බංග්ලාදේශයට තරග තහනමක් පැනවිය යුතුයි | දිනමිණ

බංග්ලාදේශයට තරග තහනමක් පැනවිය යුතුයි

හර්භජන් සිං

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති 6 වැනි තරගයේ අවසන් ඕවරයේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවිය යුතු බව හර්භජන් සිං කියයි.

දෙපිලේ ක්‍රීඩකයන් අතර ශාරීරික ගැටීම්, කෑගැසීම් හා වීදුරු බිඳ දැමීමද මෙහිදී සිදුවූ අතර බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන්, තරගය අතහැර පිටියෙන් ඉවත්ව එන ලෙසට ඔහුගේ පිතිකරුවන්ට අණදෙන අයුරුද ප්‍රදර්ශනය විනි.

මේ සිදුවීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ලොව වටා ක්‍රිකට් ලෝලීන් බොහොමයක් අහිමි වීමට ඉඩ තිබෙන බවද හිටපු ඉන්දීය සුපිරි දඟ පන්දු යවන්නා පවසයි.

“මම කතා කරන්නේ ඒ සිද්ධිය ගැනයි. මමත් මේ වගේ සිදුවීම් ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙය, ආපසු හැරී බලන විට හැමවිටම ලජ්ජා හිතෙන සිදුවීමකි. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට කණගාටුව ගෙන දෙන සිදුවීමකි. බංග්ලාදේශයට ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙක් අහිමි වන්නට ඇති කියා මට හිතෙනවා.“

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවූ දඩය ප්‍රමාණවත් නොවන බව පවසන හර්භජන් සිං පිට දඟ පන්දු යවන්නා, බංග්ලාදේශ කණ්ඩායමට තහනමක් පැනවීමට අවශ්‍ය බව අවධාරණය කරයි.

“පැහැදිලිවම ඔවුන් එසේ නොකළ යුතුව තිබුණා. ඔවුන්ට කිසිම දෙයක් කඩා බිඳ දමන්න බැහැ. තරග විනිශ්චයේදී වැරදි සමහරක් තිබුණා. නමුත් එවැනි දේවල් තරගයකදී සිදුවිය හැකියි. පිටියෙන් ඉවතට එන්න කියලා කෙනෙකුට තමන්ගේ ක්‍රීඩකයන්ට කියන්න බැහැ.ඊට පස්සේ, ජයග්‍රහණය සමරමින් දොර ජනෙල් බිඳින්න බැහැ.“

“තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මේ සිදුවීම් ගැන මීට වඩා බරපතළ විදියට හිතන්න තිබුණා. ඔවුන්ට ලැබුනේ ඔවුන්ගේ තරග මුදලින් සියයට 25ක දඩයක් පමණක් වීම ගැන මට හරි පුදුමයි. ඔවුන්ට තරග දෙකක තහනමක් පනවන්න තිබුණා කියලයි මට හිතෙන්නේ. මුළු කණ්ඩායම ම තහනම් කළ යුතුයි“ හර්භජන් සිං වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න