තේ කෝප්පයේ ප්‍රබෝධය | දිනමිණ

තේ කෝප්පයේ ප්‍රබෝධය

 මෙයිජි රජ සමය වත්මන් ජපාන දේශපාලන ආර්ථික හා සමාජමය දියුණුවේ හැරවුම් ලක්ෂයයි. 1864 සිට 1912 දක්වා වූ එම කාලය තුළ සිදුවූ ප්‍රතිසංස්කරණ නිසා හුදෙකලා වැඩවසම් රාජ්‍යයක්ව තිබූ ජපානය නවීන කාර්මික රාජ්‍යයක් බවට පත්විය.

මෙයිජි රජ සමය පරිවර්තන යුගයකි. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ද එවැනි පරිවර්තන අවශ්‍ය බව වැවිලි කර්මාන්ය පිළිබඳ ඇමැතිවරයා පසුගිය සතියේ ප්‍රකාශ කෙළේය.

කලක් තිස්සේ විවිධ පසුබෑම් රැසකට මුහුණ දෙමින් තිබූ තේ කර්මාන්තය දැන් ක්‍රමයෙන් පිබිදෙමින් තිබේ. වතු සමාගම් මෙන්ම තේ නිෂ්පාදනයෙන් සියයට 74.5කට දායකත්වය සපයන කුඩා තේ ඉඩම් හිමියෝ ද දැන් ඉහළ ආදායම් ලබති. මේ වනවිට අමු දලු කිලෝවකට රුපියල්100කට ආසන්න මිලක් කුඩා තේ වතු හිමියකුට ලැබේ. මෙය ඔවුනට සතුටුදායක මිලකි.

කුඩා තේ ඉඩම් හිමියන්ගේ සංඛ්‍යාව 393420 ක් වන අතර කුඩා තේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 121967 කි. කුඩා තේ ඉඩම් හිමියනගේ පල දායකත්වය හෙක්ටයාරයක් සඳහා කිලෝ ග්‍රෑම් 1872 ක් යැයි 2016 නිල වාර්තා කියයි. තේ වගාවේ නියුතු අක්කර 10ට අඩු කුඩා ඉඩම් හිමියන්ට දැන් ඉහළ ආදායමක් හිමිවන බව පැහැදිලි‍ වේ.

වගාකරුවන්ගේ ගැටලු

ගාල්ල, රත්නපුර, මාතර, හම්බන්තොට , කළුතර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක පුරා විසිර සිටින කුඩා තේ ඉඩම් හිමියනට මෑත කාලයේ මුහුණ දීමට සිදු වූ ලොකුම ගැටලුව තම තේ ඉඩම් නායයෑමට හා ගංවතුරට ගොදුරුවීමයි. එයිනුත් වඩාත් හානි සිදුවූයේ ගාල්ල, රත්නපුර සහ මාතර දිසාවල කුඩා ඉඩම් හිමි තේ වගාකරුවන්ටය. හෙක්ටයාර් 615කට හානි සිදුවීමෙන් රුපියල් දසලක්ෂ 3290 ක අලාභයක් ඔවුනට සිදුවී යැයි තක්සේරු කරන ලදී.

දැන් මේ ඉඩම් බොහොමයක් නැවත වගා කර ඇති අතර ඇතැම් තේ වගා ඉඩම් කුරුදු වගාවට වෙනස් කර තිබේ. කුරුදු සඳහා කිලෝවට රු :2500 පමණ ඉහළ මිලක් හිමිවීම එයට හේතුවයි. මේ විපතට ගොදුරු වූ කුඩා ගොවීන්ගේ සංඛ්‍යාව 4053 කි. එහෙයින් ඉදිරි වසර 5 වනවිට ඔවුනගේ නිෂ්පාදන ජාතික ආර්ථිකයට එකතු වනු ඇත.

හෙක්ටයාර 1823 කට සුළු වගා හානි සිදු වූ අතර විපතට ගොදුරු වූ අලාභකරුවනගේ සංඛ්‍යාව ලක්ෂයක් පමණ වේ. ඔවුනට සිදු වූ අලාභය රුපියල් දස ලක්ෂ 325ක් පමණය. මේ වගා නැවත නගාසිටුවීම සඳහා රුපියල් දස ලක්ෂ 112ක් පමණ අවශ්‍ය විය. දැන් එම ඉඩම් බොහොමයක ද වගා ප්‍රතිසංවිධානය වෙමින් පවතී.

හානියට පත් සමාගම් පාඩු අවම කර ගැනීම සඳහා පශු ව්‍යාපාර, වනවගා, පුවක් වගා, වැනිලා වගා,ඔයිල් ෆාම් සහ කුරුදු වගාවනට පිවිස සිටිති. තේ කර්මාන්තයෙ නැගී සිටින්නේ ඉහත කී ගැටලුවලට ද මුහුණ දෙමිනි.

වාර්ෂික වාර්තා

2017 වසරේ තේ සමාගම් රාශියක වාර්ෂික වාර්තා දැන් නිකුත් වෙමින් තිබේ. සෑම වාර්තාවක්ම පාහේ සතුටුදායක ප්‍රතිඵල වාර්තා කරයි. එම නිසා සමාගම් කොටස් හිමියනට ලාභාංශ හිමිවන පරිසරයක් ගොඩ නැගෙමින් තිබේ. පාඩු සමාගම් ක්‍රමයෙන් සිය පාඩු අවම කර ගනිමින් සිටී. එසේම ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය හොඳ අතට හැරෙමින් අපනයන අංශය ද පුළුල් වන ලකුණු විදහා දක්වයි. මේ අතර ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම ළඟඳීම සිදුවෙන බවට ඉඟි පළවේ.

2017 වසරේ තේ අපනයනය දෙස බලන කල පෙනී යන කරුණක් නම් චීනය තුළ ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුම 2012 සිට ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවයි. 2017 චීනය ශ්‍රී ලංකාවෙන් තේ කිලෝ දසලක්ෂ 9.9 ක් මිලට ගත්තාය. 2012 චීනය මිලට ගත්තේ තේ කිලෝ දසලක්ෂ 3ක් පමණි.

2016 චීනය තේ කිලෝ දසලක්ෂ 7.6ක් මිලදී ගත් අතර 2015 මිලට ගත් ප්‍රමාණය දස ලක්ෂ 7.4 කි. 2014 මිලට ගැන්ම තේ කිලෝ දසලක්ෂ 5.4 කි. මේ සංඛ්‍යාලේඛන මගින් චීනය තුළ ශ්‍රී ලංකා තේ සඳහා වැඩෙන ඉල්ලුම පෙන්නුම් කරයි. එසේම කළු තේ සඳහා චීනය මෑතක සිට වැඩෙන ඉල්ලුමක් පවතී. තොග වශයෙන් චීනය විසින් මිලදී ගන්නා තේ එරට දී නැවත කුඩා ඇසුරුම් මගින් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම චීන වෙළෙඳ පොළේ වත්මන් ස්වභාවයයි. 2017 වසරේ චීනය ශ්‍රී ලංකාවෙන් තේ මිලට ගැනීම සියයට 30 කින් වැඩිකර ඇත.

මෑතක සිට ශ්‍රී ලංකා තේ වෙන්දේසියේදී කැපී පෙනෙන ගැනුම්කරුවකුව ඇත්තේ තුර්කියයි. තේ මිශ්‍ර කිරීම සහ ප්‍රති අපනයනය පදනම් කරගත් තුර්කිය 2017 වසරේ දී තේ කිලෝ දසලක්ෂ 35.4 මිලදී ගැනීමෙන් සියයට 40 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වාණිජ කටයුතු ප්‍රවර්ධනය සඳහා වන සහයෝග්‍යතා ගිවිසුමකට ද මේ වසරේ ජනවාරි මස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. එම ගිවිසුමෙන් ද ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනයට මග සැලසිණි.

ලෝක තේ වෙළෙඳ පොළ අත්පත්කර ගැනීම සඳහා තේ නිෂ්පාදිත රටවල් අතර දැඩි තරගයක් පවතී. ශ්‍රී ලංකාව, බංගලි දේශය, ඉන්දියාව, කෙන්යාව,මලාවිය සහ කෙන්යාව එසේ තරග වැද සිටින ප්‍රධාන රටවල් අතර සිටී. තේ නිෂ්පාදනයේ නියුතු වියට්නාමය, ටැන්සානියාව සහ ඉන්දුනිසියා රටවල් දැන් අපනයන අවස්ථා සොයන රටවල්ය. චීනය ද මෑතක සිට තේ වගා කිරීමේ නිරතව සිටී.

2010 චීනය තේ කිලෝ බිලියන 1.4ක් නිෂ්පාදනය කළ අතර 2016 දී සිය නිෂ්පාදනය කිලෝ බිලියන 2.5 දක්වවා වැඩිකර ගැනීමට එරට සමත් විය. ඉදිරියේ දී චීනය අපනයන සටනට පිවිසීම සඳහා එකතු කළ අගය සහිත තේ නිෂ්පාදන සටනකට එළඹෙන බවට අනාවැකි පැවසේ. එසේම දේශීය පාරිභෝජනය ඉහළ මට්ටමක පැවතීම ද චීන තේ අපනයනයට බාධාවක්ව පවතී.

තේ වෙන්දේසිය

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට නැගී සිටීමට වෙරදැරීමට සිදුව ඇත්තේ එවන් තත්ත්වයක් යටතේය. 2017 දෙවන කාර්තුවේ සිට තේ නිෂ්පාදනය සතුටුදායක අතට හැරීම නිසා වෙන්දේසියට ඉදිරිපත්වන තේ ප්‍රමාණය කිලෝ දසලක්ෂ 6 දක්වා ඉහළ ගියේ ය. වසර මැද මැයි මස මැද භාගය වනවිට වෙන්දේසිය සඳහා ඉදිරිපත්වන තේ ප්‍රමාණය කිලෝ දසලක්ෂ 8 දක්වා උපරිම වර්ධනය කරා ළඟා විය.

එසේම 2016 සාමාන්‍ය මිල රු.409.21 ක් වුවද 2017 රු.6‍08.03 දක්වා ඉහළ සාමාන්‍ය මිලක් වාර්තා වී යැයි මහ බැංකු වාර්තා කියයි.

ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය ද ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වාසියට හැරෙමින් තිබේ. සිරියාව ඉරාකය සහ ලිබියාව ශ්‍රී ලංකා තේ සඳහා ඉහළ ඉල්ලුමක් සහිත රටවල්ය. එහෙත් එම රටවල දේශපාලන හැලහැප්පීම් නිසා වෙළෙඳ කටයුතුවල පසුබෑමක් සිදුවිය. 2018 ශ්‍රී ලංකාවේ තේ වගාව පිළිබඳ අනාවැකි පවසන බ්‍රොකර් සමාගම් මෙම රටවල් තුනේ දේශපාලනය යථා තත්ත්වයට පත්වීමේ වාසිය ශ්‍රී ලංකාවට යොමුවනු ඇතැයි කියති.

අලුත් වෙළෙඳ බලවේග

බංග්ලාදේශයේ තේ වගාවට කොළ පුල්ලි රෝගය වැළඳී ඇති අතර කෙන්යාව ඉඩෝරයකට මුහුණ දුන් අතර සේවක වැටුප් අරගල නිසා නිෂ්පාදන කටයුතු අඩාලව තිබේ. රුසියාව සහ තෙල් නිපදවන අරාබි රටවල හැකිලෙමින් තිබූ ආර්ථිකය යළි ප්‍රසාරණය වීමට ජාත්‍යන්තර තෙල්මිල වෙනස්වීම හේතුවනු ඇතැයි අපේක්ෂිතය. එසේ වුවහොත් එම රටවල මිලදී ගැනීමෙම් ශක්තිය යළි වර්ධනය වනු ඇත. 2018 මැද කාර්තුව වන තුරු ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තේ සැපයුමේ අඩුවවක් පෙනෙනු ඇදෙයිද කියැවෙන වාර්තා පළවෙමින් තිබේ.

ශ්‍රී ලංකා ෙත් සඳහා උනන්දුවන නව වෙළෙඳ බලවේග කීපයක් ද දැන් ක්‍රියාත්මකය. ඒවා නම් තායිවානය, ලෙබනනය සහ අසර්බයිජානය යන රටවල්ය. මේ රටවල් සිය මිලදී ගැනීම් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරමින් සිටිති. එසේම ඉරාන ශ්‍රී ලංකා වාණිජ සබඳතා පුළුල් වන ලකුණු දක්නට ලැබේ. ඉරානයේ ආර්ථික තත්ත්වය ද, වෙළෙඳ ගනුදෙනු ද ක්‍රමයෙන් පුළුල් වෙයි. ඉරානයේ ශ්‍රී ලංකා තේ ගැනුම්කරුවන් අතර සිව්වන ස්ථානයට පත්ව සිටී.

2017 තේ අපනයනය දෙස බලනවිට ඇතැම් සම්ප්‍රදායික ගැනුම්කරුවන්ගේ ස්ථාන වෙනස්වන ලකුණු විදහා දැක්වේ. 2017 පළමුවන ගැනුම්කරුවා බවට පත්ව තිබෙන්නේ තුර්කියයි. 2016 මෙ.ටොන් 27069 ක් මිල දී ගත් තුර්කිය 2017 මෙ.ටොන් 37816 ක් මිලටගෙන පළමුවන ස්ථානයට පත්ව ඇත. ඉරාකය මෙ.ටොන් 35032 මිලදී ගැනීම නිසා දෙවන ස්ථානය අත්කරගන සිටී. 2016 ඉරාකය මිල ගත්තේ තේ මෙ.ටොන් 32557 ක් පමණි. අසර්බයිජාන්, චීනය, ජපානය, චිලීරට, හොංකොං සහ ජෝර්දානය යන රටවල් 2016 ට සාපේක්ෂව 2017 දී තේ වැඩියෙන් මිලට ගත් ගැනුම්කරුවෝය.

රුසියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, එක්සත් ජනපදය, ජර්මනිය, 2017 වසර තුළ මිලට ගත් තේ ප්‍රමාණය 2016 වසර සමග සසඳන විට මිලදීගැනීම් අඩුකර ඇති රටවල් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු 09 වැනිදා ප්‍රකාශයට පත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව 2016 ජනවාරි - දෙසැම්බර් කාල පරාසය තුළ තේ නිෂ්පාදනය කිලෝ දසලක්ෂ 292.57 කි. 2017 ජනවාරි - දෙසැම්බර් කාලය තුළ නිෂ්පාදනය කිලෝ දස ලක්ෂ 307.08 කි. රබර් නිෂ්පාදනය 2016 කිලෝ දසලක්ෂ 79.10 කි. 2017 කිලෝ දස ලක්ෂ 81.75 කි. පොල් නිෂ්පාදනය සියයට 18.65 කින් අඩුව තිබේ.

උපයන සෑම රුපියලකින්ම ශත 90ක් ණය ගෙවීමට වැය කළ යුතුව ඇතැයිද මේ තත්ත්වය නැති කර වැවිලි කර්මාන්තය නගා සිටුවීමට මෙයිජි ප්‍රතිසංස්කරණ ජපානයට වැඩදායක වූ අන්දමට නව අදහස් හා නවෝත්පාදන රටට අව්‍යව ඇතැයිද වැවිලි කර්මාන්ත ඇමැතිවරයා මෑතක දී තවදුරටත් ප්‍රකාශ කර ඇත.

කරුණාරත්න අමරතුංග 


නව අදහස දක්වන්න

Or log in with...