පාකිස්තානයට එරෙහි පළමු තරගයෙන් ලකුණු 69කින් පරදිති | දිනමිණ

පාකිස්තානයට එරෙහි පළමු තරගයෙන් ලකුණු 69කින් පරදිති

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් පිල සමග ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 69ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායිකා චමරී අතපත්තු පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන පිලට ලබාදුන් අතර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 250ක් රැස් කිරිමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත්වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා පිලට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 181ක් පමණි.

පාකිස්තාන පිල ලබාදුන් ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා දැවී ගියේ ඩයනා බෙග් යැවූ ඉනිමේ දෙවැනි පන්දුවේදීමය. අනතුරුව නිපුනි හංසිකා සහ නායිකා චමරි අතපත්තු එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවත් නිපුනිගේ දැවීයාමෙන් පසුව තරගයේ පාලනය සියතට ගත් පාකිස්තාන පන්දු යවන්නියන් මුලු ලකුණු සංඛ්‍යාව 124ක් වෙද්දී කඩුලු 7ක්ම දවාලමින් තරගයේ වාසිය අත්කරගත්හ.

අගනා පිතිහරඹයක නිරතව සිටි නායිකා චමරී අතපත්තු ලකුණු 46ක් ලබා සිටියදී කඩුල්ල බිඳී ගියේ නෂ්රා සන්දු යැවූ විශිෂ්ට පන්දුවකිනි. ඇය පන්දු 57කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කිරිමට සමත්වූවාය. ශ්‍රී ලංකා පිලේ අගපෙළ පිතිකාරිනියන්ගේ සහයෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 44ක් රැස් කළේය. පන්දු 74ක් වැයවූ ඇගේ ඉනිමට හතරේ පහර 6ක් එක්විය.

අමා කාංචනා වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 17කදී හතරේ පහර 4ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 16කි. සිය මංගල ජාත්‍යන්තර තරගයට එක්වූ 17 හැවිරිදි පාසල් ක්‍රීඩිකා කවීෂා දිල්හාරී ශ්‍රී ලංකා පිලේ අනාගතයට කදිම ආයෝජනයක් බව පෙන්නුම් කරමින් සාර්ථක පිතිහරඹයක නිරතවීම කැපී පෙනුණි. මේ යොවුන් ක්‍රීඩිකාව ලකුණු 14ක් රැස් කරමින් සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට අගනා සහයක් ලබාදුන් අතර 8 වැනි කඩුල්ලට ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූවාය. ඇය දුවද්දි දැවීයාමට හසුවූයේ නොතිබූ ලකුණක් කරා යාමට උත්සාහ කිරීමෙනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශූරතාවලියට ඇතුළත් මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම වර්ණවත් කළ ජවේරියා ඛාන් නොදැවි ලකුණු 113ක් රැස් කරමින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට සමත්වූවාය. පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 19ක් ඇතුළත බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් ජවේරියා සහ නායිකා බිස්මා මාරුෆ් එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 39ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 72දී සිවුවැනි කඩුල්ල ලෙස සිද්රා අමීන් දවාලීමට අතපත්තු සමත්වීමෙන් පසුව ජවේරියා සමග එක්වූ නිඩා ඩාර් පස්වැනි කඩුල්ලට ලකුණු 72ක අනගි සම්බන්ධතාවක් ගොඩ නගමින් පාකිස්තාන පිල ඉදිරියට ගෙන ගියාය. ඇය ලකුණු 34ක් රැස් කරමින් සිටියදී දැවී ගියේ අතපත්තුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. අනතුරුව සානා මීර් සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩ නැගූ ජවේරියා නතාලියා ෆර්වේස් සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 60ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නගමින් පාකිස්තාන ඉනිම ලකුණු 250 සීමාවට රැගෙන ගියාය. පන්දු 142කට මුහුණ දුන් ජවේරියා සිය ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් කරගත්තාය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය හෙට (22) දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

පාකිස්තානය - 250/6 (ඕවර 50) ජවේරියා ඛාන් නොදැවී 113, නිඩා ඩාර් 34, සානා මිර් 27, නතාලියා ෆර්වේස් නොදැවී 21 (ශෂිකලා සිරිවර්ධන 40/2, චමරී අතපත්තු 48/2)

ශ්‍රී ලංකාව - 181 (ඕවර 45.2) චමරී අතපත්තු 46, ශෂිකලා සිරිවර්ධන 44, නිපුනි හංසිකා 18, අමා කාංචනා 16, කවීෂා දිල්හාරි 14 (බිස්මා මාරුෆ් 17/3, සානා මීර් 29/2)

නව අදහස දක්වන්න