ටෙක් එකෙන් ‍ඉගෙනගත් ජීවිත පාඩම | දිනමිණ

ටෙක් එකෙන් ‍ඉගෙනගත් ජීවිත පාඩම

1962–1963 වර්ෂයේදී රත්මලාන මූලික කාර්මික අභ්‍යාස ආයතනයේ නේවාසික ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපනය හැදැරීමේදී මා උගත් පළමු පාඩම ‘ඔබ ගලවන ජීවිතය ඔබේම විය හැක.’ (The life you save may be your own) යන්න බව මට සිතේ. රත්මලාන කාර්මික විද්‍යාලීය පුහුණුව වසර 1 ½ක පාඨමාලවකි යුක්ත වේ. ප්‍රථම තුන් මාසය අවසන පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයකින් පසුව විදුලි, යාන්‍ත්‍රික, ෆිටර් අංශය, වඩු, ටින්කර් සහ වෙල්ඩින් අංශය යන අංශ 6 වෙත තේරී පත්වන සිසුහු මාස 15ක් අවසාන පැවැත්වෙන අවසාන පරීක්ෂණයෙන් පසුව රජය පිළිගත් සහතිකයක් ලැබීමට ඔව්හු සුදුස්සෝ වෙති. එමෙන්ම එදා යුගයේ විදුලිබල දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව හා වෙනත් රාජ්‍ය ආයතනවලට කාර්මික විද්‍යාලයෙන් පිටවී කෙටි කාලයක් තුළ පත්වීම් ලැබීමට තරම් මෙම සිසුහු වාසනාවන්ත වූහ.

අවුරුදු 15කට අඩු සිසුවකු වශයෙන් මෙම කාර්මික විද්‍යාලයේ පුහුණුව ලැබීමට සුදුසුකම් ලබන යෞවනයා වසර 1 ½ සාර්ථක පුහුණුවකින් පසුව අවුරුදු 18 සම්පූර්ණ වීමටත් පෙරාතුව රජයේ, විශ්‍රාම වැටුප් සහිත, තනතුරකට පත්වීමක් ලැබීම එදා සාමාන්‍ය දෙයක් විය. ඊටත් වඩා මෙම පුහුණුවේ වැදගත්කම වූයේ වසර 15 – 16යේ තරම් යෞවනයන් 300ක් පමණ නේවාසිකාගාර 6ක ලැබූ සාර්ථක පුහුණුවයි. නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් දෛනික කාලසටහනකට අනුව හැඩගැසිය යුතු විය. උදෑසන 6‍.00 සිට රාත්‍රී නින්දට යනතුරුම එම කාලසටහනට අනුගත විය යුතුම විය.

පුහුණුවෙන් පසු සමාජයට අවතීර්ණ වන අප, ජීවිතයේ පිළිවෙළකට හැඩගැසුණේ මෙම ක්‍රමවත් හා විධිමත් වූ මෙම පුහුණුවෙන් පසුවම බව කිව යුතුය. වෙලාවට වැඩ කිරීම, කාලසටහනක් අනුව දිනයේ වැඩකටයුතු හසුරුවා ගැනීම, හොඳ මනසකින් යුතුව ජීවිතයේ හැම වැඩක්ම කිරීමට එම පුහුණුව ඉමහත් පිටිවහලක් විය.

මාතෘකාවෙන් පිට පැන මෙතරම් දේ සටහන් කළේ මාතෘකාවටත් වඩා පුහුණුව වැඩදායි සේම ඵලදායි එකක්ම වූ නිසා යැයි සිතේ. කම්හලේ පුහුණුවේදී කම්හල් බිමේ විවිධ ලිහිස්සි තෙල්, ඉන්ධන යනාදිය නිසා ලිස්සා යාමෙන් අනතුරු විය හැක. සවිකිරීටම යොදාගන්නා විවිධ ආයුධ නිසි තැන්වල නොතැබීම නිසා කෙනෙකුට අනතුරක් විය හැක. එහෙයින් ඒවා නිසි තැන නිසි අයුරින් තැබිමට පුරුදු පුහුණු වූයේ නිරායාසයෙනි. මේ හැඩගැස්ම අද සමාජයට හුරුවීමේදී එය වඩාත් ඵලදායි වනුයේ නිවසේදී, මාර්ගයේදී රථවාහනවලදී අපට සිදුවිය හැකි අනතුරු ගැන සිතා ඒ පිළිබඳව විමසිලිමත් වීමට පුරුදු පුහුණු වූයේ එම පුහුණුව නිසාමය.

මහ මඟ ගමන් කිරීමේදී වීදුරු කැබැල්ලක්, යකඩ උලක්, වැනි අනතුරුදායක දෙයක් දුටු විට එය මාර්ගයෙන් ඉවත් කරන්නේ නම් ඉන් කෙනෙකුට විය හැකි අනතුරක් වළක්වනවා පමණක් නොව, එය අපට සිදුවිය හැකි අනතුරක් අප විසින්ම වැළැක්වීමකි. එමෙන්ම කිසිවකු විසින් හෝ සිතා මාර්ගයට විසි කෙරෙන අඹ, කෙසෙල්, පැපොල් වැනි පළතුරක පට්ටයක් නිසා කෙනෙකු ලිස්සා ගොස් ඇතිවන අනතුරු කියා නිම කළ නොහැක. එය අප විසින් මාර්ග‍ෙයන් ඉවත් කර අනතුරක් සිදුවිය නොහැකි ස්ථානයකට යොමු කරන්නේ නම් ‘ඔබ ගලවන ජීවිතය ඔබේම විය හැකිය’ යන්නට කදිම සාධකයකි.

ප්‍රස්තුක පාඨය වඩාත් ගැළපෙනුයේ ඩෙංගු වැනි මාරාන්තික රෝගයන් බෙහෙවින් ව්‍යාප්ත වන මෙවන් අවධියක ය. ඔබේ නිවසේ, ඔබේ වටා පිටාවේ, එක් රැස්වන කැළි කසළ විධිමත්ව, ක්‍රමවත්ව අපහරණය කිරීමට, අවට පරිසරයේ තිබෙන කානු පද්ධතිය නිසි අයුරින් පවිත්‍රව තබා ගැනීමට පියවර ගැනීම එම වසංගත රෝගයන්ට නොසැලී, නොබියව මුහුණදීමට හැකිවේ. එය අන් අයගේ අරක්ෂාව පිණිස නොව ඔබේම ආරක්ෂාවට මහත් පිටුබලයකි. මෙම ක්‍රියාදාමයන් මඟින් ඔබ කරන්නේ අනෙක් අය‍ෙග් ආරක්ෂාව මෙන්ම ඔබේම ආරක්ෂාවට පරිසරය සකසා ගැනීමකි.

අද කාලයේ එදිනෙදා අවට පරිසරයේ දක්නට ලැබෙන විවිධ ටින් කැබලි, බෝතල් වර්ග, එමෙන්ම සිලි සිලි බෑග්ස් හා විවිධ ප්ලාස්ටික් දවටන, අප විසින්ම අනවබෝධයකින් යුතුව දමන ලද ඒවා වෙයි. ඒවා නොදිරන ද්‍රව්‍ය හෙයින් කාලයක් තිස්සේම පසට අවශෝෂණය වෙමින් පවතියි. වැසි දිනවලදී ඒවා ගංගා ඇළදොළට ගසාගෙන යාමෙන් ඒවා එම ජලාශවල කාලයක් තිස්සේ තැන්පත්වීම නිසා අද සුලභව දක්නට ලැබෙන ගංවතුර තර්ජන පැමිණි විටෙකදී ඔබ විසින්ම කළ අපචාරවල ඵල විපාක අවබෝධවනු නිසැකය. මෙම ගංවතුර ගැලීම්වලින් වන විනාශය ඔබේ අසල්වැසියාට පමණක් නොවේ. ‘ඔබ ගලවන ජීවිතය ඔබේම විය හැක’ යන්න මෙයින් කදිමට අනාවරණය වෙයි.

අද ලෝකය එහෙම පිටින්ම ප්ලාස්ටික් ලෝකයකි. පරිහරණය කිරීමෙන් පසුව ඒවා විසිකරනු‍ෙය් අපේම අවට පරිසරයටමය. අවිධිමත්ව දැමීම නිසා සිදුවන අනර්ථය අන් අයට පමණක් නොවේ, ඔබටම විය හැක. එහෙයින් මේවා විධිමත්ව බැහැර කරලීමට කටයුතු කිරීමෙන් අන් අයගේ ආරක්ෂාවට හා පැවැත්මට මෙන්ම ඔබේද ආරක්ෂාවට හා පැවැත්මට සුභවාදී වන හෙයින් අද අදම’ ඔබ ගලවන ජීවිතය ඔබේම විය හැක’ යන ධර්මතාවයට ගරු කරමින් කටයුතු කිරීමට පෙළගැසීම නොපමාවම කළ යුතුව ඇතැයි සිතමි.

 

දොඩන්දූවේ
කේ. එච්. බන්දුසේන


නව අදහස දක්වන්න