වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ස්ථාවර නියෝගය අප්‍රේල් 15දා සිට | දිනමිණ

වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ස්ථාවර නියෝගය අප්‍රේල් 15දා සිට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමසන ප්‍රශ්න වලට පිළිතුරුදීම සඳහා ඇමතිවරු පාර්ලිමේන්තුව වෙත පැමිණීම සිදුවිය යුතුබව ඇතුළත් කරමින් සංශෝධනය කරන ලද ස්ථාවර නියෝග අප්‍රේල් 15දා සිට ක්‍රියාත්මක බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කළේ විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට අදාළ ඇමතිවරුන් සභාවෙහි නොසිටීම හේතුවෙන් අතුරු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගැනීමට ඇති අවස්ථාව මන්ත්‍රීවරුන්ට අහිමි වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කතානායකවරයා‍ගේ අවධානය යොමු කිරීමෙන් පසුවයි.

එහිදි කතානායක කරූ ජයසූරිය මහතා මෙසේද පැවසීය. මන්ත්‍රීවරු විමසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට ඇමතිවරුන් බොහෝ අවස්ථාවල සභාවේ නොමැතිවීම සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ අවධානයටත් යොමු කළා. ඒ වගේම විමසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා ඇමතිවරු සභාවට පැමිණිමද සංශෝධනය කරන ලද ස්ථාවර නියෝග වලට ඇතුළත් කළා. එය ක්‍රියාත්මක වන්නේ ඉදිරි අප්‍රේල් මාසයේ සිටයි. මන්ත්‍රීවරයා මතුකරන කරුණ සම්බන්ධයෙන් මමත් එකඟ වෙනවා. මේක දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන පරිදි විසඳා ගතයුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා‍ - මේ සම්බන්ධයෙන් මතුකිරීම පිළිබඳව ඇමතිවරු මා සමඟ අමනාප නොවෙයි. නමුත් අපි අසන ලද අතුරු ප්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීමට අපට ඇති අයිතිය අහිමි වෙනවා.

නව අදහස දක්වන්න