අධිකරණ සංවිධාන කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපති උපදෙස් දී නෑ | දිනමිණ

අධිකරණ සංවිධාන කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපති උපදෙස් දී නෑ

නෙල්කා මැදගෙදර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා උපදෙස් දී නැතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කීය.

හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැතැයි නීතිපතිවරයා ප්‍රකාශ කළ බවට කර තිබෙන ප්‍රකාශය සාවද්‍ය බව හෙතෙම කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා විසින් දන්වා සිටියේ දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත නොව “දූෂණ විමර්ශනය කිරීම සඳහා විනිශ්චය සභාවක්” ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත වූ පනත් කෙටුම්පතක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි දන්වා සිටියේය.

රජයේ ප්‍රධාන නීති නිලධාරියා වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින තමන් මෙය ප්‍රකාශ කිරීම වගකීමක් ලෙස සලකන බව හෙතෙම කීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එකී පනත් කෙටුම්පතට සහමුලින්ම වෙනස් බව හෙතෙම කීය.

නීතිපති දෙපාර්තමේන්තුව සෑම කරුණක් සම්බන්ධයෙන්ම ඉතා වගකීමෙන් ක්‍රියා කරන බවත් එකී විනිශ්චය සභාව ස්ථාපිත කිරීමේ පනත වෙනුවෙන් පවත්වාගෙන ගිය ගොනුව තමන් සතුව තිබෙන බවත් ඒ මහතා කීය.

එම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහතා මේ බව කීය.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති “අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කීය.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති “අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සහ අතරමැදි පෙත්සම් වැඩිදුර විභාගය සඳහා ඊයේ (19) කැඳවන ලදී.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ කීය.

මෙරට පළමුවරට මහාධිකරණ පිහිටවූයේ 1973දී අධිකරණ පරිපාලනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය සතුව තිබූ අපරාධ නඩු විසඳීම සඳහා වන අධිකරණ බලය මහාධිකරණයට පවරමින් එය පිහිටවූවා. එහිදී සියලුම නඩු විභාගයට ගනු ලැබුවේ ජූරි සභාවක් සහිතව මහාධිකරණ විනිසුරුවරයකු විසින්. වර්තමාන ව්‍යවස්ථාව අනුව ඉහළ අධිකරණ තුනක් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය එම අධිකරණ තුන ලෙස හැඳින්විය හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(2) වගන්තිය මගින් මහාධිකරණ පිහිටුවීම, ඉවත් කිරීම, සංශෝධනය කිරීම, වෙනත් තැනකට ගෙනයාම යනාදී බලය පාර්ලිමේන්තුව වෙත පවරා තිබෙනවා. (105) සහ (111) වගන්ති අනුව පිහිටවූ සමාජවාදී ජනරජයේ මහාධිකරණය සහ පළාත්බද මහාධිකරණය ලෙස මහාධිකරණ දෙකක් පවතිනවා. සමාජවාදී ජනරජයේ මහාධිකරණ අපරාධමය වරදවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනවා. 11 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මහාධිකරණය සම්බන්ධ කටයුතු කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා තිබෙනවා. අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුව මහාධිකරණ විනිසුරුවන් පත් කිරීම ජනාධිපතිවරයා වෙත පැවරීම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට නිර්දේශ කිරීම, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම සහ ධුරයෙන් ඉවත් කිරීමේ බලය අධිකරණ සේවා කොමිසම සතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහාධිකරණ පිහිටුවීම සහ පත් කිරීම සඳහා වන විධි විධාන සලසා තිබූ නමුත් එම මහාධිකරණ ක්‍රියාත්මකවීම, අධිකරණ බලය යනාදිය තීරණය කිරීම “1978 අධිකරණ සංවිධාන පනත” මගින් සිදු කරනු ලැබුවා.

පනත් කෙටුම්පත මගින් සිදුවන්නේ සමගාමි මහාධිකරණයක් පිහිටුවීමයි

මෙම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත මගින් යෝජිත මහාධිකරණය පිහිටවූ පසුවත් සෙසු මහාධිකරණ පෙර තිබූ පරිදිම අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. මහාධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි සීමාව මෙහිදී වෙනස් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත මගින් උත්සහ කරන්නේ සමගාමී මහාධිකරණයක් පිහිටුවීමයි. ත්‍රිපුද්ගල මහාධිකරණයක් ලෙස එය ක්‍රියාත්මක වීමට නියමිතයි.

අධිකරණ සංවිධාන පනතෙහි වගන්තිය මගින් මෙරට පවතින අධිකරණවල මූලික අපරාධමය හෝ සිවිල් අධිකරණ බලය පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. මහාධිකරණය සතු අධිකරණ බලය එය ක්‍රියාත්මක වන බල සීමාව, කෙබඳු පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකිද යන්න එම පනත මගින් දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම වරදක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකු සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ බලය එමගින් මහාධිකරණය වෙත පවරා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ වැරැදි කරන විදේශිකයන් හෝ විසේ රටවල වැරැදි කරණ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය මහාධිකරණය සතුව පවතිනවා. ශ්‍රී ලංකා සීමාව තුළ සිදු කෙරෙන වැරැදි සම්බන්ධ අධිකරණ බලය කුමන ප්‍රදේශයේ තිබෙන මහාධිකරණයට අයත් විය යුතුද යන්න එහිදී වෙන්ව දක්වා තිබෙනවා. යම් ප්‍රදේශයක කළ වැරැදි සම්බන්ධ නඩුවක් එම ප්‍රදේශයෙන් පිටත පිහිටි මහාධිකරණයක විභාග කිරීමේ තීරණය ගත හැක්කේ අගවිනිසුරුවරයාට පමණයි. එහිදී විධායකයේ හෝ වෙනත් පාර්ශවයක මැදිහත්වීමක් සිදු වන්නේ නැහැ.

 

මහාධිකරණ-පළාත් මහාධිකරණවල නඩු විභාග කිරීමේ ක්‍රම තුනක්

මහාධිකරණ සහ පළාත්බද මහාධිකරණවල නඩු විභාග කිරීමේ ක්‍රම තුනක් තිබෙනවා. නඩු විභාගය ජූරියක් රහිතව එක් මහාධිකරණ විනිසුරුවරයකු විසින් විමසීම, එක් ක්‍රමයක්. ජූරි සභාවක් විසින් මහාධිකරණ විනිසුරුවරයකු ඉදිරියෙහි නඩු විභාගය සිදු කිරීම තවත් නඩු විභාග කිරීමේ ක්‍රමයක්. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ජූරි සභාවක් රහිතව නඩු විමසීම තෙවැනි ක්‍රමයයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් නඩු විභාග කිරීම මෙම පෙත්සම් මගින් සාකච්ඡාවට ලක්කර තිබෙනවා. මෙම ත්‍රිපුද්ගල විනිසුරුවරුන් විසින් නඩු විමසීම හඳුන්වා දී ඇත‍්තේ 1915 අංක 18 දරණ පනත මගින්. එම බලය මුලින්ම ලබාදී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. එම අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සංශෝදනය කිරීම වරින්වර සිදුවුණා. නඩු පැවරිය යුත්තේ කාටඑරෙහිද හෙවත්, විත්තිකරුවන්, එම විත්තිකරුවන්ට එරෙහි චෝදනා සැකසීම සහ එය විභාග කරණ විනිසුරුවරුන් තීරණය කිරීම පාර්ලිමේන්තුව විසින් මීට පෙර සිදු කර තිබෙනවා. පසුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවරුන් පත් කිරීමේ බලය අධිකරණ ඇමැතිවරයාට පැවරූ අවස්ථා තිබෙනවා‍. පසුව එය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයාට පවරා තිබෙනවා. නීතිපතිවරයා දක්වන කරුණු සැලකිල්ලට ගෙන අදාළ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කළ යුතු ද යන්න සහ විනිසුරුවරුන් නම් කිරීමේ බලය අගවිනිසුරුවරයා සතුයි.

එහි අභියාචන පෙත්සම් විභාග කිරීමේ බලය 1988 වසරට පෙර තිබුණේ අභියාචනාධිකරණයටයි. එහිදී විනිසුරුවරුන් පස්දෙනකු විසින් එම අභියාචනා විභාග කළ යුතුව තිබුණා. 1988 දී එය සංශෝදනය කළා. එම සංශෝදනයෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණයට ඍජුව යොමු කිරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා.

මෙම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත හඳුන්වාදීමට රජය කටයුතු කළේද යන්න ගැන කරුණු දැක්වීමට මා කැමැතියි. ‍‍

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පිළිතුරු පැහැදිලි කළ හැකියි. පොල් ගෙඩි කිහිපයක් සොරා ගැනීම සුළු වරදක් වුවත් රුපියල් මිලියන ගණනක් රජයේ මුදල් සොරකම් කිරීම හෝ වැරැදි පරිහරණය සුළු ලෙස සැලකිය නොහැකියි. මුල්‍ය හා ආර්ථිකමය බලපෑම් ඇති කළ හැකි ආකාරයේ වැරැදි සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමු කර තිබෙනවා. සාපරාධි සාවද්‍ය පරිහරණය ලෙස හැඳින්විය හැක්කේ දේපළක් හෝ මුදල් පමණක් නොවෙයි. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පරිදි භාණ්ඩගාර බිල්පත් ගනුදෙනුව, විශේෂ බලපත්‍රයක් නොමැතිව බැංකු පවත්වාගෙන යාම ආදිය එවැනි වැරදි ලෙස දැක්විය හැකිය.

එවැනි වැරැදි සම්බන්ධ විමර්ශනඑක් විනිසුරුවරයකුගේ නොව විනිසුරුවරුන් තිදෙනකුගේ අවධානයට යොමුකිරීම මෙහිදි සිදුකිරීමට අපේක්ෂිතයි. මේ වනවිට මහාධිකරණ විනිසුරුවරුන් 85 ක් සිටියත් ඇතැම් විනිසුරුවරුන් සිවිල් නීතියට පමණක් සීමා වී තිබෙනවා. ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදී විශේෂ මූල්‍ය ක්‍රියාවලින් සම්බන්ධ නඩු විභාග කිරීම මෙයින් අපේක්ෂිතයි.

 

මූල්‍ය අපරාධ පිළිබඳ නඩු කඩිනම් කිරීම අපේක්ෂාවයි

පවතින නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමය අනුව නඩු පවරා අවසන් තීන්දුවක් ලබාගැනීමට වසර 19 ක් පමණ ගත වෙනවා. බරපතළ ආර්ථික සහ මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු සඳහා එවැනි දීර්ඝ කාලයක ගත නොකර කඩිනම් කිරීම මෙහි මූලික අපේක්ෂාවක්.

නඩු පැවරීමේ බලය දැනටත් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ ‍ෙකාමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට තිබෙනවා. එම බලය පුළුල් කිරීම මෙහිදි සිදුකෙරෙනවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මෙම නඩු විභාග කිරීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු ප්‍රශ්න කළා. වෙන් වෙන්ව මහාධිකරණ නඩු විමසන විනිසුරුවරුන් තිදෙනකු එකම අධිකරණයක එක නඩුවක් දිනපතා විභාග කිරීම නිසා සෙසු නඩුවලට හානිවන බව පෙන්වා දී තිබුණා. එහෙත් මෙහිදි අධිකරණ‍ සේවා කොමිසම විසින් තෝරාගෙන විශේෂ පුහුණුවක් ලබා දෙන විනිසුරුවරුන් තිදෙනකු විසින් මෙම බරපතල මූල්‍ය හා ආර්ථික අපරාධ නඩු විභාග කිරීමට නියමිතයි. සාපරාධි සාවද්‍ය පරිහරණය, මූල්‍ය අපරාධ ඇතුළු බරපතළ මූල්‍ය නඩු ඔවුන් විසින් විභාග කරනු ඇත. එම පුහුණුව විනිසුරුවරුන්ට ලබාදෙන්නේ අධිකරණ සේවා කොමිසම විසිනුයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට වෙනම ස්ථාන හඳුන්වා දී තිබෙනවා

වෙනම ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීමට වෙනම ස්ථාන හඳුන්වාගෙන තිබෙනවා. එය සෙසු නඩු විභාගවලට බාධා නොවන ලෙස සිදුකෙරෙනු ඇති.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් නව මහාධිකරණ පිහිටුවීමක් සිදුකරන්නේ නැහැ. එමගින් සිදුකරන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් වෙන්කර පිහිටුවීම පමණයි. එම පනතේ 12 A(1) දරණ වගන්තිය සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා විසින් අධිකරණ ඇමැතිට කමිටු අවස්ථාවේදී උ‍පදෙස් දුන්නා. ඒ අනුව අදාළ සංශෝධන ඇතුළත් කොට 12(A) II වගන්තිය ඇතුළත්කොට තිබෙනවා. නඩු විභාග කරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. නව මහාධිකරණයක් පිහිටුවීම නොව දැනට සිටින විනිසුරුවරුන් තිදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණයක් පවත්වාගෙන යාම මෙමගින් යෝජිතයි. එය අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි දක්වා ඇති වැරැදි සම්බන්ධ නඩු විභාග කිරීමට සඳහා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහිදී විනිසුරුවරුන් තෝරා ගන්නේ දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන් 85 දෙනා අතුරින් එම තෝරා ගැනීම අධිකරණ සේවා කොමිසම විසින් සිදුකරනු ඇති. ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකිකයකු විසින් සිදුකළ වැරැදි සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ බලය මෙමගින් සිදුකෙරෙනවා. එය අලුත් දෙයක් නෙවෙයි. මීට පෙරද මහාධිකරණය සතුව තිබූ අධිකරණ බලයට ඇතුළත්.‍

නඩු පැවරීමේ බලය මෙහිදී නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට පවරා ඇත්තේ විරෝධතාවලට යටත්වයි.

දැනට සිටින මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම, නඩු පැවරිය හැකි වැරැදි පුද්ගලයන් නඩු පැවරීම, නඩු විමසීම් සිදුකරන ආකාරය, අභියාචන ක්‍රියාවලිය, නඩු විභාග කඩිනම්ක කිරීම යනාදිය මෙම පනත් කෙටුම්පත මගින් අනාවරණය කෙරෙනවා.

මෙහිදී සිදුකරන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ වෙන් කිරීම පමණයි. එය අලුත් මහාධිකරණයක් නොව වාණිජ මහාධිකරණය මෙන් තවත් එක් මහාධිකරණයක් පමණයි. එය එක් අධිකරණයක් හෝ කිහිපයක් විය හැකියි.

මෙම ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක වන පරාසය හෙවත් ප්‍රදේශය වැදගත්. එය ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මකයි. එහෙත් 9 II(2)අනුව මහාධිකරණ කලාපය අනුව එය සීමා වෙනවා. ඒ ඒ ප්‍රදේශයේ පිහිටුවන මහාධිකරණය‍ වෙත යොමු කිරීමේ බලය අගවිනිසුරුවරයා සතුයි. මෙරට පුරවැසියකු මෙරට අධිකරණ සීමාවෙන් පිටත සිදුකරන වැරදි සම්බන්ධයෙන් පවා නඩු පවරා විභාග කිරීම කුමන අධිකරණයට යොමු කළ යුතුද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය අගවිනිසුරුවරයා සතුයි.

මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය සුවිශේෂ වූ අධිකරණ බලයක් නැහැ. එය පළාත්බද මහාධිකරණය සතු බලතලවලින්ම සමන්විතයි. එකම විශේෂත්වය වන්නේ එය බරපතළ මූල්‍ය හා ආර්ථික වැරැදි සම්බන්ධයෙන් දිනපතා නඩු විභාග කිරීම සඳහා එය ක්‍රියාත්මක වීම පමණයි.‍

වැඩිදුර විභාගය අද (20)ට කල් තැබිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, ආචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ජනිත අබේවික්‍රම ලියනගේ, ඩබ්ලිව්. ඩී. ආර්. ධර්මසිරි ගුණරත්න විසින් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එම පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කොට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා සිටියහ.

එම පෙත්සම් සම්බන්ධ කරුණු දැක්වීම ජනාධිපති නීතිඥවරු පිරිසක් විසින් ඉකුත් 16 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සිදුකරන ලදි.

එම පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට කරුණු ඉදිරිපත්කරමින් අතරමැදි පාර්ශ්ව පෙත්සම් 11 ක් නීතිඥ සංජීව කලුආරච්චි මහතා මගින්ද තවත් පෙත්සම් දෙකක් වෙන් වෙන්වද ඉදිරිපත් කර තිබුණි.

රාජ්‍ය ඇමැතිවරුන් වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික සරත් විජේසූරිය, ආචාර්ය ජයදේව උයන්ගොඩ, සමන් රත්නප්‍රිය, ජගත් හේමචන්ද්‍ර, කේ. ඩබ්ලිව්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ නීතිඥ අරුණ ලක්සිරි විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.


නව අදහස දක්වන්න

Or log in with...