බංග්ලාදේශයේ නිර්භීත ක්‍රීඩා රටාව ඉන්දීය පිලේ නායකයාගේ පැසසුමට | දිනමිණ

බංග්ලාදේශයේ නිර්භීත ක්‍රීඩා රටාව ඉන්දීය පිලේ නායකයාගේ පැසසුමට

 නිදහස් කුසලාන ජයග්‍රහණයේ අභියසටම පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ‘නිර්භීත ක්‍රිකට් ක්‍රීඩාව‘ පිළිබඳව ඉන්දියා නායක රෝහිත් ෂර්මා බංග්ලාදේශයට සිය ප්‍රශංසාව පුද කරයි.

ඉන්දීය කඩුලු රකින-පිතිකරු දිනේෂ් කර්තික් අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාවට කුසලානය දිනා දෙන තෙක් බංග්ලාදේශය දියත් කළේ අති ප්‍රබල සටනකි.

ඉතාමත් දක්ෂ කණ්ඩායමක් වන බංග්ලාදේශය පසුගිය වසර තුන තිස්සේ ඉතාමත් දියුණු වී ඇතැයි ෂර්මා කියයි.

“බංග්ලාදේශය කිසිම බයක් නැතිව ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒක ඉතා හොඳයි. සමහර විට, තමන්ට ඕන විදියට වැඩ කටයුතු සිද්ධ වෙන්නේ නැතිකොට, එවැනි ක්‍රීඩාවකින් හානියක් සිදුවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් එයාලට වුවමනා කරන්නේ ඒ ශෛලියේ ක්‍රීඩාවකුයි“ ෂර්මා පෙරේදා පැවැති අවසන් තරගයෙන් පසුව කියා සිටියේය. “පැහැදිලිවම, බංග්ලාදේශය ඉතාමත් දක්ෂ කණ්ඩායමකි. ඔවුන්, ඔවුන්ගේ ක්‍රීඩා ශෛලිය කොහොම වෙනස් කරගෙන තියෙනවාද කියලා අපි පහුගිය අවුරුදු තුනේදී දැකලා තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරුණ ක්‍රීඩකයන්ට මග පෙන්වමින් ඔවුන් ඉදිරියට ගෙනෙමින් සිටිනවා.“

ශ්‍රී ලංකාව දෙවතාවක් පරාජය කරමින් ඉන්දියාව සමග අවසන් සටනට පිවිසීම සඳහා අර්ධ ශතක දෙකක් ලබා ගත් කඩුලු රකින-පිතිකරු මුෂ්ෆිකුර් රහිම් හා ජ්‍යෙෂ්ට ක්‍රීඩක මහ්මුදුල්ලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළහ. ලකුණු 167ක ඉලක්කයක් හඹා යාමේ තියුණු තරගයේදී කර්තික් පන්දු 8කින් ලබා ගත් ලකුණු 29 ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගිය අතර බංග්ලාදේශය අවසන් ඕවර දෙක ඇතුළත ලකුණු 35ක් ලබා දුන්නේය. රුබෙල් හුසේන් යැවූ 19 වැනි ඕවරයෙන් ලකුණු 22ක් උදුරා ගැනුණු අතර සොම්යා සර්කාර් යැවූ තීරණාත්මක අවසන් පන්දු හයෙන් ලකුණු 13ක් ලබා ගැනිණි. එහෙත් අවසන් පන්දුවේදී ලකුණු 6ක් ලබා දුන් සර්කාර් සනසාලමින් ෂර්මා මෙසේ කියා සිටියේය.

“තරගයේ අවසන් අවස්ථාවන් කිසිවිටෙකත් පහසු වන්නේ නැහැ. සර්කාර් ප්‍රධාන පෙලේ පන්දු යවන්නෙක් නොවන බව අපි සැමවිටම දැන සිටියා. ඔහු ‘පාට් ටයිම්‘ පන්දු යවන්නෙකු පමණයි. තීරණාත්ම ඕවර යවන ඕනෑම කෙනෙකුට එවැනි දෙයක් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවල පීඩනය එල්ල වෙන්නේ පිතිකරුට නොව පන්දු යවන්නාටයි.“ 

නව අදහස දක්වන්න