දැන් රටම සාමකාමියි විදේශික සංචාරකයන්ට ඕනෑම තැනකට යා හැකියි | දිනමිණ

දැන් රටම සාමකාමියි විදේශික සංචාරකයන්ට ඕනෑම තැනකට යා හැකියි

මහින්ද අලුත්ගෙදර

විදේශීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරය සඳහා සාමකාමී වාතාවරණයක් මේ වනවිට ස්ථාපිත වී තිබෙන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශයන්හි ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුව ද මේ වනවිට එය ඉවත්කර තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා ඒ අනුව කිසිඳු බාධාවකින් තොරව රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමේ පසුබිමක් නිර්මාණය වී තිබෙන බවද සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජෝන් අමරතුංග මහතා පෙන්වා දුන්නේ ජාතීන් අතර ගැටුමක් නිර්මාණය වීම වළක්වා සාමය හා සමඟිය ස්ථාපිත කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගත් බවත් ඒ අනුව පසුගිය 6 දා පැනවූ හදිසි නීතිය 17 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කළ බවත්ය. කෙසේ වුවද අද වනවිට රටේ සෑම ප්‍රදේශයකම සාමකාමී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

හදිසි නීතිය පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් තානාපති කාර්යාල විසින් ඔවුන්ගේ රටවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස උපදෙස් ලබාදී තිබූ නමුත් අද වනවිට පවතින යහපත් වාතාවරණය හේතුවෙන් එම උපදෙස් මාලාව ඉවත්කර ගන්නා ලෙස ඒ ඒ තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කරන බවද සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

පසුගිය දිනවල විදෙස් සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීම හේතුවෙන් ගුවන් සේවා සහ හෝටල් කාමර වෙන්කිරීම විශාල වශයෙන් පහත වැටී තිබෙන බවට වාර්තා වන බව පෙන්වාදුන් ඒ මහතා අද වනවිට ජනජීවිත සාමාන්‍ය පරිදි කරගෙන යාමට හැකි සම්පූර්ණ සාමකාමී තත්ත්වයක් රටතුළ නිර්මාණය වී තිබෙන බවද ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී විදෙස් සංචාරක පැමිණීම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවද විශ්වාසය පළකළේය.

මහනුවර ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද ඒවා තවදුරටත් වර්ධනය වීමට ඉඩනොදී සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමට ක්‍රියාකළද අද වනවිට කිසිඳු ගැටුම්කාරී තත්ත්වයක් හෝ හදිසි තත්ත්වයක් නොමැති බවද සාමාන්‍ය පරිදි දෛනික කටයුතු සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. 


නව අදහස දක්වන්න