දේශපාලන බලය ගන්න ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත්‍රවලට කටයුතු කරනවා | දිනමිණ

දේශපාලන බලය ගන්න ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත්‍රවලට කටයුතු කරනවා

 දේශපාලන බලය ලබා ගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් සිටින බවත් එහිදී රටේ ප්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා පැවසිය.

ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කෙළේ යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ(19) පෙරවරුවේ එක් වෙමිනි.

ඊයේ පෙරවරුවේ යාපනය, ශාන්ත පැට්‍රික් පෞද්ගලික විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමාව එහි සිසු දරුවන් මහත් හරසරින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව තාක්ෂණික මධ්‍යස්ථානය සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේ දී උතුරු පළාතේ උපාධිධාරින් 197 දෙනකුට ගුරු පත්වීම්ප්‍ රදානය සංකේතවත් කරමින් 10 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

උත්සව සභාව ඇමැතු ජනාධිපතිවරයා ‍මෙසේද පැවසිය.

රට ගැන නොසිතා දේශපාලන බලය ගැන පමණක් සිතන පිරිස් ජනතාව හඳුනා ගතයුතුයි.2015 ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අවස්ථාවක කඩ කෙළේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් කෙළේ නැහැ.කෙතරම් විරුද්ධ දේශපාලන බලවේග පැමිණියත් ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු කිරීමට සූදානම් නැහැ.රටේ ප්‍රශ්න විසඳමින් ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා අවංක දේශපාලනඥයින්ගේ එකතුවක් රටට අවශ්‍යයි.

ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මම සතියක කාලයක් විදේශ නිල සංචාරවල යෙදී සිට ලංකාවට පැමිණියේ ඊයේ. මා රටේ සිටියේ නැති නිසා මා කළ යුතු රාජකාරී රාශියක් ගොඩගැසී තිබෙනවා. එහෙත් මේ විද්‍යාලයේ උත්සවයට මට ආරාධනා කළා. ඒ ආරාධනය අමතක කරන්න බැහැ. ඒ නිසා ගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේගෙන් ඒ ගැන මම විමසීමක් කළා. එතුමා එම අවස්ථාවේදී සඳහන් කළා යාපනයේ බිෂොප්තුමාත් විද්‍යාලයේ පූජකතුමන්ලාත් දරුවනුත් මගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා කියලා. කොපමණ මා අවිවේකී වූවත් දරුවන්ට මෙන්ම උතුරේ ජනතාවට තිබෙන ගෞරවය සහ ආදරය නිසා අද මෙහි පැමිණි බව සඳහන් කරන්නට ඕනෑ.

මා මිත්‍ර විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා එතුමාගේ කතාවේදී සඳහන් කළා උතුරේ ජනතාව මා හට ලබා දුන් සහයෝගය පිළිබඳව. ඒ දුන් සහයෝගය මගේ හිතේ තිබෙන නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස මා උතුරේ සියලු වැඩ කටයුතුවලට සහභාගි වෙනවා. අපේ රටට විවිධ දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ තිබෙන ප්‍රශ්න අප විසින් විසඳා ගත යුතු වෙනවා. ඉන් එහා ගිය තවත් වගකීමක් සහ යුතුකමක් අපට තිබෙනවා. ඒ සියලු දෙනාගේ මනුෂ්‍යත්වය තුළ තිබෙන බැඳීමයි. මිනිසුන්ට ආදරය කිරීමත්, සෙනෙහබරවීමත් මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමත් මිනිසුන් තුළ තිබිය යුතු ප්‍රධාන ප්‍රතිපත්තියක්, වගකීමක් සහ යුතුකමක් වෙනවා. ඒ ප්‍රතිපත්තියේ මා පිහිටා ඇති නිසයි මෙවැනි වැදගත් අවස්ථාවකට මම සහභාගි වෙන්නේ. මේ විද්‍යාලයේ දෙදහකට ආසන්න සිසුන් සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බව මා දැන ගත්තා. අද අපි තාක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කළා. මේ ගොඩනැගිල්ල සාදා ඇත්තේ ආදි ශිෂ්‍යයින්ගේ ආධාර, උදව්වලින් බව මා දැන ගත්තා. එම ආදි ශිෂ්‍යයින්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. එම උතුම් පරිත්‍යාගය කරලා මේ දරුවන්ට තාක්ෂණික මධ්‍යස්ථානය ඉදිකර දීම පිළිබඳව. එවැනි උදව් කළ හැකි ආදී ශිෂ්‍යයින් විශාල පිරිසක් මේ රට තුළත් විදේශවලත් සිටීම ඔබේ විද්‍යාලයට ඉමහත් ගෞරවයක් ලෙසයි මා සලකන්නේ.

ලංකාවේ බොහෝ නාගරික පාසල්වල ඉතාමත් ශක්තිමත් ආදි ශිෂ්‍ය සංවිධාන තිබෙනවා. මේ විද්‍යාලය අවුරුදු සියයකට වඩා පැරණි විද්‍යාලයක්. මෙහි කතා කළ කථිකයින් එය ප්‍රකාශ කළා. මේ විද්‍යාලයේ සිංහල සිසුන් පවා අධ්‍යාපනය ලැබූ බව පැවසුවා. මීට අවුරුදු හතලිහකට පනහකට පෙර උතුරේ, යාපනයේ විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ සිංහල සිසුන් විශාල සංඛ්‍යාවක් සිටි බව මම දන්නවා. පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කේ.බී. රත්නායක මැතිතුමා අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ යාපනයේ පාසලක බව මා දන්නවා. පාසලක් යනු අධ්‍යාපනය ලබා දෙන තැනක්. භාෂාව, ආගම හෝ වෙනත් භේදයකින් තොරවයි අධ්‍යාපනය ලබා දෙන් ඕනෑ. අධ්‍යාපනය ලබා දෙන සිසුන් සඳහා කිසිදු භේදයක් නැහැ. එය අධ්‍යාපනය පිළිබඳ මූලික සිද්ධාන්තයක් සහ ප්‍රතිපත්තියක්. මේ පාසලෙන් බිහි වූ සිසුන් අප රට තුළ මෙන්ම විදේශයන්හි විශිෂ්ටයින් විදියට විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරනවා.

ලෝකයේ ඕනෑම රටක තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට හැකි වෙන්නේ ඒ රටේ ජනතාවට හොඳ අධ්‍යාපනයක් ලබා දිම තුළින්. අධ්‍යාපනය ලබන්න ලබන්න උගතුන් වැඩි වෙනවා.උගතුන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රටවල්වල ප්‍රශ්න අඩු වෙනවා. ඕනෑම රටක ආර්ථික, දේශපාලන සහ වෙනත් ප්‍රශ්න වැඩිවීමට හේතුවක් වන්නේ උගතුන් අඩුවීමයි. රටක ජාතියක අනාගතය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කළ යුතු ප්‍රධාන වගකීමක් වන්නේ දෙයක් වන්නේ ජනතාවට අධ්‍යාපනය, දැනුම ලබා දීමයි. මෙය රජයේ පාසලක් නොවේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අධ්‍යාපනය ආයතන අතර තරගකාරීත්වයක් තිබිය යුතුයි. ඒ තරගකාරීත්වය තුළ වැඩි වාසිය ලැබෙන්නේ දරුවන්ටයි. එය සමාජයට ඉතාමක් හොඳ දෙයක්. රජයට අයත් පාසල්වල නිදහස් අධ්‍යාපනය තිබෙනවා. රජයෙන් උදව් උපකාර ලැබෙන පෞද්ගලික පාසල් තියෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන හෝ සියලු දේවල්වලට උදව් කරන එකයි.

මේ පාසලට පිහිනුම් තටාකයක් නැහැ කියලා විදුහල්පති පියතුමන්ගෙන් මම දැන ගත්තා. එතුමා ඒ අඩු පාඩුව මට කිව්වේ නැහැ. මැල්කම් කාදිනල් රංජිත් පියතුමා තමයි මට කිව්වේ. මෙහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ සඳහා මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය සැලැස්ම සහ ඇස්තමේන්තුව මට එවන්න. අපි අධ්‍යාපනය සඳහා සැමවිටම ප්‍රමුඛත්වය දිය යුතුයි. ඔබ මාධ්‍ය තුළින් දකින්නට ඇති මම මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පැවති සමුළුවකට සහභාගී වුණා. ඊට රටවල් 47 ක් පැමිණ සිටියා. සියලු දෙනාම රාජ්‍ය නායකයින්. ඒ අය සමඟ මා සුහදව කතා කළා. ඒ ඒ රටවල සහ අපේ රටේ අධ්‍යාපනය ගැන අපි සාකච්ඡා කළා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් පළමු වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා රජය නොමිලයේ අධ්‍යාපනය ලබාදෙන බව මා පෙන්වා දුන්නා. සමහර රටවල නායකයෝ කිව්වා එයාලගේ රටේ අවුරුදු 4ක් වෙනකම් නොමිලයේ අධ්‍යාපනය දෙනවා කියලා. සමහර අය කිව්වා අවුරුදු 8 වෙනකම් නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා. සමහර අය කිව්වා අවුරුදු 15 වෙනකම් නිදහස් අධ්‍යාපනය දෙනවා කියලා. බොහෝ රටවල්වල අය කිව්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නම් නොමිලේ දෙන්නෙම නැහැ කියලා.

චීනය කියන්නේ දියුණුම රටක්. චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිම ශිෂ්‍යයකුට නොමිලයේ ලබා දෙන්නේ නැහැ. අපේ රටේ මොනතරම් සේවාවන් ජනතාවට සපයනවාද. රජය නිදහස් අධ්‍යාපනය නොමිලයේ ලබා දෙනවා. සෞඛ්‍ය සේවය නොමිලයේ දෙනවා. දුප්පත් ජනතාවට සහනාධාර දෙනවා. රජය පාඩු ලබමින් ජනතාවට සේවය සපයනවා. ලෝකයේ බොහෝ රටවල් දියුණු වෙලා තියෙන්නේ අපි දෙන විදියට බොහෝ දේවල් නොමිලයේ දෙන්නේ නැති නිසයි. නමුත් එහෙම වුණා කියලා අපි නොමිලයේ දෙන කිසි දෙයක් පාලනය කරන්නේ නැහැ. ඉදිරියටත් දෙනවා. අධ්‍යාපනය ලබාදීමේදී අපේ වගකීමක් සහ යුතුකමක් තිබෙනවා නව අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළ කටයුතු කිරීමට. අද මෙහිදී රැකියා විරහිත උපාධිධාරීන් 197 කට නව පත්වීම් දුන්නා. ඔවුන් පළමු වසර පුහුණුවීම් සඳහා බඳවා ගන්නවා. ඒ වසරෙන් පසු ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරීන් බවට පත් වෙනවා. අද රටේ විශාල පිරිසක් සිටිනවා උපාධි ලබා රැකියා විරහිතව. ඔවුන් බොහෝ වේලාවට රැකියා ඉල්ලා උද්ඝෝෂණ, විරෝධතා කරනවා. ඒ අයට එහෙම කරන්න සිදු වුණේ එයාලගේ වැරැද්දක් නිසා නෙවෙයි. ඒකට හේතුව අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. අධ්‍යාපන ප්‍රතිපත්තිවල වැරැද්ද. අපි දැන් ආණ්ඩුව විදියට ඒවා නිවැරදි කරගෙන යනවා. නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් හැදිමෙන් පසු රැකියා විරහිත උපාධිධාරීන්ට උද්ඝෝෂණ කරන්න වෙන තත්ත්වය අපි වෙනස් කරනවා. මම පසුගිය සතියේ ඉන්දියාවට ගිහින් පසුව ජපානයට ගියා. ජපාන අගමැතිවරයා සමඟ මම සුහද සාකච්ඡාවල යෙදුණා. ඒ සාකච්ඡාවේදී අපේ උපාධිධාරීන්ට ජපානයේ හොඳ රැකියා අවස්ථා තිබෙන බව දැන ගත්තා.

අද ජපානය මුහුණදීලා තිබෙන ප්‍රශ්නය තමයි ඒ රටේ වෘත්තීය කටයුතු සඳහා අවශ්‍ය පිරිස අඩුකම. ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණික උපාධිධාරීන්. අපේ රටේ තාක්ෂණික විෂයන් සඳහා උපාධිධාරීන් ඉන්නවා නම් ඔවුන්ට ජපානයේ හොඳ රැකියා තිබෙනවා. මම ඒ ගැනත් සාකච්ඡා කළා. ඒ නිසා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තාක්ෂණික විෂයන් මෙන්ම විද්‍යාත්මක විෂයන් සමඟ වෘත්තීය පුහුණුව ලැබෙන විෂයන් හැදෑරීමට මුල්තැන දීම තමයි අපේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ. ඒ නිසා ප්‍රාථමික මෙන්ම උසස් අධ්‍යාපනයට යාමේදී සුදුසු ආකාරයට විෂයන් තෝරා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ශිෂ්‍යයින් යොමු කිරීම වැදගත් වෙනවා. මේ අධ්‍යාපනයේ තිබෙන තරගකාරීත්වය අපි තේරුම්ගත යුතුයි. ඒ නිසා මේ පිළිබඳ සාමුහිකත්වයෙන් කටයුතු කිරීම අවශ්‍යයයි. අපි රජයක් විදියට ඒ දේවල් ඉටු කරනවා.

විපක්ෂ නායකතුමා හා විග්නේෂ්වරන් මහතා මෙහිදී කරුණු කිහිපයක් සඳහන් කළා. ඒ කියපු කරුණු හා කාරණා පිළිබඳ අපි සැමවිටම වගකීමකින් කටයුතු කරනවා. අද අපේ රටේ දේශපාලනයේ ඇති වී තිබෙන බොහෝ ගැටලු සහගත තත්වයන් ඔබ දන්නවා. රටට ආදරේ කරන දේශපාලනඥයින් කොපමණ ප්‍රමාණයක් මේ රටේ සිටිනවාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලන බලය ලබා ගැනීම සඳහා තම තමන් විසින් සකස් කර ගත්ත පුද්ගලික න්‍යාය පත්‍ර අද පවතිනවා. ඒ අයට අවශ්‍ය වන්නේ රටේ ප්‍රශ්න විසදීම නොවේ.ඒ අයට අවශ්‍ය වන්නේ ජාතික සමගිය ශක්තිමත් කරන්න නොවේ .ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රයේ තිබෙන්නේ කුමන ආකාරයෙන් හෝ බලයට ඒමයි. මේවාට රැවටෙන පිරිසක් ඉන්නවා. රටේ ප්‍රශ්න විසදීමට අවංක දේශපාලනඥයින්ගේ එකමුතුවක් අවශ්‍ය වෙනවා. මීළගට මේ රටේ කවුද ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ කියන එක නෙමේ ජනතාවට වැදගත් වෙන්නේ. මේ විදිහට දීර්ඝ කාලයක් සමහරු කටයුතු කරලා තිබෙනවා. ඉතා සුළු පිරිසක් රටට ආදරෙන් වැඩ කරලා තිබෙනවා. මේ සියල්ලෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනෑ. රට ගැන ආදරයකින් තොර, බලය ගැන පමණක් හිතන දේශපාලනඥයින් පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි. 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනතාව මට ජය ලබා දුන්නා. ඒ විශ්වාසය මම කඩකරලා නැහැ. ඒ ප්‍රතිපත්ති මම වෙනස් කරලා නැහැ. වෙනස් කරන්නෙත් නැහැ. ජනතාව විසින් හඳුනාගත යුතු වෙනවා නිවැරදි දේ කරන්නේ කවුද කියලා. දේශපාලන අවස්ථාවාදීන් කවුද කියලා. ඒ පිළිබඳ අපි මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි. පළාත් පාලන ප්‍රධානීන්ගෙන් මම ඉල්ලා සිටිනවා රටට ආදරයක් ඇතිව වැඩ කරන්න කියලා. පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව වැඩ කළ යුතු නැහැ. හෙට දවසේ රට කොතැනටද යන්නේ කියලා තමයි කටයුතු කළ යුත්තේ. අප එය විසදාගත යුතුයි.

අද මම එනකොටත් අතුරුදන් වූවන් පිළිබඳ උද්ඝෝෂණයක් තිබුණා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම පනතකින් සම්මත කරලා අවශ්‍ය කටයුතු කළා. ඒ කාර්යාල මේ වනවිට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි ඒ පිළිබඳ අපේ ප්‍රතිපත්තිය පැහැදිළි කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ මම තවදුරටත් කතා කළයුතු නැහැ.ඔබ අපි සෑම කෙනෙක්ම රට වෙනුවෙන් වැඩ කරමු. ජාතීන් අතර සමගිය වපුරමු. ගැටුම් වළක්වමු. ඒ සඳහා අපි කැපවෙමු. මේ ආදරණීය දරුවන්ටත් සියලු දෙනාටත් සුබ පතනවා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන්,උතුරු පළාත් ප්‍රධාන අැමැති සී.වී. විග්නේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන්රාමනාදන්, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් සහ විද්‍යාලයේ විදුහල්පති තිරුමහන් පියතුමා ඇතුව ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක, යාපනය ශ්‍රී නාග විහාරාධිපති මිගහජදුරේ ඥාණරත්න ස්වාමින් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ දායක සභාව මෙන්ම යාපනය සර්ව ආගමික එකමුතුව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මයට ද ජනාධිපතිතුමා එක් විය.

ඡායාරූප-ජනාධිපති මාධ්‍ය එකකය

නව අදහස දක්වන්න