සිංගප්පූරු සහ අපේ කතාව | දිනමිණ

සිංගප්පූරු සහ අපේ කතාව

සිංගප්පූරුව අපූර්ව රටකි. විවිධ මාන ඔස්සේ එරට ගැන බොහෝ දේ කතා කළ හැකි ය. මේ අනුව නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ අගමැති ලී ක්වාන් යූ මැතිතුමා විසින් රචිත සිංගප්පූරු කථාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට මා තීරණය කෙළේ, ඒ මඟින් ශ්‍රී ලාංකේය අපට බොහෝ පාඩම් ඉගෙන ගන්නට හැකි නිසා ය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පත්වීමක් ලැබීමෙන් පසු වසර තුනක කාලයක් එරට සේවය කළ කාල පරාසය තුළ දී, සිංගප්පූරුව ගැනත්, එහි නායකයන් ගැනත් බොහෝ දේ දැන කියා ගන්නට මට අවස්ථාවක් ලැබිණි. සිංගප්පූරු කතාව පරිවර්තනය කිරීම සඳහා මා කරන ලද සොයා බැලීම් මඟින් හමුවූ කරුණූ අනුව, ලී ක්වාන් යූ නමැති පිරිපුන් රාජ්‍ය නායකයා තුළ වූ තීක්ෂණ බුද්ධිය, නොපසුබට උත්සාහය සහ රාජ්‍ය පාලනය පිළිබඳ වූ අපරිමිත දැනුම මා පුදුමයට පත් කෙළේ ය. මේ කෘතිය පරිවර්තනය කිරීමට මඟ පෑදුණේ, එක් උත්සව අවස්ථාවක දී එතුමා සමඟ වදනක් දෙඩීමට මට අවකාශයක් ලැබීම නිසා ය. මේ එම අවස්ථාවේ ඇති වූ දෙබස ය.

”ඔබතුමා ගේ සිංගප්පූරු කථාව මම සම්පූර්ණයෙන් ම කියෙව්වා. ඒක අපේ රටේ ජනතාවට සිංහලෙන් කියවන්න ඉඩක් ලැබේ නම් හරි ම අපූරු යි.”

”කවුරු හරි එය පරිවර්තනය කරනවාට මගේ අකමැත්තක් නැහැ.”

එම කෘතිය පරිවර්තනය කිරීමට ඉටාගත් මම එතුමා ගේ ලේකම් වෙත ලිපියක් යොමු කර, ඒ සඳහා අවසර පැතුවෙමි. එම ලිපියට දින හතක් තුළ දී පිළිතුරක් ලැබිණි. එසේ ම, සිංහල පරිවර්තනය සඳහා ලී ක්වාන් යූ මැතිතුමා ගේ පෙරවදනක් අවශ්‍ය විය. මා ඒ සඳහා යොමු කළ ලිපියට ද පිළිතුරු, සතියකින් ලැබුණේ එතුමා ගේ අත්සනින් යුත් වඩාත් කාලෝචිත පෙර වදනක් සමඟ ය. එම පෙරවදනේ ශ්‍රී ලාංකේය අපට වඩාත් වැදගත් කොටස මෙසේ ය.

”ශ්‍රී ලාංකිකයින් හට මෙම සිංහල පරිවර්තනය පැහැදිළි කරදෙන කරුණක් වන්නේ, විශේෂයෙන් ම දේශපාලන නායකයන් ඡන්ද දිනා ගැනීමේ අරමුණින් ජාති, භාෂා, සංස්කෘතික සහ ආගමික බලවේග නො ඇමතිම හේතු කරගෙන අප යටපත් කර ගැනීමට පාදක විය හැකි ව තුබූ බොහෝ අනවශ්‍ය වේදනාත්මක අත්දැකීම්වලින් බැහැර වීමට සිංගප්පූරුවට හැකි වූ අකාරය යි. යම් අවස්ථාවක උද්වේගකර හැඟීම් ඉස්මතු වූයේ නම් තර්ක ඥානය සහ පොදු හැඟීම් කවුළුවෙන් පිටතට ඇ දී යනු නියත ය. මගේ පරම්පරාවේ සිංගප්පූරු ජනතාව වටහා ගත්තේ මේ සත්‍යතාව යි.”

සැබෑවට ම සිංගප්පූරුව නමැති රටේ නායකයෝ ජාතිවාදීන් නොවූ අතර දූෂිතයෝ ද නොෙවති. සිංගප්පූරුව ජාතීන් අතර එකමුතුව සඳහා බොහෝ ප්‍රායෝගික පියවර ගෙන තිබේ. මේ අනුව රජය මඟින් ගොඩනංවන මහල් නිවාසවල කිසි ම අවස්ථාවක මැලේ, චීන හෝ දමිල එක් ජාතියකට පමණක් ජීවත් වීමට අවස්ථාවක ලබා දුන්නේ නැත. එ්වායේ මේ සියලූ දෙනා ම එකට ජීවත්විය යුතු විය. අවම වශයෙන් එක් ජාතියකට එක් මහලක පමණක් නිවාස පහසුකම් ලබා දුන්නේ නැත. මේ නිසා, සහජීවනය යහමින් පවත්වාගෙන යාමට හැකි ය. කිසිදු ප්‍රදේශයක් එක් ජාතියකට පමණක් වෙන් වන්නේ ද නැත. ලී ක්වාන් යූ මැතිතුමා කවදත් කල්පනා කෙළේ, ජාතිබේදය පිළිකාවක් ලෙසයි. එය සංවර්ධනයට බාධාවක් මෙන් ම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි. එතුමා තම බලය ස්ථාපනය කර ගත් පසු 1960 දී ගන්නා ලද වැදගත් පියවරක් වන්නේ දූෂණය මර්දනය කිරීම පිණිස පාර්ලිමේන්තුවට වැඩි බලයක් ගෙන දෙන පනතක් සම්මත කිරීම ය. සිංගප්පූරුව සුද්ධ කිරීම පිණිස දූෂණ කටයුතු විමර්ශනය කිරීමට බියුරෝවක් ද ආරම්භ කෙරිණි.

පසු කාලයේ තමන් ගේ ඉතා කිට්ටුවන්තයෙක් විසින් කරන ලදැයි කියන මුදල් අවභාවිතා කිරීමක් වෙනුවෙන් වූ පරීක්ෂණ සඳහා එතුමා යොදා ගත්තේ මේ පනතේ විධිවිධාන යි. ලී ක්වාන් යූ ගෙන් කිසිදු සහනයක් නොලැබෙන බව දත් එතුමා ගේ හිතවතා අත්අඩංගුවට පත්වීමට පෙර සිය දිවි නසා ගත්තේ ය. ඒ ලී ක්වාන් යු ගේ පිළිවෙතයි. වරදක් වෙනුවෙන් තමන් ගේ කෙනකුට හෝ සමාවක් නැත. ගැලවීමක් නැත. මේ නිසා, කිසිවෙක් හෝ වරදක් කරන්නට සිතන්නේවත් නැත.

හැට දශකයේ සිංගප්පූරුව මැලේසියාවට අනුබද්ධව පැවතිණි. එවකට මැලේසියාව හා සිංගප්පූරුව අතර පැන නැගුණු විවිධ ගැටලූ අතර චීන-මැලේ ගැටුම් දේශපාලනික වුවමනා වෙනුවෙන් කළ ආයෝජනයක් බව ලී ක්වාන් යූ කල්පනා කෙළේ ය. එසේ ම, මැලේසියාවක් තුළ එක් ජාතියක් පමණක් වැඩි බලයක් ලබා ගැනීම ඔහු පිළිකෙව් කළ අතර සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන් වී තනි රටක් වශයෙන් ඉදිරියට යෑමේ අවශ්‍යතාව ගැන එතුමා කල්පනා කෙළේ ජාතිවාදය රජ කරවන මැලේසියාවකට තිබූ අකැමැත්ත නිසා ය.

මැලේසියාවේ භාෂා ප්‍රශ්නය හා එක් ජාතියකට විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් එදා කතිකාවතක් විය. රාජ්‍ය භාෂාව මැලේ භාෂාව කිරීම හා මැලේ ජාතියට වැඩි වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් වූ මේ පනත් ගැන මැලේසියානු පාර්ලිමේන්තුවේ දී විවාද ඇති විය. එම අවස්ථාවේ දී ලී ක්වාන් යූ මැතිතුමා විසින් එදා මැලේ පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශය අද අපට ද වලංගු වේ. එම කතාවේ අපට අදාළ කොටස් මෙසේ ය.

”අප මිනිසුන්ට කථා කොට නුඹලා ගේ දුප්පත්කමට හේතුව මැලේ ජාතිකයන්ට හිමි වරප්‍රසාද අහිමි වීම හා විරුද්ධ පක්ෂ මැලේ ජාතික විශේෂ වරප්‍රසාද පිළි නොගැනීම යැයි එත්තු ගන්වන්නේ නම්, එහි අවසානය කුමක්ද? අප මැලේ භාෂාව කතා නොකරන නිසාත්, රජය මැලේ භාෂාවෙන් ලියකියවිලි සකස් නොකර නිසාත්, නුඹලා දුප්පත් වී ඇති බවට විශ්වාසයක් ගම්බද මිනිසුන්ට එත්තු ගැන්වීමෙන් 1967 වන විට ප්‍රාතිහාර්යයක් සිදුවනු බව ඔවුන් විශ්වාස කරනු ඇත. මේ අනුව 1967 වන විට මැලේ භාෂාව රාජ්‍ය භාෂාව වී අප සියලූ දෙනා එකම භාෂාව කථා කරන්නට පටන් ගත් පසු මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් වීම නියත යි. එසේ නොවුණොත් කුමක් සිදුවේ ද?”

ලී ක්වාන් යූ මැතිතුමා ගේ එම තර්කය බිඳිය නොහැකි වූව ද, විශේෂ වරප්‍රසාද පනත හා භාෂා පනත සම්මත විය. සිංගප්පූරුව මැලේසියාවෙන් වෙන්වීම 1965 දී සිදු විය. එතැන් පටන් ජාතී, ආගම් හා භාෂා බේදයකින් තොරව කටයුතු කිරීමට සිංගප්පූරු නායකයන්ට හැකි වීම නිසා, 1950 දශකයේ අපිරිසුදු මඩගොහොරු හා පැල්පත්වලින් සමන්විතව තිබූ සිංගප්පූරුවට, එක් පරම්පරාවකින් ම තුන්වැනි ලෝකයෙන් පිටමන්ව පළමු ලෝකයේ රටක් වශයෙන් නැවත ඉපදෙන්නට හැකියාව ලැබිණි. මේ සිහිනය යථාර්ථයක් කෙළේ ලී ක්වාන් යූ නමැති තුන් කල් දත් කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයා විසිනි. සිංගප්පූරුවේ කතාව තුන්වැනි ලෝකයේ රාජ්‍ය නායකයන්ට රාජ්‍ය පාලනය හා සංවර්ධනය ගැන අත් පොතක් නොව, පුස්තකාලයකි.

රංජිත් ගුණරත්න

නව අදහස දක්වන්න