මතක බණ වටින්නේ ජීවත්වෙන අයට | දිනමිණ

මතක බණ වටින්නේ ජීවත්වෙන අයට

ශාස්ත්‍රපති, මහගල්කඩවල පුඤ්ඤසාර හිමි

ආගම්, දර්ශන හා මතවාදවලට අනුව යමෙකු මියගිය පසු සිදුකරන චාරිත්‍ර විවිධය. බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අනුව කෙරෙන චාරිත්‍ර අතර මතක බණ හා දානය සමාජය තුළ කැපී පෙනේ. මතක බණ හා දානය යනු කුමක්ද? එහි පරමාර්ථය, සත්‍යතාවය කුමක්ද යන කරුණු පැහැදිලි කර දෙමින් අද ධර්ම සභාවට අදහස් දක්වන්නේ රත්විට රජමහා විහාරාධිපති, සත් කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන්ය.

යමෙක් මිය ගිය පසු බෞද්ධාගමානුකූලව පැවැත්වෙන මතක බණ කුමන පදනමකින් පැවැත්වෙන්නක්ද?

අභාවයෙන් පසු ඔහු හෝ ඇය සිහිකොට පවත්වනු ලබන අනුශාසනාව ‘මතක බණ’ වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී මියගිය තැනැත්තා හෝ තැනැත්තිය ජීවත්ව සිටි අවධියේ කළ යහපත් ක්‍රියා සිහිපත් කරමින් මියගිය අයගේ ඊළඟ ආත්මය සුගතිගත වීමට පින්පෙත් පමුණුවනවා. ඒ වගේම මිය පරලොව ගිය තැනැත්තා වෙනුවෙන් ගොඩනැඟුණ ශෝකාකූල තත්ත්වය මඟ හරවා ජීවිත යථාර්ථය, අනියත බව සිහිගැන්වීමද මේ ‘මතක බණ’ ඔස්සේ සිදුකෙරෙනවා.

මිය යාමෙන් පසු මතක බණ පැවැත්වීමට සම්මත වූ කාලසීමා තිබෙනවද?

කෙනෙකුගේ මතකයන් අවර්ජනය කරමින් ඒ තැනැත්තා වෙනුවෙන් පුණ්‍යකර්ම පවත්වන්න කාලයක් අවශ්‍ය නැහැ. එහෙත් අපි චාරිත්‍රයක් වශයෙන් දින තුනේදී, දින හතේදී සහ තුන් මාසයේදී ‘මතක බණ’ පැවැත්වීම සිදුකරනවා. මෙය චාරිත්‍රයක් මිස සම්මතයක් නෙවෙයි.

චාරිත්‍රයක් වශයෙන් හෝ එවැනි කාල යොදා ගැනීමට විශේෂයක් තිබෙනවද?

බෞද්ධ නිවෙස්වල සාමාන්‍යයෙන් දින තුනක් අවසානයේදී මියගිය තැනැත්තාගේ දේහය නිවසින් බැහැර කරනවා. ඒ වෙනුවෙන් තුන්වන දිනයේදී මියගිය තැනැත්තා වෙනුවෙන් මතක වස්‍ත්‍ර පූජාකර ස්වාමීන් වහන්සේ විසින් මතක බණ දේශනා කරනවා. ඊට පසු මියගිය දින සිට දින සතකදී සත් දින දානය පිරිනැමීමට පෙර දිනයද මියගිය තැනැත්තා සිහිකොට ‘මතක බණ’ දේශනා කිරීම සිදුවෙනවා. මේ දින සත ඇතුළත මෙසේ ‘මතක බණ’ දේශනා කිරීම තුළින් අදහස් කරන්නේ මියගිය තැනැත්තාගේ ආත්මය ගන්ධබ්බ අවධියේ සැරිසරමින් සිටින බව ඇතැමුන් විශ්වාස කරන නිසයි. එවැනි අවස්ථාවේ හිඳින මියගිය තැනැත්තාගේ ආත්මය ඔහු සැරිසැරූ ස්ථාන වෙත පැමිණෙන බවත්, එවිට ඔහු වෙනුවෙන් සිදුකරන පින් දහම් ක්‍රියාවන් පිළිබඳ සැනසීමෙන් හිඳින බවත් ඔහු ජීවිත කාලය පුරා සිදු කළ යහපත් ක්‍රියා නැවත ශ්‍රවණය කිරීමෙන් ඔහුට සුගතියකට පත්වීමට හෝ යහපත් ආත්මයකට අවතීර්ණවීමට හැකිවන බවටත් පැරණි ජන විශ්වාසයක් පවතිනවා. ඒ වගේම මියගිය තැනැත්තෙකුට ගණ්ධබ්බ අවධියේ පසුවීම දිගින් දිගටම කළ නොහැකි නිසාත් මිය ගිය දින සිට තුන් මසක් ඇතුළත ඒ තැනැත්තා කරගත් කුසල් අනුව කුමන හෝ ආත්මයකට පිවිසීම සිදුවන නිසාත් මේ තුන්මාසය පුරා සිදුකරන ‘මතක බණ’ හා දානය විශේෂ වුවක් වශයෙන් බෞද්ධ ජන සමාජය පිළිගන්නවා.

ඇතැම් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා කෙනෙක් මියගිය පසු දින නියම කිරීම අවශ්‍ය නැහැ. ඕනෑම දිනයක පින්පෙත් පැමිණවීම සිදු කළ හැකියි කියා.

ඔව්! ඇතැම් භික්ෂුන් වහන්සේලා එසේ ප්‍රකාශ කරනවා. මා එය අනුමත කරන්නේ නැහැ. මොකද යම් දෙයක පැවැත්මට නිශ්චිත දිනයක් කාලයක් හා ස්වභාවක් තිබෙන්න ඕන. ඒ නිසා තමයි එය සම්මතයක් වශයෙන් පවත්වන්න උනන්දු වෙන්නෙ. නැත්නම් එවැනි චාරිත්‍ර සමාජය තුළින් මැකී යනවා. දැන් බලන්න සමාජය මේ වන විට අති කාර්යබහුල විදියටයි ගෙවෙන්නෙ. ඒත් කොපමණ කාර්යබහුල වුවත් බෞද්ධ නිවසක ඥාතියකු මිය ගිය පසු මේ ආකාරයට සිදුකරන ආගමික චාරිත්‍ර කෙරෙනවා. ඒවා කෙරිය යුතුම අංගයක් ලෙස සමාජ චාරිත්‍ර තුළ මුල් බැහැල තිබෙනවා. ඇතැමුන් ඒවා විශ්වාස නොකළත් කෙසේ හෝ සිදු කරනවා. මෙමඟින් අවැඩක් සිදු වෙන්නෙ නැහැ. මිය ගිය අයට හා ජීවත්ව ඉන්න අයට යහපතක්ම පමණයි සිදු වෙන්නෙ. ඒ නිසා මෙවැනි චාරිත්‍ර නිෂ්ප්‍රභා කිරීම අනුමත කරන්න බැහැ. හැබැයි තවත් දෙයක් තිබෙනවා. මියගිය තැනැත්තකුට පින් ලබා ගැනීමට නියමිත දිනයක් නැහැ කියන එකත් සත්‍යයක්. අතීතයේ සිට පැවත එන මේ චාරිත්‍ර නිසා තමයි අදටත් මෙවැනි ක්‍රියා ආරක්ෂා වී තිබෙන්නේ.

මියගිය තැනැත්තන් වෙනුවෙන් පවත්වන ‘ මතක බණ’ ජීවත්ව ඉන්නා පුද්ගලයන්ට යම් බලපෑමක් සිදු කරනවද?

විශාල යහපත් ක්‍රියාවලියක් සිදුවෙනවා. ඥාතිවරයාගේ මරණයෙන් පසුව නිවසේ ඇති වී තිබෙන ශෝකාකූල තත්ත්වය සංඝයා වහන්සේගේ ධර්ම දේශනාවක් තුළින් පහවී යනවා. එවැනි සෝචනීය පසුබිමක තිබෙන නිවසක සිටින පිරිස දුක, ශෝකය, සන්තාපය තුළින් හෙන්බත්වී සිටීම සාමාන්‍ය දෙයක්. එවන් අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් නිවසට වඩමවා ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිවිධ ලක්ෂණ වටහාදී මරණය කාටත් පොදු වුවකැයි දේශනා කිරීම ඔවුන්ගේ සිතට සහනයක් ගෙන දෙනවා. ඒ වගේම තම ඥාතියා ජීවත්ව සිටියදි කළ යහපත් ක්‍රියා මෙනෙහි කරමින් ඒ තැනැත්තාගේ පරලොව ජීවිතයට සුගතියක් අත්කරදීටම කටයුතු කිරීම නිසා ජීවත්ව සිටින්නාවූ තැනැත්තන්ට හිතට සහනයක් ලැබෙනවා. මේ ආකාරයට දැනුවත් කිරීම තුළින් සැමගේ සිත් සැනසුමට පත් වෙනවා.

එවිට ශෝකයෙන් කල්ගෙවනවාට වඩා පින් දහම් කිරීමට වෙහෙසෙනවා. මෙවැනි ක්‍රියා මඟින් ජීවත්ව සිටින අයගේ සිත් පින් සිතුවිලිවලින් පිරෙනවා. මියගිය ඥාතියා වෙනුවෙන් හෝ යහපත් කාර්යයන්හි නිරතවීම ඉතාම වැදගත් දෙයක්.

‘මතක බණ’ තුළින් අපට ජීවිත යථාර්ථය කියා දීමක් වෙනවා නේද?

ඔව්! මතක බණ ශ්‍රවණයෙන් හෝ සංවිධානයෙන් අපි මොහොතකට හෝ ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවා. එය ජීවිතයේ සදාතනිකයැයි සම්මත කරගත් දේ සමඟ සසඳා බලනවානම් තමයි ඉතාම වැදගත් වෙන්නේ. එහෙම වුණොත් කිසිවෙකු මරණයට බිය වෙන්නෙ නැහැ.

 

සටහන - නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න

Or log in with...