනු නොඅනුමානය.මේ සඳහා විරුද්ධ වන්නේ නම් සලකා බැලිය යුත්තේ මෙමඟින් අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑමක් ඇතිවීම හරහා චුදිතයින්ට අගතියක් වේද යන කාරනයයි.පවතින තත්ත්වය තුළ එවැන්නක් සඳහා කිසිදු ඉඩක් නොමැති බව පැහැදිලිව පෙනෙන්ට තිබේ.

පහත් සංශෝධනය

විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත ස්ථිර මහාධිකරණ පිහිටුවීම සඳහා වන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් සංශෝධනය කිරීමට නියමිතය.මෙම සංශෝධන පනත මගින් පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සඳහා විනිසුරුවරුන් තෝරා ගනු ලබන්නේ ශ්‍රීලංකා ජනරජයේ මහාධිකරණ විනිශ්චයකාරවරයන් අතුරිනි. අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එම පත් කිරීම් සිදු කරනු ලබන අතර එමඟින් වර්තමානයේ රටතුළ ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලියට කිසිදු හානියක් සිදු නොවේ.මෙහිදී අදාළ නඩු පැවරීම් නීතිපතිවරයා විසින් සිදු කරනු ලබන අතර එය දැනට සිදු වෙමින් පවතින නඩු පැවරීමේ ක්‍රියාවලිය යටතේම සිදුවන්නකි.මෙහි විභාග වන නඩුවකින් වැරදි කරු වූ අයකුට එකී තීන්දුවට එරෙහිව දින 28 ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය.

එම අභියාචනය අගවිනිසුරු විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස් දෙනකු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ඇත.එයද ඉතා ඉක්මනින් විභාග කර අවසන් කළ යුතු බව පනතේ දක්වා තිබේ.විනිසුරුවරු තිදෙනා බැගින් වන මහාධිකරණ තුනක් මේ යටතේ ස්ථාපිත කෙරෙන අතර ඒවාහි විභාග වන නඩු එක දිගට විභාග කර අවසන් කිරීමට නියමිතය.මෙය මෙරට ජනතාව කලක පටන් අපේක්ෂා කළ දෙයකි.නඩු විමසීම්වලට අදාළ පරීක්ෂණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව,එෆ්.සී.අයි.ඩී ය මගින් සිදු කෙරෙන අතර ඒ වෙනුවෙන් වෙනත් විමර්ශන ආයතනයක් පිහිටුවීමක් සිදු වන්නේද නැත.මේ හේතුවෙන් රටේ පුරවැසියාට කිසිදු අසාධාරණයක් සිදු වීමටද මෙම අධිකරණ ඔස්සේ ඉඩක් නොමැත.

වත්මන් රජය බලයට ගෙන ඒම පිණිස මුලින් ජනපතිවරණයේදීත් පසුව මහ මැතිවරණයේදීත් මෙරට ජනතාව ඡන්දය ලබා දීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ හිටපු ජනපති ප්‍රමුඛ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසකටත් එම රජයේ සමීපතයින් කිහිප දෙනෙකුටත් එල්ලවූ බරපතළ දූෂණ,වංචා හා මිනිමැරුම් චෝදනාය.යහපාලන රජය බලයට පත්ව වසර තුනකට ආසන්න කාලයක් ගත මැතිවරණ සමයේ දූෂිතයින්ට දඬුවම් ලබා දීමට තිබූ උනන්දුව ආණ්ඩුවට නොමැති බව ජනතාව වෙතින් ආණ්ඩුවට එල්ලවූ බරපතළ චෝදනාවකි.

හොරු සමඟ ඩීල් කතාව

ආණ්ඩුවේ පිරිසක් හොරු සමඟ ඩීල් දමා ඇති බවටද සමාජ කතා බහක් ඇති විය.හොරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ආණ්ඩුව දැක්වූ උදාසීනත්වය සම්බන්ධව ජනතා අප්‍රසාදය පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල තුළින්ද දැකගත හැකි විය.වංචා,දූෂණ හා මිනිස් ඝාතන චෝදනා එල්ලව සිටි පිරිස් ආණ්ඩුවට එළිපිට අභියෝග කරන්නට වූයේ මෙම පසුබිම තුළය.තමන්ට එරෙහිව ආණ්ඩුව කරන චෝදනා කිසිවක් සත්‍ය ඒවා නොවන බවත් මේ සියල්ල දේශපාලන පළිගැනීම් සඳහා කරනු ලබන අභූත චෝදනා බවත් චෝදනාවලට ලක්වූවන් පවසද්දී එක් පැත්තකින් ජනතාවද එය අනුමත කරන බවක් දක්නට ලැබිණි.බරපතළ වංචා,දූෂණ,සොරකම් පිළිබඳව වග විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීම පිණිස අධිකරණ සංවිධාන( සංශෝධන) පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙම පසුබිම තුළය.එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව තිබෙන අතර මේවන විට දේශපාලන පක්ෂ හා විද්වතුන් අදාළ පනත සම්බන්ධව විවිධ මත පළකරන්නට පටන් ගෙන තිබේ.මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධ නඩු විභාගයට නොගැනීම සම්බන්ධව ජනතාවගේ බරපතළ විවේචනයක් තිබෙන බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

පරීක්ෂණ අවසන් නඩු නැත

මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධ සිද්ධීන් 79 කට අදාළ පරීක්ෂණ මේ වනවිට අවසන් කර තිබේ.මෙම විශේෂ අධිකරණවල විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ එම නඩුය.මෙම වංචා වල පවතින මූල්‍යමය අගයන් ඉතා ඉහළ වීම නිසාම ඒවාට අදාළ සාක්ෂිකරුවන් හා ලිපිගොනු ප්‍රමාණයද ඉහළය.නඩුව විභාගයට ගැනීමේදී සාක්කිකරුවන් කැඳවීම,ගිණුම් පරීක්ෂා සිදු කිරීම වැනි කරුණු හේතුවෙන් සාමාන්‍ය නඩුවක් විභාගයේදී ගතවන කාලයටත් වඩා වැඩි කාලයක් මේවා සඳහා ගතවන බව සාමාන්‍ය බුද්ධියක් ඇති අයෙකුට පවා තේරුම් ගැනීමට පුළුවන.පවතින අධිකරණ පද්ධතිය තුළ අදාළ නඩු විභාග කිරීම ඔස්සේ තීන්දු ලබා දීමට අඩු තරමින් වසර 15 කට එහා කාලයක් ගතවන දන්නා හොරු මෙම අධිකරණවලට විරුද්ධ වීම පුදුමයට කරුණක් නොවේ.

නීතීඥ සංගම් මෙයට විරුද්ධ වන්නේ ඇයිද යන්න නම් ප්‍රශ්නයකි.ඔවුන් විරුද්ධ වන්නේ පෞද්ගලික හේතු නිසා මිස පොදු හේතු නිසා නොවන බව අකමැත්තෙන් වුවද කිව යුතුව තිබේ. ඉදිරි වසර 10 ක පමණ කාලයකට නඩු තිබෙන නීතීඥයින් අප රටේ සිටිති.මෙම විශේෂ අධිකරණයක නඩුවක් විභාගයට ගත්විට එය එක දිගට අවසන් කරන නිසා නීතීඥ මහතුන්ට වෙනත් නඩු සදහා පෙනී සිටීමේ අවකාශ ලැබෙන්නේ නැත.මිනීමැරුම් නඩු එක දිගට විභාග කර අවසන් කළ යුතු බවට චක්‍ර ලේඛණ ඇතත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න සොයා බැලිය යුතුය.ඒවා ක්‍රියාත්මක නොකෙරෙන්නේ එක් පැත්තකින් ඇතැම් නීතිඥයින්ගේ අවශ්‍යතාවටය.බොහෝ නඩු විභාග ආරම්භ කළ පසු කල් දමන්නේ මාස හත අටය.මහපරිමාණ වංචා හා දූෂණ නඩු සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුළ විභාග කර මෙලෙස කල් දැමුව හොත් ජනතාව බලාපොරොත්තු වන දේ ඉටු නොවන බව අබ ඇටයක් තරම් මොළයක් ඇත්තකුට වුවද අවබෝධ වනු ඇත.

ලෝකයේ වෙනත් රටවලද මෙවැනි විශේෂ අධිකරණ ක්‍රියාත්මකය.අධිකරණයකින් අප අපේක්ෂා කළ යුත්තේ සාධාරණ අපක්ෂපාති නඩු විභගයක් මිස වෙනත් දෙයක් නොවේ.සාධරණ සැකයෙන් ඔබ්බට ගොස් සාක්කි මගින් ඔප්පු කර වැරදිකරුවන් තීරණය කළ යුතුය.ඒ හැර අධිකරණය ඉදිරියට පමුණුවන්නේ කාවුද යන්න වැදගත් කාරණයක් නොවේ.නිතිය ප්‍රමාද වීමද වරදකි.ප්‍රමාදය තුළින් චූදියන්ට නීතියෙන් ගැලවී යාමට අවකාශ සැලසෙන අවස්ථා තිබේ.දීර්ඝ කාලයක් නඩුවක් විභාග වීමේදී සාක්කිකරුවන් මිය යෑමටද පුළුවන.නඩුවට අදාළ ලිපිගොනු විනාශ වීමටද අවකාශ ඇත.නඩුව කෙරෙහි පැමිණිලි පාර්ශ්වයේ උනන්දුව අඩු වීමටද හැකියාවක් තිබේ.පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ යම් ආයතනයක දුර්වලතා ඇත්නම් ඒවා ඉවත් කර ප්‍රශස්ථ මට්ටමට ගෙන ඒමයි.

නඩු විභාග ප්‍රමාද වීම නිසා පැමිණිලිකරුවෝ අදවන විට සමාජය ඉදිරියේ යම් ප්‍රමාණයකට අසරණව සිටිති.බොරු ගොතා අවංක ගුණයහපත් එඩිතර පුද්ගලයින්ට අභූත චෝදනා කරන පිරිසක් ලෙස ඔවුන්ව හඳුන්වා දෙමින් සිටින්නේ චෝදනාවලට ලක් වූවන්මය.මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නට තිබුණේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ විගසමය.කුමක් හෝ හේතුවකින් එය ප්‍රමාද විය.එම ප්‍රමාදයේ පලවිපාක භූමරංගයක් සේ මෙම ආණ්ඩුව වෙත කැරකී අවේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදීය.හොරු අල්ලන්නට පැමිණි අය හොරු නොඇල්ලූ කල ජනතාව හොරු විශ්වාස කළ බවක් එම ප්‍රතිඵලයේ දක්නට ලැබිණි.

1971 අද්දැකීම

මේ ආකාරයටම නොවුණද මෙයට යම් සමාන කමක් ඇති විශේෂ අධිකරණවල නඩු ඇසීමේ ක්‍රියාවලියක් 1971 කැරැල්ලට එක් වූවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්කර රෝහණ විජේවීර ඇතුළු පිරිසට එරෙහි නඩු කඩිනමින් විභාග කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වූ අතර ඒවා අපරාධ විමර්ශන විනිශ්චය සභා ලෙස හඳුන්වනු ලැබීය.පැවැති අධිකරණ ක්‍රියාවලියට පරිභාහිරව එය ක්‍රියාත්මක වූවත් යෝජිත නව අධිකරණ තුන පවතින අධිකරණ ක්‍රියාදාමය තුළම ස්ථාපිත කිරීම සුවිශේෂය.සාමාන්‍ය අධිකරණයකදී එක් විනිසුරුවරයෙක් විසින් නඩු විභාග කළද හඳුන්වා දීමට යන විශේෂ අධිකරණයන්හිදී විනිසුරුවරු තිදෙනෙක් යටතේ නඩු විභාග වනු ඇත.එය එක් පැත්තකින් චූදිතයකුට අසාධාරණයක් වන්නට ඇති ඉඩ තවත් අහුරා දැමීමකි.

රටේ ඉදිරි ගමනට වෙනස්කම් අවශ්‍යය.වෙනසට අකමැති වීම වෙනස්කම් සිදු නොකර සිටීමට හේතුවක් නොවන්නේය.ජනතාව අපේක්ෂා කරන්නේ මේ රටේ මහජන මුදල් මහ පරිමාණයෙන් වංචා කළ අයට දඬුවම් දීමය.මෙම අධිකරණ පිහිටුවන්නේ රාජපක්ෂලා හෝ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කූඩු කරන්නට යැයි මතුකර පෙන්වා සම්පූර්ණයෙන් ඊට එරෙහි ජනමතයක් ඇති කරන්නට යන්නේ නම් එය වැරදිය.මෙරට පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටය.බරපතළ වංචා සම්බන්ධයෙන් කටයුතු කරන්නට අවශ්‍ය බව ජනතාව මැතිවරණ තුනකදී පෙන්වා දී තිබේ.ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී හොරුන්ට දඬුවම් දීම සදහා ඡන්දය පාවිච්චි කළ බහුතර ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ බලයේ සිටි ආණ්ඩුව එසේ නොකිරීමට එරෙහිවය.මේ නිසා පරමාධිපත්‍ය බලය ඇති ජනතාවට පිටුපා කටයුතු කරන්නට ඒකාබද්ධ විපක්ෂයට හෝ නීතීඥ සංගම්වලට නොහැකිය.

පුහුල් හොරා කරෙන් දැනේ කියා පැරණි කියමනක් තිබේ.විශේෂ අධිකරණ පිහිටුවීම සඳහා ක්‍රියාකරන විටම පුහුල් හොරු දැන් කලබල වී ඇති බවක් පෙනෙන්නට ඇත.වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු සිදුවූ බැඳුම්කර සිද්ධියට අදාළ නඩු විභාගද මෙම විශේෂ අධිකරණය තුළ විභාග කරන බව අප අමතක නොකළ යුතුය.තමන් වැරදි කර නොමැති නම් බිය වන්නට හේතුවක් නැත.අනෙක් වැදගත් කාරණය වන්නේ දිගින් දිගටම චෝදනා ලබමින් සිටිනවාට වඩා තමන්ගේ නිර්දෝෂී භාවය අධිකරණයක් ඉදිරියේ කඩිනමින් ඔප්පු කර පෙන්වීමේ අවකාශ මෙම අධිකරණ මගින් චෝදනා ලැබූවන්ට හිමි වීමය.තමන් වරදක් කර තිබේ නම් හෘද සාක්ෂියට බොරු කළ නොහැකිය.හෘද සාක්ෂිය ඉදිරියේ වරද කරුවන් වන අය මිස වරදක් නොකර නිකරුණේ චෝදනා ලබමින් සිටින පිරිස කඩිනමින් නඩු අසා තීන්දු ලබා දෙනවාට කැමැතිය.

විරෝධයේ යටි අරමුණ

පසුගිය රජයේ හොරුන්ට අවශ්‍යයව තිබෙන්නේ ඔවුන් ආරක්ෂා කරන පාලකයකු පත්වන තෙක් මෙම කටයුතු පස්සට ඇද දැමීමටය.අවාසනාවකට හොරුන් ආරක්ෂා කළ යුතුය කියන පිරිසක් උගතුන් අතරද සිටිති.දැන් එම පිරිස හඬ අවදි කරන්නට පටන් ගෙන තිබේ.සමාජ යහපත පතන මහජන මුදල් ගසා කෑම වරදක් සේ දකින මෙරට අති බහුතර ජනතාව බොහෝ විට නිහඬය.මහනුවර ජාතිවාදී කලබල ඇති කළේ ඉතා සුළු පිරිසකි.ජාතිවාදය පිටු දකින බහුතරය සිටියේ නිහඬවය.මේ නිසාම සුළු පිරිසකගේ ක්‍රියාකාරකම් වඩා ඉස්මතුව පෙනුණේය.ජත්‍යන්තරය තුළ සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එරෙහිව කළ සටනක් ලෙස එය ප්‍රචාරය වීමට මධ්‍යස්ථ ජනතාවගේ නිහඬ බවද එක් ප්‍රධාන හේතුවක් විය.විශේෂ අධිකරණ පිහිටුවීමට එරෙහිව නැගෙමින් තිබෙන හඬද මේ ආකාර ය.හොරුන්ට දඬුවම් දිය යුතු බව කියන අති බහුතරය නිහඬ වුවහොත් අවසානයේ හොරු දිනනු නොඅනුමානය.

සටහන
අසේල කුරුළුවංශ 


නව අදහස දක්වන්න

Or log in with...