බොලිවුඩයේ ප්‍රකට නළු ඉර්ෆාන් ඛාන්ට පිළිකාවක් | දිනමිණ

බොලිවුඩයේ ප්‍රකට නළු ඉර්ෆාන් ඛාන්ට පිළිකාවක්

 බොලිවුඩයේ ප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් දුර්ලභ ගණයේ පිළිකා රෝගයකින් පෙළෙන බව ටිවිටර් පණිවුඩයක් මගින් කියා සිටියි. වාර්තා වන අන්දමට ඔහුට වැළඳී ඇත්තේ ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගැනෙන පිළිකාවකි. මේ රෝගය හේතුවෙන් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිකුත් කෙරෙන සෛලවලට බලපෑම් කරයි.

51 වැනි වියේ පසුවන ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදිය ද ඇතුළත් සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනය එක් කර ඇත.

ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර 'ලයිෆ් ඔෆ් පයි', 'ජුරාසික් වර්ල්ඩ්', 'ස්ලම්ඩෝග් මිලියනයර්' සහ 'දි අමේසිං ස්පයිඩර් මෑන්' ද වේ.

ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ඇති ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් මෙන්ම ස්වාධීන් ඉන්දීය චිත්‍රපටවල පුළුල් පරාසයක විහිදුනු ආකර්ශනීය චරිතවලට පණ දී තිබේ.

මං පහරන්නෙකු බවට පත්වූ ඉහළ ගණයේ මලල ක්‍රීඩකයෙකුගේ චරිතය ආශ්‍රයෙන් නිමවුණු පාන් සිං තෝමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය වෙනුවෙන් 2013 වසරේදී ඔහු ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය දිනා ගත්තේය.

'ද ලන්ච් බොක්ස්' චිත්‍රපටයේ සිය සගයෙකුට එවන දිවා ආහාරවේල වැරදීමකින් ලබන තනිකඩ ගණකාධිකාරීවරයකුගේ චරිතයට පණදුන් ඉර්ෆාන් ඛාන් 2013 කාන් සිනමා උළෙලේ නරඹන්නන්ගේ තේරීම සම්මානයෙන් පිදුම් ලැබීය. එම වසරේදී ලන්ඩන් චිත්‍රපට උළෙලේ තරගය සඳහා තේරුණු එකම ඉන්දීය සිනමාපටය එයයි. 

නව අදහස දක්වන්න