මානව හිමිකම් ප්‍රවර්ධනයට වැඩදායී ලෙස සම්බන්ධවීමට කැප වී සිටිනවා | දිනමිණ

මානව හිමිකම් ප්‍රවර්ධනයට වැඩදායී ලෙස සම්බන්ධවීමට කැප වී සිටිනවා

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ දී එක්සත් ජාතීන්ගේ ආයතන සහ ක්‍රියා පරිපාටි සමඟ මෙන්ම තනි සාමාජික රාජ්‍ය සමඟ ද වැඩදායී ලෙස සහසම්බන්ධ වී කටයුතු කිරීමට කැප වී සිටින බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

ගැටුම්කාරී තත්ත්වයකට මුහුණ පා සිට සංහිඳියාව ඇති කරගන්නත්, ගැටුම් යළි ඇති නොවන තැනට වගබලා ගැනීමටත් පියවර ගනිමින් සිටින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පද්ධති සහ ක්‍රියා පරිපාටි මෙන්ම සියලු නියෝජිතායතන සමඟ සෑම මට්ටමකින්ම ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇති බව ද, ඉදිරියට ද අඛණ්ඩව එසේ සිදු කරන බව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය අමතමිනි. මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසි වාරයේ දී ශ්‍රී ලංකා විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන් වැනි චක්‍රය සම්මත විය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ රවිනාථ ආරියසිංහ මහතා මෙසේ ද කීය.

වටිනා නිර්දේශ

"2017 නොවැම්බර් මාසයේ දී විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන් වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සම්මත කරගන්නා අද දින මෙහි සිටින්නට ලැබීම මම ඉමහත් ගෞරවයක් කොට සලකමි. ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාදාමය වෙත ඔවුන් විසින් සපයනු ලැබූ දායකත්වය සහ දක්වන ලද මිල කළ නොහැකි සහයෝගය වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයටත්, විශ්ව කාලාන්තර සමාලෝචන ලේකම් කාර්යාලයටත්, ශ්‍රී ලංකා සමාලෝචනයේ ට්‍රොයිකාව වන බුරුන්ඩි ජනරජය, කොරියානු ජනරජය සහ වෙනිසියුලා බොලිවේරියානු ජනරජය ආදී රටවලටත් මගේ ස්තූතිය පිරිනැමීමට කැමැත්තෙමි.

පසුගිය නොවැම්බර් මාසයේ පැවති ඉතා වැඩදායක සංවාදයේ දී ලැබුණු නිර්දේශ 253න් නිර්දේශ 177ක් ශ්‍රී ලංකාව පිළිගත්තේ ස්වේච්ඡාවෙන් දෙන ලද ප්‍රතිඥා 12ක් ද සමඟිනි. සාමාජික රාජ්‍ය විසින් කරන ලද සෙසු නිර්දේශ කෙරෙහි ද අපගේ නිසි සැලකිල්ල යොමු වූ අතර ශ්‍රී ලංකා සමාලෝචනයට ක්‍රියාකාරී ආකාරයෙන් සහභාගීවීම පිළිබඳවත් ඔවුන්ගේ වටිනා නිර්දේශ වෙනුවෙනුත් අපි සියලුම නියෝජිත පිරිස් වෙත අපගේ කෘතඥතාව පිරිනමන්නෙමු.

ශ්‍රී ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියට ප්‍රබල ලෙස සහාය දක්වන රටකි. එම සමාලෝචනයේ ඇති තුල්‍යම සමාලෝචන ස්වාභාවය, මානව හිමිකම්වලට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රටවල් දිරිමත් කරවන විවෘත සහ වැඩදායී අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමටත්, එම රටවල්වලට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් අවස්ථාව සලසා දෙයි.මේ ක්‍රියාදාමයට ශ්‍රී ලංකාව තිර ලෙස කැප වී සිටියි. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ දී එක්සත් ජාතීන්ගේ ආයතන සහ ක්‍රියා පරිපාටි සමඟ මෙන්ම තනි සාමාජික රාජ්‍ය සමඟ ද වැඩදායී ලෙස සහ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අපි කැප වී සිටිමු.

2017 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව තුන් වැනි සමාලෝචනයට සහභාගී වූයේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඉක්බිතිව නිර්මාණය වූ නව පණක් ලැබූ මෙන්ම පරිවර්තිත දේශීය වාතාවරණයක් සහිත පසුබිමකය. එමෙන්ම මානව හිමිකම් ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉහළට ඔසවා තැබීම, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම, සංහිඳියාව සහ තිරසර සාමය, සියලු දෙනාගේ සමානාත්මතාව සහ අභිමානය, සමාජයේ බහුවිධ ස්වාභාවය ඉහළට ඔසවා තැබීම, සියලු දෙනා ඇතුළත් රටේ සාධාරණ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය ආදිය මත යොමු වූ නවමු අවධානයක් සමඟිනි.

ඉකුත් වසරේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකා සමාලෝචනය කළ තැන් සිට ගෙවුණු සිවු මස ඇතුළත එකී නිර්දේශ සමහරක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දැනටමත් අප අත්පත් කරගෙන ඇත. 2017 දෙසැම්බර් මස 05 වැනි දින වධහිංසාවලට එරෙහි සම්මුතියේ වෛකල්පික මූලලේඛයට ශ්‍රී ලංකාව එක් වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ජාතික නිවාරණ යාන්ත්‍රණය වශයෙන් නම් කළේය. ජාතික නිවාරණ යාන්ත්‍රණය ඵලදායී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන උපදෙස් සහ තාක්ෂණික ප්‍රවීණතාව ලබාගැනීම සඳහා අනුකමිටු සමඟ කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය දේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පද්ධතිය බලාත්මක වූයේ සියලු පුද්ගලයන් බලෙන් අතුරුදන් කරවීමෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත 2018 මාර්තු මස 07 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙනි. මෙමඟින් බලෙන් අතුරුදන් කරවීම සාපරාධී අපරාධයක් බවට පත් වෙයි.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කරනු ලැබූ නිර්දේශ මත පදනම්ව 2018 පෙබරවාරි මස 28 වැනි දින ජනාධිපතිවරයා අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් පත්කොට එය පූර්ණ වශයෙන් ක්‍රියාකාරී තත්ත්වයට පත් කළේය. අතුරුදන්වූවන්ගේ කාර්යාලය සාධනීය ලෙස ක්‍රියාත්මක වීම වගබලා වනු වස් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට කාර්යාලයේ සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් සමඟ පෙබරවාරි මස 28 වැනි දින පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා සහතික විය. 2018 මාර්තු මස 12 වැනි දින අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපතිවරයා විසින් කරන ලද මූලික ප්‍රකාශය අප විසින් නියෝජිත කණ්ඩායම් අතර බෙදා හැර තිබේ. 2018 ජාතික අය-වැයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.4ක් එනම් අමෙරිකානු ඩොලර් 9ක් වෙන් කර ඇත. සිය තේරීම් ක්‍රියාවලියේ දී සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් සමාජයේ හරස් කඩක් නියෝජනය වන පරිද්දෙන් ද, ක්‍රියාකාරීන් වශයෙන් මානව හිමිකම් විෂයෙහි අත්දැකීම් ඇති පුද්ගලයන්, හිටපු රජයේ සේවකයන් සහ වෘත්තීයවේදීන් මෙන්ම අතුරුදන්වූවකුගේ ඥාතියකු අන්තර්ගත වන පරිද්දෙන් ද තෝරාගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වගබලා ගෙන ඇත.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කටයුත්තෙහි අප ප්‍රගතියක් අත් කරගෙන තිබේ. මානව හිමිකම් ආරක්ෂණවලට සහ සෙසු ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල වන ත්‍රස්ත විරෝධී පනතක් අප අපේක්ෂා කරන අතර දේශීය භාෂාවලට පරිවර්තනය කිරීම ආදී ක්‍රියාදාම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ සලකා බැලීම පිණිස සභාගත කිරීම සඳහා ගැසට් නිවේදනයක් මඟින් ඉක්මනින්ම ප්‍රකාශයට පත්කිරීමට අපි බලාපොරොත්තු වෙමු. හානිපූරණ කාර්යාලයක් නීතියෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති පද්ධතිය නීති කෙටුම්පත් සම්පාදකවරයා ලවා සකස් කරවීමේ කාර්යයට ඇමැති මණ්ඩලය 2018 මාර්තු මස 06 වැනි දින සිය අනුමැතිය ලබා දුන්නේය. එකී නීති පද්ධතිය කෙටුම්පත් කිරීමේ සහ එය දේශීය භාෂාවලට පරිවර්තනය කිරීමේ කාර්යය අවසන් වූ විට එම පනත් කෙටුම්පත ඉදිරි මාස දෙකේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය.

සංහිඳියාව

ගැටුම්කාරී තත්ත්වයකට මුහුණ පා සිට දැන් සංහිඳියාව ඇති කරගන්නටත්, ගැටුම් යළි ඇති නොවන තැනට වගබලා ගැනීමටත් පියවර ගනිමින් සිටින රටක් වන ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් මස 13 වැනි දින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට (ඔටාවා සම්මුතිය) එක්වීමත්, 2018 මාර්තු මස 01 වැනි දින පොකුරු අවි පිළිබඳ සම්මුතියට එක්වීමත් ඉතා වැදගත් පියවර වේ. සම්මුතියේ ඇති විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඇති සිය තිර කැපවීම ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කරන අතර පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත මිරෙද් බින් රාද් අල්-හුසේන් කුමරු 2018 මාර්තු මස 04 - 07 දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලුණේය.

එක්සත් ජාතීන්ගේ පද්ධති සහ ක්‍රියා පරිපාටි මෙන්ම සියලු නියෝජිතායතන සමඟ සෑම මට්ටමකින්ම ශ්‍රී ලංකාව ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇති අතර ඉදිරියට ද අඛණ්ඩව එසේ කරනු ඇත. අත්තනෝමතික රඳවාගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම 2017 දෙසැම්බර් මස 04 - 15 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදිණි. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනයට 2018 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සහභාගී විය.

බිම් මට්ටමේ වැදගත් තීරණ ගැනීමේ ආයතන වන පළාත් පාලන ආයතන සහ පළාත් සභාවලට තේරී පත්වන කාන්තා නියෝජිතයන්ගේ කෝටාවක් ඇති කරනු වස් පළාත් පාලන මැතිවරණ පනතට සහ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධන සිදු කරන ලදී. 2018 පෙබරවාරි මස 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ දී කාන්තාවන්ට සියයට 25ක කෝටාවක් ලබා දෙන නීතිය ක්‍රියාත්මක වූ අතර වාර්තාගත කාන්තාවන් සංඛ්‍යාවක් තේරී පත් වූහ.

නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකා සමාලෝචනය අතරතුර සියලු නියෝජිත පිරිස් අතර බෙදා හැරුණු 2017- 2021 මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම රේඛීය අමාත්‍යාංශ සහ නියෝජිතායතන විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කොට ඒවාට අවශ්‍ය මඟ පෙන්වීම සහ උපදෙස් ලබාදීම පිණිස ස්ථර තුනකින් යුත් යාන්ත්‍රණයක් දැන් ස්ථාපිත කොට තිබේ. සැලසුමේ දක්වා ඇති සියලු කාර්ය අදාළ අමාත්‍යාංශ සහ නියෝජිතායතනවල ක්‍රියාකාරී සැලසුම්වලට ඇතුළත් කෙරෙමින් පවතියි.

පළමු ස්ථරය වන අන්තර් ඇමැති කමිටුවේ සභාපතිත්වය අගමැතිවරයා විසින් දරනු ලබන අතර එය සෑම සය මසකට වරක්ම රැස්වේ. දෙවැනි ස්ථරය වන නිලධාරී කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් කැඳවනු ලබන අතර එය සෑම දෙමසකට වරක්ම රැස්වේ. එම කමිටුව අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විතය. අධීක්ෂණ යාන්ත්‍රණයේ තෙවැනි ස්ථරය වනුයේ අමාත්‍යාංශ මට්ටමෙන් පිහිටුවා ඇති ආංශික කමිටු දහයකි. එම කමිටු වනුයේ අධිකරණ අමාත්‍යාංශය සභාපතිත්වය දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, නීතිය සහ සාමය අමාත්‍යාංශය සභාපතිත්වය දරන වධහිංසා පැමිණවීම පිළිබඳ කමිටුව, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සභාපතිත්වය දරන කාන්තාවන් පිළිබඳ කමිටුව, නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සභාපතිත්වය දරන අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් පිළිබඳ කමිටුව, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සභාපතිත්වය දරන ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව, සහ සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය සභාපතිත්වය දරන ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ කමිටුව ආදියයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිලධාරී කමිටුවේ සිටින අතර මානව හිමිකම් කොමිසම විසින් නම් කරනු ලැබූ සිවිල් සමාජ නියෝජිතයෝ ආංශික කමිටු දහයේම සිටිති.

ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජයේ අවියෝජනීය කොටසක් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන මගේ රටේ ඇතැම් පළාත්වල මෑත දී සිදු වූ සිදුවීම් පිළිබඳව මේ කවුන්සිලය දැනුවත්ය. සමහර සංවිධානය වූ කණ්ඩායම් සහ තනි පුද්ගලයන් විසින් උසිගන්වනු ලැබූ මේ බියගුළු ක්‍රියාවලට අප රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී, බහුවිධ සමාජයේ තැනක් නැත. එවැනි ක්‍රියා සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන අපගේ පොදු දැක්මට විරුද්ධය. මේ සිද්ධිවලට වගකිව යුතු සියල්ලන්ටම එරෙහිව නීතියේ නිසි ක්‍රියා පිළිවෙළ යටතේ පියවර ගන්නට අපි අදිටන් කරගෙන සිටිමු. වින්දිතයන්ට වන්දි පිරිනැමීමේ ක්‍රියාවලි දැනටමත් ආරම්භ වී ඇති අතර වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ.

මේ සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව උසිගන්වා වෛරී සහ සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට පමණක් නොව ප්‍රහාර සංවිධානය කිරීමට ද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පණිවිඩ සේවා ප්‍රයෝජනයට ගන්නා බව හෙළිදරව් වීමෙන් ඉක්බිති සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තාවකාලික සීමා පනවන්නට රජයට සිදු විය. ඒ සියලු සීමා දැන් ඉවත් කර තිබේ. මේ අත්දැකීමෙහි ප්‍රතිඵලයක් ලෙස වෛරී භාෂණය වැළැක්වීමේ අරමුණෙන් රජය සමාජ මාධ්‍ය මෙහෙයවන්නන්, විශේෂයෙන්ම ෆේස්බුක් ආයතනය සමඟ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටියි. ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් 2018 මාර්තු මස 06 වැනි දින රජයට පනවන්නට සිදු වූ හදිසි අවස්ථා රෙගුලාසි 2018 මාර්තු මස 17 වැනි දින ඉවත් කරන ලදී.

මේ සිත කළඹවන සිදුවීම් අතරේ සිතට දිරි ගෙන දුන් දෑ වූයේ එකිනෙකාගේ උදව් පිණිස ඉදිරිපත් වූ මගේ රටේ සාමයට ලැදි මිනිසුන්ගේ දයාවෙන් පිරුණු ක්‍රියා, එකමුතුබව සහ සාමය වෙනුවෙන් මහ ජනතාව කළ ආයාචනා සහ වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව පූජ්‍ය/පූජක පක්ෂය, ප්‍රජා නායකයන්, ක්‍රීඩකයන්, කලාකරුවන් සහ සංගීතඥයන් ආදී සමාජයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් විසින් වෛරය හා ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් කළ ප්‍රකාශ යනාදියයි.

පසු විපරම්

විශ්ව කාලාන්තර සමාලෝචනය යනු සෑම සිවු වසරකටම වරක් පැවැත්වෙන හුදු පැය තුන හමාරක සංවාදයක් නොවිය යුතු යැයි අපි තිර ලෙස කියා සිටිමු. එබැවින් විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියෙන් මෙන්ම සම්මුති හා ප්‍රඥප්තිවලට අදාළ වාර්තා සැපයීම සහ පසුවිපරම් කටයුතු කිරීමේ ක්‍රියාවලිය ද ඇතුළත් සෙසු ක්‍රියාවලිවලින් නිපන් නිර්දේශ සම්බන්ධයෙන් නිත්‍ය වශයෙන් වාර්තා කිරීම සහ පසුවිපරම් කටයුතු කිරීම සඳහා දේශීය වශයෙන් ඇති කළ හැකි ප්‍රශස්තම යාන්ත්‍රණය කුමක් දැයි සොයා බැලීමේ කටයුත්තෙහි අපි දැනටමත් යෙදී සිටිමු. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඒ සඳහා තාක්ෂණික සහයෝගය ලැබෙයි. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් ලැබෙන සහාය වෙනුවෙන් අපි කෘතඥතාව පළ කරමු.

ශ්‍රී ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාදාමය වෙත ඔවුන් විසින් දෙනු ලැබූ දායකත්වය වෙනුවෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයටත්, ශ්‍රී ලංකා සමාලෝචනයේ ට්‍රොයිකාව වන බුරුන්ඩි ජනරජය, කොරියානු ජනරජය සහ වෙනිසියුලා බොලිවේරියානු ජනරජය යන රටවලටත්, සියලුම රාජ්‍යවලට සහ සෙසු සියලු කොටස්කරුවන්ටත් මාගේ නියෝජිත පිරිස වෙනුවෙන් යළිත් වරක් ස්තූතිවන්ත වෙමි.

මෙහි දී කථා කළ රටවල් විසින් ලබා දුන් සහයෝගය සහ උපදෙස් කරණ කොට ගෙන අපි දිරිමත් වූයෙමු. අඛණ්ඩව ඉදිරියටත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අප දැන් උදක්ම බලාපොරොත්තු වන අතර, අප එසේ කරනුයේ භූමියේ සිටින සියලු කොටස්කරුවන්, එක්සත් ජාතීන්ගේ ආයතන සහ ක්‍රියා පරිපාටි මෙන්ම අපගේ මානව හිමිකම් සහ සංවර්ධන ඉලක්ක සපුරාගැනීමට අපට සහාය වන ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් සහ ඔවුන්ගේ සහයෝගය ඇතිවය."


නව අදහස දක්වන්න

Or log in with...