ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ 2014 වසරේ සම්මානලාභියා සදීර | දිනමිණ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ 2014 වසරේ සම්මානලාභියා සදීර

ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

පාසල් මහා ක්‍රිකට් (BIG MATCH) තරග වාරයේ අඩක් නිමාවට පත්වී තිබේ. ජයපරාජයෙන් තොරව බොහෝ තරග නිමාවට පත්වූවත් මහා තරගයේදී පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් දස්කම් පාමින් සිය විදුහලේ අභිමානය රැකගත් ක්‍රීඩකයෝ බොහෝ වෙති. ඒ සියල්ල අතර මහා ක්‍රිකට් තරගය නියෝජනය කිරීමේ භාග්‍ය උදාකරගත් බොහෝ ක්‍රීඩකයන් තම පාසලේ අතිශය ජනප්‍රියත්වයක් ද අත්කර ගැනීමට සමත්වී සිටිති.

පාසල් මහා තරගවල උද්යෝගයත්, අසිරියත් දෙගුණ තෙගුණ වූයේ නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීම නිසාය. මෙරට 70 වැනි නිදහස් සමරුව නිමිත්තෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ මේ තරගාවලියේ කුසලානය ඉන්දියාවට හිමිවූවත් තරගාවලිය පුරා සෑම කණ්ඩායමක්ම දැක්වූ දස්කම් පාසල් ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව කෙරෙහි වැඩි උනන්දුවක්, උත්තේජනයක් ඇති කිරීමට ඉවහල් වූ බව නොරහසකි.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුගිය කාලයේ රාත්‍රිය පුරා ආලෝකමත් වූ විදුලි බුබුලු යට සිය ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග කරට කර තරග වදිමින් ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඩ මැද දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳ දෙස් විදෙස් මාධ්‍ය වාර්තා පසුදින ඡායාරූප සමග ඉහළින්ම පළවෙද්දී ඉදිරි අනාගතයේදී ජාතික කණ්ඩායමට සේන්දුවීමට බලාපොරොත්තු පොදි බඳින මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් මුවහත් වීමට පටන්ගත්තේ මහා ක්‍රිකට් තරගවලදීය.

නිසැකවම මේ වසරේ ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් පිදුම් ලබන වාසනාවන්ත ක්‍රීඩකයා තවත් වසර කිහිපයකින් මෙවැනිම ආශ්චර්යමත් අත්දැකීමට මුහුණ දෙනු ඒකාන්තය. එවැනි බලාපොරොත්තුවලින් පිරුණු දහසක් සිත් මේ වසරේ සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට සිහින මවමින් සිටිති.

අවසන් වතාවට සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ජාතික කණ්ඩායමට සේන්දුවූයේ සාන්ත ජෝශප් විදුහලෙන් බිහිවූ සදීර සමරවික්‍රමය.

ඔහු 2014 වසරේ සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමෙන් වසර තුනකට පසුව පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ පැවැති ටෙස්ට් තරගමාලාවේදී ජාතික කණ්ඩායමේ තරග වරම් දිනාගැනීමට තරම් වාසනාවන්තයකු බවට පත්විය.

හෙතෙම පාසල් ක්‍රිකට් පිටියේ පෙරළිකාර පිතිකරුවකු ලෙසින් විශිෂ්ට දස්කම් පෑ මේ යොවුන් පිතිකරුවා ඒ සංචාරයේදීම එක්දින හා විස්සයි20 තරග වරම් ද අත්කර ගත්තේය.

1987 දී රොහාන් වීරක්කොඩි වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඔබ්සර්වර් සම්මානයෙන් පිදුම් ලැබිමෙන් පසුව එවැනි ගෞරවයක් සාන්ත ජෝශප් විදුහලට ගෙනදුන් පළමු ක්‍රීඩකයා වන්නේද සදීර සමරවික්‍රමය. මේ යොවුන් පිතිකරුවා සිය පාසල් ක්‍රිකට් දිවියේදී ලැබූ ඉහළම ඇගැයීම ඔහුට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයකු බවට පත්වීමට කදිම උත්තේජනයක් විය.

ඩුබායි නුවර දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති සිය මංගල ටෙස්ට් තරගයේ කුළුඳුල් ඉනිමේදී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිස වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ඔහු ලකුණු 38ක් ලබාගත්තේ පන්දු 35කිනි. හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ඉනිම වර්ණවත් කළ මේ කෝඩුකාරයා එදා පාකිස්තාන පිලේ මොහොමඩ් ආමීර්, මොහොමඩ් අබ්බාස් වැනි වේගපන්දු යවන්නන්ටත්, යසීර් ෂා වැනි නොම්මර එකේ දඟ පන්දු යවන්නන්ටත් නොබියව මුහුණදෙමින් සිය කණ්ඩායම ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය අනාගතයේ දී ශ්‍රී ලංකා පිලේ පෙරළිකාර පිතිකරුවකු බවට පත්වීමේ පෙරනිමිති පහළ කළේය.

සදීර සමරවික්‍රම වසර 2014 දී පාසල් ක්‍රිකට් පිටියේ ලැබූ ඉහළම ඇගැයීම වන සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු විවර කරදීමට ඉවහල් වූවා සේම මෙවර සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයාටත් තව වසර කිහිපයකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව උදාවනු ඇත.

නව අදහස දක්වන්න