අනේ මෙ වි­පත් සිදු­වුණි නොද­නිමු කාගෙ දොසා | දිනමිණ

අනේ මෙ වි­පත් සිදු­වුණි නොද­නිමු කාගෙ දොසා

අනේ එවිපත සිදුවුණි නොදනිමි කාගෙ දොසා කියල මහාචාර්ය සරච්චන්ද්‍රගෙ මනමෙ නාට්‍යයෙ පොතේ ඉන්නිසයෙ කියන්නෙ වැදිරජු බිසවගෙ අතින් කඩුව උදුරගෙන කුමාරය මරණයට පත් කළාට පස්සෙ. ඒ පොතේ ඉන්නිස කවිය වෙනස් කරන්න මට හිතුණෙ පහුගිය දවස්වල අපේ රටේ පළාත් කීපයකින්ම වාර්තා වුණු අමිහිරි, අවාසනාවන්ත, සිද්ධි දාමය ප්‍රවෘත්ති, දෘශ්‍ය රූපාවලී ජනමාධ්‍ය ඔස්සෙ දැක්කට පස්සෙ.මනමෙ කුමරුගෙ මරණය සිදු වුණේ කාගෙ දොසකින්ද කියලා සරච්චන්ද්‍ර ප්‍රශ්න කළත් , අම්පාරෙන් පටන් අරගෙන දිගන, තෙල්දෙණිය දක්වා පැතිරුණු මිනිස් ඝාතන , දේපළ විනාශ, ජනජීවිතය අඩාලවීම , නගර ගම් නියම්, දිස්ත්‍රික්කවලින් පටන් ගෙන රට පුරාම ගිනි ගන්න ඔන්න මෙන්න කියල තිබුණු මහා විනාසයක් නතරවීම එක්ක මේ විපත් සිදුවුණේ කාගෙ වරදින්ද කියන ප්‍රශ්නෙ මගෙ හිතට ආවා.ඒ විතරක් නෙවි, මේ වර්ගයෙ විපත් සිද්ධ වුණු අතීතෙටත් මගේ මතකය ඇදිල ගියා. 1958 ටත් ඉස්සර ඉඳලා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර ඇන කොටාගැනීම් නිසා හැම පාර්ශ්වයකින්ම ගලා ගිය ලේ ගංගාව, නැතිවුණු මිනිස් ජීවිත, විනාශ වුණු දේපළ, ගැන සංඛ්‍යා ලේඛන තියෙනවද කියල හොයල බැලීමේ පලක් තියෙනවද කියල වෙලාවකට හිතෙනව.

1958, 1977, 1983, 2002, 2014, 2018 අවුරුදුවල අපේ රටේ ඉතිහාසයට එකතු වුණු කළු පැල්ලම් තවමත් මැකී ගිහිං නෑ. 83 කළු ජූලියෙ ඉඳල තිස් අවුරුද්දකට වැඩි කාලයක් අපේ රටට සිදුවූ විපත කාගෙ දොසකින් වුණා ද කියල අද වන තුරු කවුරු හරි හොයල බලල තියෙනවද? එකම රටක් ඇතුළෙ සහෝදරත්වයෙන් හිටපු ජාතීන් දෙපිරිසක් අතර තිබුණු යුද්ධය අවසන් වුණත්, යුද වැදුණු ජාතීන් අතර, සාමය, සමගිය, සංහිඳියාව, සහජීවනය ගොඩනැඟුණ ද කියල කවුද හොයල බැලුවෙ? යාපනය, කොළඹ, බේරුවල, අළුත්ගම, ගිංතොට, මාවනැල්ල, කළුතර, දිගන, තෙල්දෙණිය වගේ නගර ගම් පුරා ඇවුළුණු ජාති භේද මහා ගින්න කළ විනාශයට අවසානයක් නැද්ද කියල කල්පනා වෙන්න ආසනම හේතුව වුණේ මධ්‍යම පළාතෙ දිගන, තෙල්දෙණිය සිංහල මුස්ලිම් ගැටුම්.

දෙපාර්ශවයෙන්ම අහිමි වුණේ ජීවිත දෙකක් වුණත්, සතියකට වඩා වැඩි කාලයක් භීතියෙන් ඇළලී ගිය අහිංසක මුස්ලිම්, සිංහල ජන කොටස් ගත කළ ජීවිතය අතිශයින් ඛේදජනකයි. දුක්ඛදායකයි. ඔවුන්ට එලෙස බියෙන් සැකෙන් ජීවත්වන්නට සිදු වුණේ ඔවුන් කිනම් වරද කළාටද කියල හොයල බලන්න වටිනව නේද? මරණ බය කියන්නෙ සිංහල, දෙමළ, මුස්ලිම් කියල වෙන්කරල හඳුන්වන්න පුළුවන් දෙයක්ද? මරණ බයට ජාතියක් නෑ. ආගමක් නෑ. පොදුයි. අපේ රටේ ජාතිවාදී ගිනි ඇවුළුණු හැම වෙලාවකම ඒ පිටුපස්සෙ විසාල වඩ කොටසක් කළේ දේශපාලනඥයො කියන කතාව බොරුවක් බව ඔප්පු කරන්න තෙල්දෙණියෙ සිදුවීම්වලටත් බැරි වුණා වගේ. 83 වගේම 2018 ජාතිවාදී ගිනි පිටුපස දේශපාලන හස්ත හැංගිලා ක්‍රියාත්මක වුණු බව ආරංචියි. ඉදිරි දවසක ඒ පිළිබඳ ඇත්ත හෙළිවෙයි කියල විශ්වාසයි.

ඉස්කෝලෙ ගිය පුංචි සංදියෙදි තමයි, ඉස් ඉස්සරවෙලාම ජාතිවාදී කෝලහාලයක් කියන්නෙ මොකක්ද කියන අත්දැකීම විඳගන්නෙ. ඒ 1958 දි මාතර සාන්ත සර්වේෂස් විද්‍යාලෙ පහේ පන්තියෙ තරම ඉගෙනගන්න කාලෙ. සුපුරුදු විදියට ගන්දර ඉඳලා මාතර කොටුවෙගොඩට ඇවිත් එලියට් පාර ළඟ බැස්සම දකින්නෙ මොකක්ද? වෙනදා තෝසෙ වඩේ කන සයිවර් කඩේ කුඩේ කුඩු කරලා. තෝසෙ, වඩේ, මුරුක්කු, පාර පුරාම. ඒ පැත්තට අඩියක්වත් තියන්න බයේ ඉස්කෝලෙට ගියත් ඉක්මනටම ඉස්කෝලෙ නිවාඩු දුන්නා. ගඟෙන් එගොඩහ ඉඳල එන යාළුවො කිව්වෙ, එගොඩහ තිබුණු පරණ පත්තර, බෝතල්, යකඩ එකතු කරපු දෙමළ මුදලාලි, කොයිල්පිල්ලෙගෙ කඩේ කඩලා, පොළොව යට වළලලා තිබුණු සල්ලි තාච්චි ගණන් අරගෙන ගිහිං කියල. පුංචි වයසෙදිම ඒ වගේ කතා අහැවුවේ පුදුමයෙන්. ඉක්මනින් ගෙදර එනකොට ගන්දර හන්දියෙ බැරියර් එකක් දාගෙන මාතර කතරගම යන බස්වල ඉන්න සෙනඟ බස්සවගෙන මොනවදෝ අහනව හන්දියෙ තිබුණු ප්‍රයිවෙට් කාර් දුවන කට්ටිය. ඒ දවස්වල කතරගම යන දෙමළ මිනිස්සු ඉන්නවද කියල හොයල බලන්නලු බැරියර් දාගෙන හිටියෙ කියල පස්සෙ දැනගත්තෙ.

ගෙදර ගිය ගමන් අම්මා කියපු කතාවකින් පපුව හෝස් ගාලා පත්තු වුණා. හන්දිය බැරියර් දාගෙන හිටපු කාර් අයිති කට්ටිය දෙමළ මනුස්සයකුට ගගහා වද දිදී වැල්ලට ගෙනැල්ලා ගෝනියක දාල මූද මැද ගිලෙන්න දැම්මලු. අය්යෝ ෂාමී කිය කියා ඒ මනුස්සය වැඳ වැටුණලු. ඒත් ඒ අහිංසකයා ගන අනුකම්පා කරන්න තරම් හිත උණුවුණු සිංහල බෞද්ධයෙක් ඉඳල නෑ. ගන්දරදි වගේම බේරුවලදීත් අහිංසක දෙමළ මිනිස් ඝාතන සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒවට වගකියන්න ඕන අයට නිසි දඬුවම් ලැබිල තියෙන්නෙ අද දවසෙ වගෙමයි. මහ රෑක පොලිස් ජීප් එකක් ආවලු, බැරියර් එක දාගෙන ඉඳලා දෙමළ මනුස්සයව කුදලගෙන මූදෙ දාන්න මුල් වෙච්ච නායකයා ගෙදරින් අරගෙන ගියාලු. ගියා ගියාමයි, කිසිම තොරතුරක් නැති වුණාලු. 1960 ඡන්දෙදි එහෙම අතුරුදන් වුණු ගන්දර, බේරුවල දෙන්නගෙ භාර්යාවො දේශපාලන වේදිකාවටත් නැඟලා තමන්ගේ අතුරුදන් වෙච්ච ස්වාමි පුරුෂයො ගැන ප්‍රශ්න කළා මට මතකයි. 58 දි ජීවිතයේ පළමු වතාවට අත්වින්ද සිංහල දෙමළ ජාතිවාදී කෝලහාලයෙ අමිහිරි මතකය අලුත්වෙන්නෙ 1977 දි. ඊටත් පස්සෙ අසූ ගණන්වලදි.

අසූ ගණන් වෙනකොට වැඩිහිටියෙක් විදියට සිංහල දෙමළ ජාතිවාදී ගින්න ඇවිලෙනවා බලාගෙන හිටියෙ පිළිකුලෙන්. අප්පිරියාවකින්. කලකිරීමකින්. යාපනයෙ පුස්තකාලෙට ගිනි තියපු සිද්ධියෙ ඉඳල 83 කළු ජූලියෙ කළු මතක මගේ මතකයෙ ඇඳිල තියෙන්නෙ ජාතිවාදය අවුස්සන, ඊට අනුබල දෙන බොරු සිංහල බෞද්ධ දේශප්‍රේමීන්, දේශපාලනඥයන් ගැන හිතේ පිපිරෙන ක්‍රෝධයකින්; පිළිකුලකින්; වෛරයකින්. 83 කළු ජූලියෙ කොළඹ ගිනි ගත්ත දවසෙ මම රැකියාව කළේ සිමෙන්ති සංස්ථාවෙ, බම්බලපිටිය ප්‍රධාන කාර්යාලෙ. මගේ අංශෙ හිටපු එක් සැපයීම් නිලධාරිනියක්, යෝගාදේවී හරිස්චන්ද්‍රන් ( සුබ්‍රමානියම් ). එදා කර්මාන්ත අමාත්‍යංශෙ තියෙන්න නියම වෙලා තිබුණු කැබිනට් ටෙන්ඩර් බෝඩ් රැස්වීමට විෂය භාර නිලධාරිනී විදියට මාත් එක්ක යෝගා යන්න ඕන අදාළ ලිපිගොනු අරගෙන. සුපුරුදු විදියට, නළලෙ තිලකයක් තියාගෙන, කොණ්ඩෙ පිච්ච මල් දෙක තුනකින් සරසගෙන එන යෝගගෙ මූණේ වෙනදා මා දැක්ක සිරියාව එදා තිබුණෙ නෑ.

ඒ වෙනුවට බයක සේයාවක් මම දැක්කෙ. එහෙමනම් අපි යමු කියල පහළට ආපු ගමන්, වාහනේට නඟින්න ඉස්සරවෙලා යෝගා කළේ නළලෙ තිලකය මකාගත්ත එක. ඊළඟට කොණ්ඩෙ තිබුණු පිච්ච මල් ටික වීසි කරපු එක. ගාලු පාර දිගේ වාහනය ඩුප්ලිකේෂන් පාරට ඇතුළු වුණේ පාර දෙපැත්තෙ ගිනිගෙන ඇවිලෙන ගොඩනැඟිලි මැදින්. කළු දුමින් අහස වැහිලා. තැන තැන පාර පුරා මැර කණ්ඩායම් ජාත්‍යාලයෙන් ඔද වැඩිල ද කොහේදො, නීතිය අතට අරගෙන. ගංගාරාමෙට කිට්ටු වෙනකොට යෝගගෙන් ඉල්ලීමක්? “Can I take my daughter from the school ?“ “මගේ දුව ඉස්කෝලෙන් අරගෙන යන්න පුළුවන්ද?“ යෝගා බිෂොප් එකෙන් දුව අරගෙන වාහනේට ගොඩ වුණා.

අමාත්‍යාංශ කාර්යාලෙත් හැමෝම කලබලෙන්. ටෙන්ඩර් බෝඩ් රැස්වීමක් තියෙන පාටක් නෑ. අපි වාඩිවෙලා බලාගෙන ඉන්නවා. යෝගා මට මතක විදියට තුන් වතාවක් විතර වොෂ් රූම් ගියා මම බලාගෙන. ඒ මොන බයටද කියලා මට තේරුණා. ඇයි මනුස්සයකුට ඒ වගේ බයක් ඇතිවෙන්නෙ? මොන වරදක් කළාටද? මගේ හිතේ ප්‍රශ්න පත්තරයක්. ආපහු බම්බලපිටියෙ ඔෆීස් එකට ආවෙ ටෙන්ඩර් බෝඩ් මීටිම කල් ගියා කියල කිව්වට පස්සෙ. 83 වැල්ලවත්තෙ පදිංචි වෙලා හිටපු යෝගේශ්වරී ඒ අවුරුද්දෙම ඔස්ට්‍රේලියාවට ගියා පවුලෙ හැමෝම එක්ක. ඇගේ හිතේ අපේ රට ගැන මොන විදියෙ හැඟීමක් ඇතිවෙන්න ඇද්ද කියලා මට හිතාගන්න පුළුවන්. එදාම හවස, සිමෙන්තියෙ අලෙවි කළමනාකාර ටී.එල්. චන්ද්‍රරත්නත් එක්ක, කොළඹ හැව්ලොක් ටවුමෙ ඉඳලා, නුගේගොඩට පයින් ඇවිද ගෙන එද්දී, පාර දෙපැත්තෙ වාහනවල අමු අමුවෙ ගින්නෙන් දැවුණු මිනිස් සිරුරු කීයක් දැක්කද? මායා ඇවනියු බෙදෙන තැන බෝ සමිඳු බලාගෙන ඉන්දෙද්දිම කාර් එකක් ඇතුළෙ මිනිස් සිරුරක් දැවෙනවා. මේ අත්දැකීම මීට පෙර වතාවකත්, එදවස සොඳුරුමය තීරුවට ලියල තිබුණත්, අළු යට තිබුණු ගිනි පුපුරක් වගේ ආපහු මතකයට ආවෙ තෙල්දෙණිය, දිගන, ජාතිවාදී ගිනි ඇවිලීම් එක්ක.

උපුල් කුමරප්පෙරුම , මගේ මිත්‍රයා, තෙල්දෙණියෙ දි අවාසනාවන්ත විදියට ඝාතනය වුණු සිංහල, මුස්ලිම් දෙදෙනාගේම ගෙවල් දොරවල්වලට ගිහිං කතාබහ කරල, කලම්බු ටෙලිග්‍රාෆ් එකට ලියපු සටහනක් මට මතක් වෙනවා. උපුල් මෙහෙම ලියනවා. මහනුවර ඛෙදාන්තය: එක් පීඩිතකයෙකු සපාකෑමට තවත් පීඩිතයෙකු උසිගැන්වීම , කියලා. උපුල් තෙල්දෙණියෙදි නැතිවුණු සිංහල මුස්ලිම් ජීවිත, ඔවුන්ගෙ පවුල් පසුබිම ගැන අපූරු විග්‍රහයක් කරනවා ඒ කෙටි සටහනෙන්, ඒ පවුල් මුණගැහීමෙන් පස්සෙ. ජාතිවාදය කියන්නෙ වහා ගිනි ඇවිලෙන සුලු ඉන්ධනයක් බව අපේ රටේ ජනතාව දශක ගණනාවක් තිස්සෙ දැන්ගෙන හිටියත්, ඒකට ගින්දර එකතු කරන්න ඕන වුණාම දෙපාරක් හිතන්නෙ නෑ. එහෙම වෙලාවට ඔවුන්ට බුද්ධාගම, පන්සිල්, සෙත් පිරිත් අමතක වෙනවා. නොමැරෙන මිනිස්සු කියල හිතාගෙන, සිංහල ජාතියෙ, බුද්ධාගමේ අයිතිකාරයො වෙනවා. ඒත් ඒ ගිනි ඇවිලිල්ල මොන මිලකටද කියලා, ඔවුන් අමතක කරනවා.

ඛෙදවාචකය එතනයි. මේ තීරුව මෙහෙම අවසන් කරන්න හිතුණා. කාටහරි ශල්‍ය කර්මයකදි ලේ ඕන කරනවා. ලේ තියෙන්නෙ රජයේ ලේ බැංකුවෙ. මේ ශල්‍යකර්මයට භාජනය වන පුද්ගලයා සිංහල බෞද්ධ අන්තවාදී දේශප්‍රේමියෙක්. ඔහු කියනවා මට සිංහල බෞද්ධ ලේ විතරක් එන්නත් කරන්න කියලා. ඒත් ලේ බැංකුව කියනවා, අපි ළඟ තියෙන්නෙ, ඒ, බී, ඕ A,B,O, A+B, A positive, B positive නැත්නම් ඒ+බී වර්ගයෙ ලේ විතරයි කියලා. දැන් ඉතින් මොකද කරන්නෙ? ශල්‍යකර්මය කරන්න අවශ්‍ය ලේ බැංකුවෙ තියෙන, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ඉස්ලාම්, හින්දු, කිතුණු, ජාති ආගම් මිශ්‍ර ජනකොටස්වලින් ලබාගත්ත ලේ පාවිච්චි කරනවද, නැත්නම් සිංහල බෞද්ධ ලේ ම ඉල්ලමින්, ශල්‍යකර්මය නොකර ජීවිතය නැති කර ගන්නවද? මේ සරල සත්‍යය තෙරුම් ගන්නව නම්, මේ වගේ විපත් අපේ රටේ සිදුවෙන එකක් නෑ කියල මට හිතෙනවා.

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න

Or log in with...