එලල්ල ගම් රැසකට වන අලි කරදර | දිනමිණ

එලල්ල ගම් රැසකට වන අලි කරදර

පිළියම් නැතිව ජනතාව මර බියෙන්

සතියක පමණ කාලයක සිට හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් එලල්ල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගම් රැසකට වන අලි රංචුවක් කඩා වැදිම හේතුවෙන් ජන ජිවිත දැඩි අවධානමකට ලක්ව ඇතැයි ජනතාව පවසති.

ගෙවුණු සතිය තුළ පමණක් කෙසෙල් හා පොල් වගා ඇතුළු වගා රැසකට මෙන්න නිවාස කිහිපයකටද වන අලි දැඩි ලෙස හානි සිදු කර තිබේ පසුගියදා කඩා වැදුණු වන අලියකු 57 හැවිරිදි කාන්තාවකගේ නිවසක් කඩා දමා ඇති අතර ඇයගේ ජීවිතයද අනූනවයෙන් බේරි තිබේ.

මෙහිදී අදහස් දැක්වූ එලල්ල කජුවගාව ගමේ පදිංචි ඊ.පී.ඥානවතී මහත්මිය-

වෙනදත් හැමදාම වගේ වන අලි අපේ ගමට ආවා.නමුත් දැන් සතියක විතර ඉඳලා රෑ 08 විතර වන විට වන අලි රංචුවක් ගමට කඩා වදිනවා.මේ නිසා අපිට දැන් ගමේ ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ.පසුගිය දා අලුයම 1.45ට විතර මම ගේ ඇතුලේ නිදාගෙන හිටියා.ඒ වෙලාවේ ගේ පිටිපැත්තේ ටකරන් ටික උස්සනවා වගේ මට ඇහුණා.මම නැගිටලා බලනකොට අලියා ඇවිත් ගේ කඩන්න හදනවා.මම ඉස්සරහා දොරෙන් එළියට පැනලා කෑ ගහගෙන පුතාලගේ ගෙදරට දිව්වා.ඒත් එක්කම අලියා ගේ බිත්තිය පෙරළුවා.මගේ කෑ ගැහීමට පුතාලා දෙන්නා එළියට දුවගෙන ආවා.පුතාලා දෙන්නා ටෝච් එක ගහනවාත් එක්කම අලියා පුතාල දෙන්නා පස්සෙත් එළවගෙන ගියා.

ඒ දෙන්නා ජිවිතය බේරගත්තේ අනුනවයෙන්.පස්සේ අලියා එළව ගන්න බැරිම තැන පුතා ටිපර් එකක් අරගෙන ඇවිල්ලා තමයි අලියා එළව ගත්තේ.මට අලියා ආවා කියලා සද්දේ ඇහුණ නිසා හරි ගියා.නැත්නම් මා ගේ ඇතුළෙම මරා දමනවා .

ඊ.පී.සුජිත් මහතා-

පාන්දර 1.45ට විතර අම්මා කෑ ගහගෙන අපේ ගේ පැත්තට එනවා මට ඇහුණා.මට හිතුනා අලි ඇවිත් වෙන්න ඇති කියලා.මමත් ටෝච් එක අරගෙන එළියට දුවලා ආවා.ඒ වෙනකොට අලියා අම්මා පස්සෙන් එනවා.මම ටෝච් එක ගහනකොට අලියා අම්මා පස්සේ එළවන එක නවත්තලා මගේ පස්සේ එලෙව්වා.ඒත් එක්කම අනිත් මල්ලිත් ටෝච් එක අරන් එළියට බස්සා.අලියා එයා පස්සෙත් එලෙව්වා.ඒ වෙලාවේ මන් දුවලා ගිහින් අල්ලපු ගෙදර තිබුණු ටිපර් එක අරගෙන ඇවිත් තමයි අලියා එළවා ගත්තේ.පැය තුනකට වඩා වැඩි කාලයක් අලියා ගේ වටේ ඇවිද ඇවිද හිටියා.මගේ ගෙයත් අලියා කඩන්න හැදුවා.අමාරුවෙන් තමයි ගේ බේරා ගත්තේ.

වන අලි කරදරේ ගැන කියන්න තියෙන හැමෝටම කිව්වා.නමුත් වැඩක් නෑ.අලි ආවම අලි එලවගන්න අලි වෙඩිවත් අපිට ලැබෙන්නේ නෑ.අලි ගම් වදිනවට ඉදිකර තියෙන අලි වැටත් තියෙන්නේ මුක්කු ගහලා.අපි මේ ගැන වනජීවි එකට කිව්වා.දේශපාලඥයින්ට කිව්වා .වැඩක් වුණේ නෑ.අදටත් අලි වැට තියෙන්නේ මුක්කු ගහලා.පසුගිය සතියේ විතරක් අලි ගහලා දෙන්නෙක් මිය ගියා.මේ විදියට ගියොත් තව කී දෙනෙකුට මැරෙන්න වේවිද දන්නේ නෑ.

මිනිස්සු මැරුණා කිව්වම පළාත එන්නේ නැති නිලධාරීන් අලියෙක් මැරුණා කිව්වම නම් එනවා.මිනිස් ජිවිත වටින්නේ නැතිද කිලා තමයි අපිට මේ නිලධාරීන්ගෙන් අහන්න වෙන්නේ.

සුරියවැව විශේෂ
නුවන් ජයසේකර

 

නව අදහස දක්වන්න