මාවරල ප්‍රාදේශීය රෝහල ගිලන් වෙයි: පිළියම් නැතිව ජනතාව අසීරුවේ | දිනමිණ

මාවරල ප්‍රාදේශීය රෝහල ගිලන් වෙයි: පිළියම් නැතිව ජනතාව අසීරුවේ

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන මාතර දිස්ත්‍රික්කයේ මාවරල ප්‍රාදේශීය රෝහල, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුනක ග්‍රාම නිලධාරී වසම් 16 ක පමණ ජීවත්වන දහස් ගණනක් වූ ජනතාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සපයන රෝහලකි.එම ප්‍රාදේශීය ලේකම් වසම් වන්නේ,පස්ගොඩ,වලස්මුල්ල,සහ මුලටියනයි.

මෙම රෝහල ආරම්භයේ ඉදිකර තිබූ වාට්ටු දෙකක ගොඩනැඟිල්ල කඩා ඉවත් කර අලුතින් ගොඩ නැඟිල්ලක් තැනීමට අත්තිවාරම් දමා වැඩඅඩක් කර දැනට වසර තුනකට අධික කාලයක් ගතව ඇත.

ජලය සැපයීම සඳහා ඇති ළිඳ ප්‍රමාණවත් නොවන අතර,වසර පණහකට අධික කාලයක් ගතව ඇති මුළුතැන් ගෙය වහල දිරාපත්ව කඩා වැටීමට ආසන්න තත්වයක පවතී.වෛද්‍ය නිලනිවාස ජරාවාසව වල් බිහිව පවතී.

කිසිදු නඩත්තුවක් නොමැති නිසා නිල නිවාස අබලන්ව ඇත.වෛද්‍යවරු නිල නිවාසයන්හි පදිංචිව සිටින්නේ දැඩි අපහසුතාවයකිනි.වෛද්‍යවරු පස් දෙනෙක් පමණ සේවය සඳහා නිල නිවාස පවතින්නේ දෙකකි.

හෙද කාර්ය මණ්ඩලය අට දෙනකුගෙන් පමණ සමන්විත වූවද , හෙද නිල නිවාස නැත.දන්තශල්‍යාගාරයේ යන්ත්‍රය අක්‍රීයව දැනට මාස ගණනක් ගත වූවද එය අලුත්වැඩියා නොකිරීම නිසා දන්ත රෝගීන් සැතපුම් 12 ක පමණ දුරක් ගෙවා ආදපාන හෝ හීගොඩ රෝහලට යායුතුව තිබේ.

බෝ නොවන රෝග සායන සදහා පැමිණෙන රෝගීන්ගේ රුධිර පටල පරීක්ෂා කරන බවට දැන්වීම් පුවරු රෝහලට ප්‍රවේශ වන ස්ථානයේ ඇතත්, රෝගීන්ගේ ලේ පටල පරීක්ෂා කර ගැනීමට පෞද්ගලික රසායනාගාර වෙත යාමට රෝගීන්ට සිදුවේ.රෝහලේ මෘත ශරීරාගාරය අබලන්ව කඩා වැටී වසර 20 කට ආසන්න කාලයක් ගතව තිබේ.

හදිසි රෝගියකු රෝහල තුළදී මිය ගිය හොත් මෘත දේහය,නේවාසික රෝගීන් සිටින වාට්ටුවක තැබීමට සිදුවන අතර,පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය මෘත ශරීර කිලෝ මීටර 40 ක් දුර ගෙවා මාතර මහ රෝහල වෙත ගෙන යාමට සිදුව ඇත.රෝහලේ පවතින අඩුපාඩු ගැන මීට පෙර මාධ්‍ය මගින් කීප අවස්ථාවකදීම තොරතුරු හෙළිකර, බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් විසඳ්මක් ලැබී නැත.

පී.මද්දුමගේ මාවරල සමූහ

 

නව අදහස දක්වන්න