නීතියට ලකුණ! | දිනමිණ

නීතියට ලකුණ!

දේශපාලකයන්ගේ හැසිරීම දෙස මහජනයා දැඩි අවධානයකින් බලා සිටිති. මහජන විශ්වාසයට අනුව දේශපාලකයාට සදාචාරවත් හැසිරීමක් තිබිය යුතුය. ඔහු නීතිගරුක විය යුතුය. අවසන් ලෙස ‍මහජන නියෝජිතයකු හැටියට ආදර්ශවත් චරිතයක් ද ඔහු වෙතින් ප්‍රකට විය යුතුය. මේවා උල්ලංඝනය වන විට ජනතාව සෙරෙප්පුව අතට ගන්නා බව පාකිස්ථානු ජනතාව ඊයේ පෙරේදා පෙන්වා දුන්හ. ප්‍රසිද්ධ රැස්වීමකදී පාකිස්ථානයේ හිටපු නායක නවාස් ෂරීෆ් මහතාට සෙරෙප්පු ප්‍රහාරයක් එල්ලවිය. එම සිද්ධියෙන් දින කිහිපයකට පසු පකිස්ථානයේ විපක්ෂනායක ඉම්රාන් ඛාන්ටද සෙරෙප්පු ප්‍රහාරයක් එල්ල විය.

නීතිය, අධිකරණය, පොලීසිය වැනි ආයතන හා සම්මුතීන් පමණක් නොව; ජනතාවද දේශපාලකයන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම වැදගත්ය. ජනතාවට එබඳු අයිතියක්ද තිබේ. මහජනයා ප්‍රකෝප වන්නේ දේශපාලකයන් සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන විටය. තෝරු-මෝරු එළියේ හාල්මැස්සො ඇතුළේ යනු නීතිය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වූ සමාජ ව්‍යවහාරයකි. එහි අර්ථය වන්නේ බලය නැති මිනිසාට නීතිය ක්‍රියාත්මක වී ඇති බව හා බලය ඇති මිනිසාට නීතිය ක්‍රියාත්මක වී නැති බවය. එබඳු යුගයක් අපේ රටේ තිබිණි. එදා නීතියත් - යුක්තියක් යන දෙකම බලවන්තයා මත පදනම් විය. නැතහොත් පාලකයා මත පදනම් විය.

එදා පළාත් සභා මන්ත්‍රීවරු පොලිසියට පැන පොලිස් රාජකාරි කළහ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොලිස් ලොක්කන්ගේ කනෙන් ඇද ඔවුන් එළියට දැමූහ. නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ යන කතාව අප සිහියට නැඟේ. ඇතැම් මහජන නියෝජිතයෝ තරුණියන් සිය ගණනක් දූෂ්‍ය කොට ඒ වෙනුවෙන් ප්‍රීතිසාද පැවැත්වූහ. පොලීසිය නිහඬය. නීතිය නිහඬය. ප්‍රධාන පුරවැසියා නිහඬය. මහජනතාවද නිහඬය. නීතිය කිසියම් බලවතකු වෙනුවෙන් නම්‍යශීලී වන්නේ නම්; ඒ රට නීතිගරුක රටක් ලෙස හැඳින්විය නොහැකිය. එම රට ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව නොහැකිය. අමතක නොකළ යුතු කාරණය වන්නේ අපේ රටටද දීර්ඝ කාලයක් තිස්සේ අසාර්ථක රාජ්‍යය යන ලේබලය වැදී තිබීමය.

මෑතකාලීන සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ ඉහත ක්‍රමය කණපිට පෙරැළී යළිත් නීතියේ ආධිපත්‍යය හිස ඔසවන්නට පටන්ගෙන ඇති බවය. එහෙත් ඇතැම් දේශපාලකයන් මේ තත්ත්වය වටහාගත් බවක් පෙනෙන්නට නැත. සමහරු පුරුදු පාරේම ගොස් අමාරුවේ වැටෙති. හලාවත අධිකරණයේ සිද්ධියකින් මේ බව තහවුරු වෙයි. මේ අනුව මන්ත්‍රීවරයකුටද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටද රිමාන්ඩ්ගත වන්නට සිදු වී ඇත. ඔවුන් නීතිය හෑල්ලු කොට සලකා ඇප කොන්දේසි උල්ලංඝනය කර තිබේ. මේ සිද්ධියේ දී වහා ක්‍රියාත්මක වීමට පොලීසියට කොන්දක් තිබී ඇත. අධිකරණය ද යුක්තිය ඉටු කර ඇත. චූදිතයන් දෙදෙනා සඳහා වූ ඇප මුදල් ද රාජසන්තක කර ඇත. මන්ත්‍රී මල්ලීත් අයියාත් රිමාන්ඩ් යනුවෙන් පුවත්පත් මෙය වාර්තා කර තිබිණි.

2007 නොවැම්බර් මාසයේ අටවන දා වූ සිද්ධියක් නඩුවට මුල් වී ඇත. ආරච්චිකට්ටුවේ ප්‍රාදේශීය ලේකම්වරයා හොර දැව තොගයක් පරීක්ෂා කරමින් සිටියදී මන්ත්‍රී දෙපළ රාජකාරියට බාධා කොට නිලධාරියාට පහර දුන්හ. මේ අනුව චෝදනා පහක් යටතේ නඩු පවරා තිබිණි. 2017 ජූනි මාසයේ මහාධිකරණය තීන්දුවක් ලබා දෙන්නේ චූදිතයන් රාජකාරියට බාධා කිරීම වරදක් ලෙස සලකමින්ය. නඩුව තවදුරටත් විභාග වන අතර චූදිතයන්ට කොන්දේසිය මත ඇප ලබා දී තිබේ. එක් කොන්දේසියක් වන්නේ චූදිතයන් සෑම ඉරු දිනකම පොලීසිය වෙත වාරේතා කළ යුතු බවය. එහෙත් 2017 ජුනි 02 දා සිට මේ දක්වා එම ඇප කොන්දේසිය ඉටුකර නැත. චූදිතයන් නීතිය හෑල්ලු කර තිබේ.

තමන් දේශපාලකයන් වන බැවින්ද; බලය තමන් සතු බැවින්ද නීතිය නවන්නට හැකි යැයි චූදිතයන් සිතන්නට ඇත. පොලීසිය තමන්ගේ එනම්; චූදිතයන්ගේ බලය ගැන සලකා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකරනු ඇතැයිද, පැමිණිලි කිරීමක් සිදු නොවනු ඇතැ’යි ද සිතන්නට ඇත. එසේ වන්නට තිබුණේ අතීතයේ දීය. අද පොලිසියට බලපෑම් නැත. අධිකරණයට ඇඟිලිගැසීම් නැත. මෙලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නම්; නිලධාරීන්ට තම රාජකාරිය හරිහැටි කරගෙන යාහැකිය. ජනතාවට ද යුක්තිය ඉටු වන්නේ යැයි සතුටු විය හැකිය. දේශපාලකයන් මෙබඳු සිද්ධිවලින් පාඩම් උගත යුතු යැයි පෙන්වා දිය හැකිය.

කොටගල ප්‍රදේශයේ තවත් සිද්ධියකදී උඩරට වතු කලාපයේ ප්‍රබල දේශපාලකයකුට පොලීසියට පැමිණ භාරවීමට සිදු වී ඇත. මේ දේශපාලකයා කොටගල රෝහලට කඩා වැදී එහි කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කොට රජයේ දේපොළවලට හානි සිදුකර තිබේ. කාර්ය මණ්ඩලයට තර්ජනය කර තිබේ. මේ අනුව පරීක්ෂණ පැවැත්වෙන අතර පොලීසියට නොපැමිණි දේශපාලකයා මහජන විරෝධතා මත පොලීසියට භාර වී ඇත. දැන් ඒ සම්බන්ධ පරීක්ෂණ නිසි අයුරින් කරගෙන යා හැකිය. බලයෙන් හිස උදුම්මවා ගත් දේශපාලකයා තමනට කළ නොහැක්කක් නැතැ’යි සිතයි. මේ දේශපාලකයා ද පිරිසක රැගෙන විත් රෝහලට පහර දුන් බව කියති. මෙබඳු දේවල් සෙල්ලමක් නොවන බව දේශපාලකයන් දැන් වටහා ගනු ඇතැ’යි සිතන්නට පුළුවන.

රටේ විප්ලවකාරී හෝ කැරලිකාරී හෝ දේශපාලනයේ ප්‍රකට චරිත දෙකක් වන විමල් වීරවංශ මහතාටද ජයන්ත සමරවීර මහතාටද උසාවිය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඊට හේතුව පැමිණිල්ලක් විභාග කිරීමට අදාළව උසාවියේ පෙනී නොසිටීමය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙද්දී ඊට එරෙහිව ලිප්ටන් වටරවුමේ විරෝධතා දක්වමින් මහජන කටයුතුවලට බාධා ඇති කළ බවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. මෙහිදී චූදිතයන් නීතිය නොසලකා හැර ඇති බවක් පෙනී යයි. කිසිදු බලවතකුට නීතියට ඉහළින් සිටගත නොහැකි යැයි කතාවක් තිබේ. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන රටක් ඉ හත කියමන අනුව ක්‍රියාකළ යුතුය.

පුද්ගලයකුගේ දේශපාලන පක්ෂය, ධන බලය, පිරිස් බලය, කුලය, උගත්කම් ආදිය නොව; එම පුද්ගලයා කොතෙක් දුරට නීතිගරුකද, කොතෙක් දුරට සදාචාර සම්පන්නද යන්න සොයා බැලීම වැදගත්ය. නීතිගරුක නොවන අයටද, සදාචාරය ඉක්මවන අයටද දඬුවම් ලබා දිය යුතුය. මහජනයා හෝ ස්වභාව ධර්මය හෝ එම දඬුවම ලබා දෙන්නට පෙර නීතිය ක්‍රියාත්මක වීම කෙතරම් වැදගත්ද?

 

නව අදහස දක්වන්න